දුක නම් වූ ආර්ය සත්‍ය - දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය

giovedì 28 giugno 2012

සම්බුදු සිරියක අසිරිය


තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ කල්ප ගණනකිනි. මිනිසත් ආත්ම භාවය ද අති දුර්ලභ යි. මේ මහා භද්‍ර කල්පයේ එතර වෙනුව පහළ වී වදාළ ගෞතම නම් වූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වී දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස සැප පිණිස වසර හතළිස් පහක් මුළුල්ලේ අප්‍රමාණ වූ වෙහෙසක් ගෙන උතුම් ශ්‍රී සද්ධර්මය දේ්ශනා කොට අප්‍රමාණ වූ සත්ත්වයන් ඝෝර සසර කතරින් එතෙර කරවා පිරි නිවනට වැඩි සේක.

එවන් වූ උත්තරීතර මනුෂ්‍ය රත්නයක් නැවතත් මේ මිහිපිට පහළ වන්නේ මිනිසාගේ ආයුෂ අවුරුදු දහයට අඩු වී අසූ දහසට වැඩි වූ යුගයක දී අපට සිතාගන්නවත් නොහැකි කාලයක දීය. සාරාසංඛ්‍යෙය කල්ප ලක්‍ෂයක් පාරමිතා පිරූ අප මහ බෝසතාණෝ දස මාර සේනා පරාජය කොට උතුම් සම්බුද්ධත්වයට පත් වී පසුගිය දෙදාස් එකොළහේ වෙසක් පුන් පොහෝ දිනට වසර දෙදහස් හයසීයක් සම්පූර්ණ විය.
ඒ උතුම් සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොටගෙන ශ්‍රී ලංකාවේ පෙර නොදුටු විරූ උද්යෝගයක් දක්නට ලැබුණු අතර ඒ තථාගතයන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් හා ආමිස පූජාවෙන් පූජෝපහාර දක්වන අයුරු දැකගන්නට ලැබුණි.
ස්වාමීන් වහන්සේලා මෙන්ම ගිහි පින්වතුන් ඉතාමත් උද්යෝගයෙන් කටයුතු කරනු ලැබූ අතර රාජ්‍ය අනුග්‍රහය ද නොඅඩුව ලැබුණි. සමස්ත ශ්‍රී ලංකාව පුරා පොදුවේ එවන් පූජෝපහාරයක් සිදුවන මොහොතක දී මහමෙව්නාව අසපු සංචිතය මගින් ඉතාම උතුම් සුවිශේෂී වූ ප්‍රතිපත්ති පූජා හා ආමිස පූජා රාශියක්ම ක්‍රියාත්මක කිරීම ගෞතම බුදු සසුන තුළ සිත් අලවා වාසය කරන සියලු දෙව් මිනිසුන් ගේ චිත්ත ප්‍රසාදයට හේතුවන උතුම් කරුණකි.
විශේෂයෙන්ම එහි නිර්මාතෘ අපගේ කල්‍යාණ මිත්‍ර පිංවත් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් අපගේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ඇති කරගත් මහත් වූ ශ්‍රද්ධාව කරණ කොටගෙන ශාසනයේ උන්නතිය වෙනුවෙන් මහමෙව්නාව නම් වූ උතුම් සදහම් ආයතනය බිහිකොට අමිල වූ සේවයක් සිදු කරන බව මධ්‍යස්ථ සිතින් යුක්තව ජන්දය, ද්වේෂය, භය, මෝහය යන සතර අගතියට පත් නොවී විමර්ශනය කරන ඕනෑම ප්‍රඥා ගෝචර හා ශාසන මාමක කෙනෙකුට සිතා ගත හැකි ය.
ඒ අනුව මේ වන විටත් උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් ඒ ගෞතම තථාගතයන් වහන්සේට ප්‍රතිපත්තිමය වශයෙන් හා ආමිස වශයෙන් වසර දෙකක් පමණ කෙටි කාලයක් තුළ සිදු කරන ලද හා දැනටමත් සිදු කරමින් පවතින අති දැවැන්තමය පූජෝපහාරයන් අපට දැකගන්නට, දැනගන්නට ලැබෙන අතර ඒ පිළිබඳ මෙහි පළවන අනිකුත් ලිපි වලින් ඔබට බොහෝ දේ ඉගෙන ගත හැකිය. ඉතාම කෙටි කාලයක් තුළ මෙවන් උත්තරීතර පුණ්‍ය කර්මයක් එකම අනුශාසකත්වය තුළ අප දිවයින තුළ දැකගත හැකි වන ප්‍රථම අවස්ථාව මෙය බව කීම අතිශයෝක්තියක් නොවේ.
එදා රාජ රාජ මහාමාත්‍යාදීන් සිටුවරුන් විසින් සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා සිදු කරන ලද පූජෝපහාරයන් අද මේ අයුරින් සිදුවන අයුරු දැක බලා ගැනීමට ලැබීමට තරම් ඔබ අප පින් කර ඇත.
එදා කහවණු පනස් හතර කෝටියක් වියදම් කොට ඉදිකරන ලද ජේතවනාරාමය අනේ පිඬු සිටුතුමා පූජා කරන විට අප භාග්‍යවතුන් වහන්සේ විසින් එම පූජාව මෙත් සිතින් පිළිගත්තේ එවන් උත්තරීතර පූජාවක් පිළිගැනීමට උන්වහන්සේ සුදුසු නිසාත් එම පූජාව සිදු කරන උන්වහන්සේගේ බුද්ධ ඥානයෙන් දකින නිසාත් ය. එසේ නම් අදත් අපට උන්වහන්සේ උදෙසා එවන් මහා උදාර පූජාවක් සිදු කළ හැකිය.
ඒ අනුව අප ශාන්තිනායක තිලෝගුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කර ගත් අනුපමේය ශ්‍රද්ධාව කරණ කොට ගෙන උන්වහන්සේ ගේ සම්බුද්ධත්වය උදෙසා සිදු කරන්නා වූ මේ අසිරිමත් සම්බුද්ධරාජ මාළිගාව නම් වූ මහානඝ¡¡ පූජෝපහාරය පිනට කැමති සියලු දෙව් මිනිසුන්ගේ අතිශය ප්‍රසංශාවට භාජනය විය යුතු අනභි භවනීය පිංකමකි. සෑම දෙනාටම එකම ආකාරයෙන් පිංකම් කිරීමේ හැකියාව නැත. එහෙත් අපට සතුටු සිතින් තවත් කෙනෙක් ශ්‍රද්්ධාවෙන් කරන පිංකම අනුමෝදන් විය හැකිය. ඒ අනුව මෑත ඉතිහාසයේ මා මෙතෙක් දුටු අති උත්තරීතරම විහාර මන්දිරය ලෙස මෙම සම්බුද්ධ රාජ මාළිගාව හැඳින්වීම නිවැරැදි බව මම කල්පනා කරමි.
ඒ පිළිබඳව යම් මතයක් පළ කිරීමට පෙර කෙනෙක් අනිවාර්යයෙන්ම තම දෙනෙතින්ම මෙම උතුම් සම්බුද්්ධ රාජ මාළිගාව දැක ගත යුතුමය. එය දැක වන්දනා කරන අයෙකුට ඇතිවන අවිවාදාත්මක අදහස වන්නේ මෙය විශ්ව කර්ම නිර්මාණයක් බව යි’ එම ප්‍රකාශය වඩාත් තහවුරු වන්නේ වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙය ඉදිවීම නිසාය. ලෝකයේ සෑම බෞද්්ධ පිංවතෙක් පිංවතියක්ම දැක බලා වන්දනා මාන කළ යුතු උතුම්ම ස්ථානයක් ලෙස මෙම සම්බුද්්ධ රාජ මාළිගාව හැඳින්වීම නිවැරැදිය.
අපගේ ලංකා සම්බුද්ධ ශාසන ඉතිහාසය නම් වූ අම්බරයට නැවුම් ලෙස එකතු වූ දීප්තිමත් තාරකාවක් ලෙස මැදිහත් ලෙස මෙම සම්බුද්ධ රාජ මාළිගාව දැක බලා ගන්නා ඕනෑම අයෙක් කල්පනා කරනු නොඅනුමාන ය. විශේෂයෙන්ම පිංවත් ඤාණානන්ද හිමියන්ගේ අපිරිමිත ශ්‍රද්ධාව, පුණ්‍ය මහිමය, අප්‍රතිහත ධෛර්යය, නිර්මාණ කෞශල්‍යය, ස්ථානෝචිත ප්‍රඥාව, බුද්ධිමහිමය, අධිෂ්ඨාන පූර්වක භාවය ආදී උතුම් ගුණාංග රාශියක් මෙම සම්බුද්ධ රාජ මාළිගාව තුළින් දිස්වෙන අතර උන්වහන්සේ ගිහි සහ පැවිදි ඇත්තන්ට මෙන්ම දෙව්, බඹුන්ට පිං කර ගැනීමට අවස්ථාව සලසා දුන් පුණ්‍ය ආකරයක් ලෙස ද මේ උතුම් නිර්මාණය හැඳින්වීම නිවැරැදිය.
ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් උතුම් සිල් ගුණ දම් පුරන ගිහි පැවිදි ශ්‍රාවක පිරිස් සම්බුද්ධ ශාසනයට ඇතුළත් කර ගැනීමට පිංවත් ඤාණානන්ද හිමියන් කටයුතු කර ඇති ආකාරය පන්සීයකට අධික මහමෙව්නා වාසී මහ සඟරුවනින් ද ලක්‍ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකා පිරිස තුළින් ද දැක ගත හැකිය. ප්‍රතිපත්ති පූජාව ඉහළම පූජාව බව දන්නා උන්වහන්සේ වසර දහයකට අධික කාලයක් උතුම් ශීල, සමාධි, ප්‍රඥා දියුණු කර සසර කතරින් එතෙර වීමට වෙර දරන ශ්‍රාවක පිරිසක් බිහි කර ගැනීමට උත්සාහ දරා තිබෙන ආකාරය මහමෙව්නා අසපු සංචිතය ගැන සමීපව, මධ්‍යස්ථව, හා අගතිගාමී නොවී විමර්ශනය කරන නුවණ ඇති පිංවතුන්ට අවබෝධ කර ගත හැකිය.
ගෞතම බුදු සසුන තුළ උතුම් චතාරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස ප්‍රතිපත්ති පුරන පිංවත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් උදෙසා පිං සිදු කර ගැනීමත් ඒ තුළින් සසර ගමන කෙටි කර ගැනීමට උපකාර කරන මහමෙව්නා භාවනා අසපු සංචිතය නිර්මාණය කළා වූද විශේෂයෙන්ම මෙම උතුම් සම්බුද්ධ රාජ මාළිගය ඉදිකොට ගෞතම තථාගත අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට පූජා කිරීමට කටයුතු කළ පිංවත් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට හා මහමෙව්නා වාසී පිංවත් ස්වාමීන් වහන්සේලාටත් සම්බුද්්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැප වී කටයුතු කරන සිල් ගුණ දම් පුරන ලෝවැසි පිංවත් ස්වාමීන් වහන්සේලාටත්, මේ සම්බුද්ධ රාජ මාළිගය විවෘත කරන ශ්‍රමය, ධනය, කාලය කැප කරන, කැප කළ සැමටත් විශේෂයෙන්ම ගෞතම සසුනට රැකවරණය සලසන සියලුම දෙව්, බඹුන්ටත් උතුම් චතුරාර්ය සත්‍යය මේ බුදු සසුනේ දීම සාක්‍ෂාත් කර ගැනීමේ දුර්ලභ භාග්‍යය උදාවේවා!