දුක නම් වූ ආර්ය සත්‍ය - දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය

venerdì 20 aprile 2012

අසිරිමත් බුදු වදන පිටුදකින කාලීන බණ

බුදුරජාණන් වහන්සේ හා රහතන් වහන්සේලා ඇතුළු අතීත යුගයේ වැඩ විසූ ආර්ය මහා සංඝරත්නය දේශනා කොට වදාළ උතුම් දහම් මඟ වර්තමාන යුගය වන විට "කාලීන බණ" වෙසින් නොයෙක්‌ ආකාරයේ විකෘතීන්ට හසුවී ඇති බව පෙනෙන්නට තිබේ. මෙකල විහාරස්‌ථානයන්හි ධර්ම දේශනා හා වෙනත් ආගමික වැඩසටහන් සඳහා වැඩම කරන සමහර භික්‌ෂුන් වහන්සේලා එක්‌ එක්‌ නම අභිබවා ඉස්‌මතු වනු පිණිස විවිධ අභිනය පාමින් නොයෙක්‌ විහිළු කතා කියමින් ශ්‍රාවක ජනයා තමන් වෙත ආකර්ෂණය කරගැනීම සඳහා වෑයමක යෙදී සිටින ආකාරයක්‌ දැකගත හැකි වෙයි.


බුදුරජාණන් වහන්සේගේ ළයෙහි උපන් දරුවන් වැනි වූ ආර්ය මහා සඟරුවන සතුව තිබිය යුතු තැන්පත් බව, අපිස්‌ ගුණය හා සිල්වත් බව, මෙකල විචිත්‍ර දහම් දෙසුම් පවත්වන ඇතැම් භික්‌ෂුන් වහන්සේලා සතුව නොතිබීම මහ සඟරුවනේ අනාගත පැවැත්මට බරපතළ තර්ජනයක්‌ යෑයි සිතේ.


පූර්වෝක්‌ත හැඟීම අප සිත් තුළ පහළ වූයේ නොයෙක්‌ ආකාරයේ විහිළු තහලු කරමින් කට ඇද කර විකෘති ලෙස වදන් උසුරුවමින් ශ්‍රාවක පිරිස්‌ හිනස්‌සන ආකාරයේ ධර්ම දේශනා (ඒවා ධර්ම දේශනාදැයි විමතියකි) පවත්වන හිමිනමකගේ දෙසුමකට සවන් දීමට පසුගිය දිනක අපට අවස්‌ථාව ලැබුණ හෙයිනි.


කුඩා දරුවන් ඇතුළු හාරසියයකට අධික සැදැහැති බෞද්ධ මෙන්ම අන්‍යාගමික ජනකායක්‌ රැස්‌ව සිටි මෙම ධර්ම දේශනාවට වැඩි ඒ හිමියන් ගැඹුරු ඇරුත්බර පාලි ගාථා පාඨයක්‌ සිය දෙසුම ආරම්භයේදී ඉදිරිපත් කළ හෙයින් වෙනදාට වඩා තැන්පත් දෙසුමකට සවන් දීමට හැකිවේ යෑයි සිතූ සැදැහැති ජනතාවගේ බලාපොරොත්තු සැණෙන් බිඳී ගියේය. පැය දෙකකට ආසන්න කාලයක්‌ උසුළු විසුළුවලින් පිරී පැවැති එම දේශනයේ කිසිදු තැනක එකී පාලි ගාථා පාඨයේ එකදු වදනක්‌ හෝ විවරණය කරනු අසන්නට නොලැබිණ.


බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය පහදා දී බණ අසන්නන් තුළ ධර්ම සංවේගයක්‌ හා සසර පැවැත්ම පිළිබඳ යථාවබෝධයක්‌ ඇති කරවනු වෙනුවට විහිළු කතා කියමින් අනම් මනම් දෙඩවීමට ඇතැම් යතිවරුන් පෙළඹී සිටීම, නූතන ගෝලීයකරණ ප්‍රාසංගික නාඩගමකට බුදු දහම හැසිරවීමට ගන්නා මිසදිටු වෑයමක්‌ද යන සැකය මතුවෙයි.


එබඳු සැකයක්‌ පහළ වන්නේ නිර්මල ශ්‍රී සද්ධර්මයම දේශනා කරමින් එහි අරුත් සරල බසින් පහදා දෙමින් සැදැහැවතුන් තුළ තෙරුවන කෙරෙහි අවෙච්ඡ ප්‍රසාදය ඇති කරවන ධර්මාශ්‍රමයන්ට ගැරහීමටද මේ විහිළු දේශනා උපයෝගී කරගන්නා බව පෙනී යන හෙයිනි. කැලෑබද ප්‍රදේශවල විහාරාරාම ගොඩනැඟිලි ඉදිකිරීම ගැන උපහාසාත්මකව කතා කළ ඒ හිමියෝ එම භාවනා අසපුවල චතුරාර්ය සත්‍ය ධර්මය පැහැදිලි කර දීම ගැනද විවේචනය කළහ. අසපුවල පමණක්‌ නොව පන්සල්වලද චතුරාර්ය සත්‍යය පවතින්නේ යෑයි පන්සලේ ධර්ම ශාලා වේදීම දේශනා කළ එහිමියන්ගේ මුවින් චතුස්‌ සත්‍යය තබා එකදු බුදු වදනක්‌ හෝ පිටවූයේ නැත.


"නමෝ බුද්ධාය" යන චිරකාලීන බෞද්ධ ඇමතුම මෑතදී යළිත් බෞද්ධ ජනතාව අතර සම්භාවිතයට පත්කරන ලද්දේ මහමෙව්නා භාවනා ආශ්‍රමයන් (අසපු) මගිනි. එම ඇමතුම විහිළුවට ලක්‌කළ දේශකයාණන් වහන්සේ එය මහමෙව්නාවේ අලුත් මෝස්‌තරයක්‌ ලෙස හැඳින්වූයේ සමච්චලයක නියාවෙනි. තවද එය කිතුනු බැතිමතුන් අමතන "ඡේසු පිහිටයි" යන ආශිර්වාදය සමගද සසැ» එහිමියෝ මුව පසෙකට හරවා වෙනත් ස්‌වරයකින් "කියනව එහෙම නෙවෙයි නමෝ බුද්ධාය කියල" යි ශ්‍රාවක ජනයා හිනස්‌සමින් කියූහ. තවද "පැවසිය යුත්තේ නමෝ බුද්ධාය පමණක්‌ද, එතකොට නමෝ ධම්මාය, නමෝ සංඝාය නැද්ද" යනුවෙනුත් උන්වහන්සේ විමසනු අසන්නට ලැබිණ.


"නමෝ බුද්ධාය" යන දෙවදනේ තේරුම බුදුරජාණන් වහන්සේට නමස්‌කාර වේවා යන්නයි. එය විහිළුවට ලක්‌කළ යුත්තක්‌ද? කිතුනු බැතිමතුන්ගේ ඇමතුම හා සමග එය සැසඳිය හැක්‌කේද? නමෝ බුද්ධාය යන්නෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයත් උන්වහන්සේගේ ළෙහි උපන් දරුවන් වන ශ්‍රාවක මහ සඟරුවනත් අන්තර්ගත වන බව දේශක හිමියන් හිතාමතාම අමතක කළේ මහමෙව්නා අසපු කෙරේ පවත්නා ද්වේෂය නිසා නොවේද? එම දහම් දෙසුමට සවන් දුන් බැතිමතුන් දුටු අරුමය නම් එදින සන්ධ්‍යා භාගයේ දී එම විහාරස්‌ථානයේ අභිනවයෙන් ඉදිකොට විවෘත කරන ලද පිවිසුම් වාහල්කඩ පසෙක පිහිටුවූ සිහිවටන ඵලකය උඩින්ම "නමෝ බුද්ධාය" යන පාඨය සඳහන්ව තිබීමයි.


බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි යුගයේ සිව්වනක්‌ පිරිස උන්වහන්සේට නමස්‌කාර කළේ "නමෝ බුද්ධාය" යන උතුම් ඇමතුමෙනි. බුදු සසුන ලක්‌දිව පිහිටුවීමෙන් පසු රජ, මැති ඇමැතිවරුන්ගේ සිට පොදු ජනතාව දක්‌වා සෑම අයෙක්‌ම "නමෝ බුද්ධාය" යනුවෙන් නිතර දෙවේලේ ඇමතීමට පුරුදුව සිටියහ. එදවස ඇල් ගෙවිලියන් කෙත් රැක්‌කේ බුද්ධානුස්‌සති ගාථා


සඡ්Cධායනා කරමිනි. දුටුගැමුණු රජතුමාගේ මුවZග හැමවිටම නමෝ බුද්ධාය වදනින් සැරසී තිබුණ බව සාහිත්‍යයික මූලාශ්‍රයන් ගෙන් කියෑවෙයි. ධර්ම ග්‍රන්ථ, ශාස්‌ත්‍රීය ලිපි ලේඛන ආරම්භ කිරීමේදී හා අවසන් කිරීමේදී "නමෝ බුද්ධාය" සඳහන යෙදීමට පැරැණි ලේඛකයෝ පුරුදු වී සිටියහ. පෘතුගීසීන් ලංකාවට පැමිණීමට පෙර (1505 ට පෙර) විසූ සමස්‌ත ලක්‌වැසි ජනතාව එකිනෙකා හමුවූ විට "නමෝ බුද්ධාය" යි කියන්නට පුරුදුව සිටියහ. මීට අවුරුදු හැට හැත්තෑවට පෙර ලංකාවේ බොහෝ නිවාසයන්හි උළුවස්‌සට උඩින් "නමෝ බුද්ධාය" යන්න සටහන් කොට තිබිණ. අද පවා ඇතැම් නිවාසයන්හි එය දක්‌නට ඇත.


අතීත යුගයේ විසූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා හැම මොහොතක්‌ම ගතකළේ බුදුගුණම මෙනෙහි කරමින් බව ධම්මපදයේ ප්‍රකීර්ණක වග්ගයේ එන පහත සඳහන් ගාථාවෙන් කියෑවෙයි.


සුප්ප බුද්ධං පබුඡ්ජන්ති


සාදං ගෝතම සාවකා


තෙසං දිවාච රත්තෝච


නිච්චං බුද්ධ ගතා සති


"දිවා රෑ දෙකේදීම බුදුගුණ අරමුණු කොටගත් සිහිය ඇතිව වාසය කරන ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැමදා සුවසේ නිදා පිබිදෙන්නෝය" යනු එහි භාවයයි.


බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ විසූ එකී බෞද්ධ පවුලක කුඩා දරුවෙක්‌ "නමෝ බුද්ධාය" යන දෙවදන බහ තෝරන වියේදී සිටම කීමට පුරුදු වී සිටියේය. එම දරුවා වරක්‌ අමු සොහොනක්‌ අසල අතරමං වී සිටියදී යක්‌ෂයකුගෙන් ගැළවීගත් පුවතක්‌ අරභයා ඉහත සඳහන් ගාථාව ඇතුළු ගාථා හයක්‌ උන්වහන්සේ දේශනා කළහ. එම දරුවා රාත්‍රිය මුළුල්ලේ අමනුෂ්‍යයන්ගෙන් ගැළවී


රැකවරණ ලැබුවේ තමන් වහන්සේ සිහියට නඟාගත් නිසා බව පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ දිවා රෑ දෙකේහි බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ සිහි කරන කල්හි සැමදා සතුටින් සිටිය හැකි බවත් එයින් ආරක්‌ෂාව සැලසෙන බවත් දේශනා කොට වදාළහ. බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමෙන් ලැබෙන අනන්ත රැකවරණය ධජග්ග සූත්‍රයෙන්ද ඉගෙන ගත හැකිය.


"බුද්ධොති ඝෝසං - යද පරතො සුනාසි
සම්බෝධි පත්තො - විවරති ධම්ම වග්ගං


"බුද්ධ" යන මිහිරි හඬ අසන්නට ලැබෙන විට සිත් පහන් වී දහම් මඟට යොමු වන බව සුත්ත නිපාතයේ නාලක සූත්‍රයේද සඳහන් වෙයි.


මෙසේ බුදුරජාණන් වහන්සේ විසින්ම අනුදැන වදාළ තුන් ලෝ වාසීන්ටම සෙත සැලසෙන අග්‍ර වූ උතුම් වූ ඇමතුමකි ඉහත කී ධර්ම දේශකයාණන් වහන්සේ විසින් විහිළුවට ලක්‌කරන ලද්දේ. තමන් වහන්සේ විසින් මැනවැයි පුරුදු කරවන ලද, පනවන ලද යම් දහමක්‌ පැනවීමක්‌ කිසියම් භික්‌ෂුවක්‌ නොපිළිපදින්නේ ද එය අන්‍යයන්ට ප්‍රගුණ නොකරන්නේද ඒ භික්‌ෂුව බොහෝ පව් රැස්‌කර ගන්නා බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ දී දේශනා කොට වදාළ සේක.


"පින්වත් මහණෙනි, ඒ සියලුම භික්‌ෂූන් වහන්සේලා බොහෝ ජනයාට අහිත පිණිස, බොහෝ ජනයාට නොසුව පිණිස, දෙව් මිනිස්‌ ලෝකයාට අහිත පිණිස පිළිපන්නාහු වෙති. ඔවුහු බොහෝ පව් රැස්‌කර ගනිති. ඒ භික්‌ෂූන් වහන්සේලාම මේ සද්ධර්මය අතුරුදන් කර දමන්නාහු ය."


දයාපාල ජයනෙත්ති


දිවයින ඇසුරින්

Nessun commento:

Posta un commento