දුක නම් වූ ආර්ය සත්‍ය - දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය

martedì 17 gennaio 2012

භාග්‍යවතුන් වහන්සේ ලෝකයට පහලවීම හා භික්ෂූ පරිහානිය

බොහෝ කාලයක්, සදාතනික යැයි ලෝකයක අතරමංව ජරා මරණ ගැන අවබෝධයෙන් තොරව සිටින දෙව් මිනිස් ප්‍රජාව එම උගුලෙන් ගලවා ගැනීමටයි අපගේ ශස්තෘන් වහන්සේ වන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයට පහල වන්නේ.

ජරා මරණ ගැනත්,එය ඇතිවීමත්, නැතිවීමත්, එය නැතිවීම පිනිස පවතින ප්‍රතිපදාවත් මැනවින් කිසිම ගුරු උපදේශකත්වයකින් තොරව අවබෝධ කර ගත් ඒ වීර්යාණන් වහන්සේ බෝහෝ දෙව් මිනිසුන්ගේ හිත සුව පිනිස වසර 45ක් තුල දේශනා කරන ලද්දේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයයි.



එම නිසා මේ උතුම් දේශනා නොඇසීමෙන් සිදුවන්නේ කුමක්ද කියා අද බොහෝ දෙනාගේ සංවාදයට ලක්වී ඇත. එය කොතෙක් දුරට ශ්‍රී සද්ධරමයට අනුව ගැලපේද. 


භික්ෂූන් වහන්සේලා තුල විශාල පරිහානියක් සිදුවී ඇති බව පූජණීය පරවාහැර චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ ගේ ලිපිය තුලින් මනාවට පැහැදිලි වෙයි.එයට හේතු වූ කාරණා සමූහයක් ද, එයට වගකිව යුතු පිරිස් ද, මහනායක ස්වාමීන් වහන්සේලාගේ අසරණ භාවය ද විස්තර වශයෙන් දක්වා ඇත. එලෙසම අතීතයේ නොවූ විරූ සේ මෙවන් ශාසන පරිහානියක් නොවූ බවට ද උන් වහන්සේ ඉඟි කොට ඇත. මේ කරුණු සියල්ලම සත්‍ය ලෙස කරුණු සහිතව පෙනෙන දෙයකි.


ඈත අතීතයේ සිටම ලොවට ඇති එකම ධර්ම නිධානය වන ශ්‍රී සම්බුද්ධ දේශනා ගිහි පැවිදි ශ්‍රාවකයන් වෙත ආරක්ෂා කර ලබා දීමට ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් ගිහි පැවිදි පාර්ශවයන් අතරින්ම බිහි වී තිබුණි.අනගාරික ධර්මපාලතුමා,මිගෙත්තෙට්ටුවේ ගුණානන්ද හිමි,ගංගොඩවිල සෝම හිමි මේ කී නොකී අතරින් ස්වල්ප දෙනෙකි.එතුමන්ලා ට කිරීමට හැකි වූ ඒ කොටස මහත් උතුම් ශ්‍රේෂ්ඨ කාර්යයක් වූ බව අපට පැහැදිලිය.අවලාද,ගැරහුම්,නින්දා,අපහස තුලින් නොයෙක් බාධක මැද මේ සම්බුද්ධ ශාසනය රැක ගැනීමට දිවි හිමියෙන් කටයුතු කර, ඇතම් අවස්ථා වල ජීවිත වලින් වන්දි ගෙවීමට පවා මේ උතුමන්ලාට සිදු විය.


එවන් යුගයක, එමෙන්ම ඉතාමත් මෑත ඉතිහාසයක් පසුකොට ඇති බෞද්ධයන්ට, මෙවන් යුගයක, ඉතාමත් පරිහානියට පත් භික්ෂූන් ශාසනය තුල හිද කඳ පණුවන් මෙන් මුළු බුද්ධ ශාසනයම විනාශ කරන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන කරුණකි.යුග පුරුෂයන් බිහි වන්නේ නායකත්වය තුලින් නොව ඔවුන්ගේ අවංක කැපවීම තුලින්ය.බුද්ධශාසනය විනාශ කරන කඳ පණුවන් කියන්නේ ශාසනය තුල සිට, චීවරයක් පොරවාගෙන සිටින, පරවාහැර ස්වාමීන් වහන්සේ දක්වා ඇති භික්ෂූන් කොටසටය.මොවුන් පන්සල් වල ශාස්තර,මන්ත්‍ර,ගුරුකම් යන විවිධ මිත්‍යදෘෂ්ඨික ඇදැහිලි කරමින්,දේශපාලන අතකොලු වෙමින්,විශ්ව විද්‍යාල වල නොමනා ලෙස හැසිරෙමින් භික්ෂුවකට අකැප දහසක් වැරදි කරමින් සිටින්නේ ශාසනය කා දමන කඳ පණුවන් ලෙසිනි.මෙම ශාසන පරිහානිය දෙස මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු බහුතරයක් සමහර නායක ස්වාමීන් වහන්සේලා බලා සිටින්නේ ශ්‍රී සද්ධර්මය ගැන කිසිම අවබෝධයකින් තොරවය.තවද මේ සම්බුද්ධ ශාසනය බේරා ගැනීමට ඇප කැප වී දැයෙන් සමුගත් ඒ ගිහි පැවිදි උතුමන්ලා වෙනුවෙන් ගුණසමරන්නෙත් මේ කඳ පණු වැනි පිරිසය.එම උතුමන්ලා ජීවත්ව සිටින කාලයේ නොයෙකුත් නින්දා අපහස කර, එම උතුම් වැඩපිළිවලවල් කඩාකප්පල් කර ,පසුව ගුණ වයන්නේ තමගේම හුදු ලාභ ප්‍රයෝජන කීර්තිය මුල් කරගෙන තමන්ගේම වංචනික පැවත්ම උදෙසා බව අප දැන්වත් තේරුම් ගත යුතුයි. මෙයින් පන්සල් වලින් සිල්වතුන් ගුණවතුන් ඉවත් වී මෙම පිරිහුන භික්ෂූන්ටම ගැලපෙන ගිහි පිරිසක් නිර්මාණය වීම කා හටත් නොවළැක්විය හැකි බව අප සිහි තබා ගතයුතුයි.


බහුතරයක් භික්ෂූන් මෙලෙස පරිහානියට ලක් වුවද,සිල්වත්, ගුණවත්, ශාසන විනයකින් යුතු ඉතාමත් සුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ උතුම් ශ්‍රී සද්ධර්මය විවෘත කොට ශ්‍රාවකයින් වෙත අවබෝධ කර දීමට මහත් වෙහෙසක් දරන බවත්, අතීතයේ එලෙසින් සිදු කළ බවත්, අප සිහි තබා ගත යුතුයි.ඒ අතර ආරණ්‍යවාසී සිල්වත් භික්ෂූන් ද සිටිති.ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ,පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ , අතිපූජනීය රේණුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ අතුළු තවත් පින්වත්, සිල්වත් මනා විනයකින් යුතු ස්වාමීන් වහන්සේලා ද සිටිති. ලංකාවේ බහුතරයක් භික්ෂූන් වහන්සේලාගේ ඇස නොගැසුණු, එසේ නැති නම් සිතා මතාම ඇස නොගැටුණ, උතුම් වූ ශාසනික ප්‍රබෝධයක් ඇති කරන මහමෙව්නාවේ පින්වත් ස්වාමීන් වහන්සේලා ද නිහඬව, නිහතමානී ලෙස මේ උතුම් ශ්‍රී සද්ධර්මය දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස දේශනා කරමින් ඇත.උන්වහන්සේලාට ද නොඅඩුව ඉහත සඳහන් වූ පරිහානියට පත් දුසිල්වත් කපටි භික්ෂූන් ගෙන් නින්දා අපහස විදීමට සිදු වී ඇත.


පින්වත් මහණෙනි, මේ දඹදිව රමණීය ආරාම,රමණීය වනාන්තර,රමණීය භූමි,රමණීය පැන් පොකුණු,තිබෙන්නේ ස්වල්පයයි.එනමුත් පින්වත් මහණෙනි,මේ බෑවුම්, පල්ලම්,ගංඟා දුර්ග,කාණු,කටු,තියෙන තැන් විසම කඳු ගැට ආදිය ම තමයි බහුලව තියෙන්නේ.
පින්වත් මහණෙනි, අන්න ඒ වගේ ම තමයි, යම් කෙනෙක් ප්‍රඥාවන්ත නම්,මෝඩ නැත්නම්,බුද්ධිමත්ව කතා කරනවා නම්,සුභාෂිත වූ බුද්ධ වචනයත් දුර්භාෂිත වූ මිසදිටු වචනත් වෙන්ව හඳුනා ගැනීමට තරම් සමත් නම්, ඒ සත්වයින් ඉන්නේ ස්වල්පයයි. ඒ වුනත් ප්‍රඥාව නැති, මෝඩ කට වාචාල,සුභාෂිත වූ බුද්ධ වචනයත්, දුර්භාෂිත වූ මිසදිටු වචනත් වෙන්ව හඳුනා ගැනීමට තරම් අසමත් අය ඉන්නවා නම්, ඒ සත්වයින්ම තමයි බහුලව ඉන්නේ.


අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙකුට ආර්ය වූ ප්‍රඥා ඇස තියෙනවා නම්,තථාගතයන් වහන්සේ වදාළ ධර්මය,විනය අහන්නට ලැබෙනවා නම්,එය මතකයේ රඳවා ගන්නවා නම්,ඒ ධර්මයේ අර්ථ සිතා බලනවා නම්,ධර්මානුකූල ප්‍රතිපත්තියේ යෙදෙනවා නම්,නිවන අරමුණු කර සමාධිය ලබා, අමා නිවන් රසයත් ලබනවා නම්,ඒ සත්වයින් ඉන්නේ ස්වල්පයයි.


අවිද්‍යාවෙන් මුළා වෙච්ච අය ඉන්නවා නම්,තථාගතයන් වහන්සේ ගේ ධර්මයත්,විනයත් අහන්නට ලැබෙන්නේ නැත්නම්, ඒ ධර්මය මතක රඳවා ගන්නේත් නැත්නම්,අර්ථ වශයෙන් සිතා බලන්නේ ත් නැත්නම්,ධර්මානුකූල ප්‍රතිපදාවේ යෙදෙන්නේ ත් නැත් නම්, සිතේ සමාධිය ත් නොලබමින්, අර්ථ රසයත්,ධර්ම රසයත්, නිවන් රසයත් ලබන්නේ නැත්නම්, ඒ සත්වයින් ම තමයි බහුලව ඉන්නේ.

භාග්‍යවතුන් වහන්සේ මෙලෙස සත්වයින්ගේ ලෝක ස්වභාවය ගැන අනන්ත අප්‍රමාණ වූ ප්‍රඥා සහිත බුදු ඇසින් දකින ලද්දේ මෙසේය.එනිසා මහනායක ස්වාමීන් වහන්සේලා කළ යුත්තේ කුමක්ද?

නිකායන් වලට බෙදී සඝ තනතුරු වල පමණක් නොසිට බුදුරජාණන් වහන්සේගේ අවබෝධයත්, ඒ උතුම් ශ්‍රී සද්ධර්මයත් නායකත්වයට පත් කර ගැනීමයි.එහි ඇති ධර්මයත්, විනයත් තේරෙන ලෙස භික්ෂූන් වහන්සේලා ට කියා දීම හැර වෙන විකල්පයක් නොපවතින බැවින්, ප්‍රමාද නොවී නිහතමානී ලෙස නුවණින් විමසා බැලීම ද වටින්නේය.

ලක්ෂ ගණනක් සැදැහැවත් බෞද්ධයින් මහමෙව්නාව අසපු සංචිතයන් තුල එක් රොක් වන්නේ හුදෙක් මායාවක් නිසා නොව,මේ උතුම් ශ්‍රී සද්ධර්මය මැනවින් සිංහල භාෂාවට පරිවර්ථනය කර ඇති නිසාය.බොහෝ කාලයක් පාලි භාෂාවෙන් පමණක් පරිශීලනය කිරීමෙන් බොහෝ පිරිසකට මිත්‍යාදෘෂ්ඨිය තුලම සිටීමට සිදු විය. එහි පල විපාක දැන් අපේ භික්ෂූන් වහන්සේලා ද ලබදි.


පින්වත් මහණෙනි, මිත්‍යාදෘෂ්ඨිකයාට මේ පරලොව ගති දෙකක් අතරින් එකක් තමයි කැමති වෙන්න තියෙන්නේ. එක්කො නිරයේ උපත.නැතිනම් තිරිසන් යෝනියේ උපත.

පින්වත් මහණෙනි, සම්මාදිට්ඨියෙන් යුතු කෙනාට මේ පරලොව ගති දෙකක් අතරින් කැමති වෙන්න තියෙන්නේ, එක්කො දෙව් ලොව උපදිනවා, නැති නම් මනුස්ස ලෝකයේ උපදිනවා.



ස්වාමීන් වහන්සේලා දේශපාලනය කරමින්,ග්‍රහ අපල බලමින්, හූනියම් කරමින්,ගුරුකම් කරමින්, විශ්ව විද්‍යාල වල රාගයෙන්, ද්වේශයෙන් පිකටින් කරමින් ලබා ගන්නට හැකි සම්මාදිට්ඨිය කුමක්ද? මෙය තේරුම් ගැනීමට කාලය පැමිණිලා තිබෙනවා.එහෙයින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය මනා කොට ඇසෙන්නේ කොහෙද, කළ්‍යාණ මිත්‍රයාණන්වහන්සේලා සිටින්නේ කොහෙද නුවණින් විමසා බලමින්, ඒ උතුම් ධර්ම ප්‍රතිපදාව තුල ගමන් කිරීම තුලින් පමණයි කෙනෙකුට සම්මාදිට්ඨිය කරා ලඟා වනු හැකි වන්නේ.

නාහං භික්ඛවේ අඤ්ඤාං ඒකධම්මම්පි සමනුපස්සාමි,යේන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවේ කළ්‍යාණමිත්තතා. කළ්‍යාණමිත්තස්ස භික්ඛවේ අනුප්පන්නා වේච කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තීති.


පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් කුසල් උපදිනව නම්, උපන් අකුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ ශ්‍රී සද්ධර්මය පවසන කළණ මිතුරන් ඇසුර තරම් එයට හේතු වන,වෙන එකම දෙයක් වත් මා දකින්නෙ නැහැ. පින්වත් මහණෙනි, ශ්‍රී සද්ධර්මය පවසන කළණ මිතුරන ඇසුරු කරන පුද්ගලයාට නූපන් කුසල් උපදිනවා, උපන් අකුසල් දහම් පිරිහිලා යනවා.


අංගුත්තර නිකාය ඇසුරින්


ලක්මිණ දිසානයක

Nessun commento:

Posta un commento