දුක නම් වූ ආර්ය සත්‍ය - දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය

mercoledì 26 dicembre 2012

සෝම හිමියන්ගේ සුවිශේෂී ගමන් මග


තුන් හෙළයට තිරසර සාමයක් ගෙන දීම උදෙසා උත්තුංග මෙහෙවරක නියැලී සිටි පරමපූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමිපාදයන් වහන්සේට හා පරමපූජනීය අම්පිටියේ ශ‍්‍රී රාහුල මාහිමියන් වහන්සේට අසිරිමත් සසුන් දරුවෙකු ලැබිණ. නව යොවුන් වියෙහිදී කසාවතට ඇලූම් කොට සසුන්ගත වූ එම සිසු දරුවාණෝ කවරහුද? ඒ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණෝ යැ.

සෝම හිමියන්ගේ නිර්භීතභාවයත්, තියුණු වූ වාග් සංධ්වනියත් විටෙක ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලයන් සිහි කරවයි. උන්වහන්සේගේ සුනිශිත බුද්ධිප‍්‍රභාවයෙන් හෙබි තාර්කික දේශනා විලාශය විටෙක මිගෙට්ටුවත්තේ ශ‍්‍රී ගුණානන්ද වාදීභසිංහයන් සිහි කරවයි. සාරගර්භ වූ උතුම් ධර්මෝපදේශයන් උන්වහන්සේගේ මුවින් ගිලිහෙන විට අපට සිහිපත් වන්නේ ලෝක ධර්මදූතයෙකු වැ සිටි අතිපූජ්‍ය නාරද මාහිමියන් වහන්සේ යැ. උන්වහන්සේගේ නොකැළැල් චරිත පාරිශුද්ධිය සිය ගුරුදෙවිඳුන්ගේ පියවර සටහන සිහිපත් කරවයි.

ලාංකීය ජනතාවට සෝම හිමියන්ව මුණගැසුණේ එකල අතිශයින්ම ජනප‍්‍රිය වැ තිබූ මාධ්‍ය වැඩසටහනක් වන ‘නැණ පහන’ තුළිනි. එහිදී සෝම හිමියන් දක්වන ලද අද්විතීය, අසාමාන්‍ය කුසලතාව හේතුවෙන් එම වැඩසටහන ජනතා ආකර්ශනය විසින් ඉහලින්ම දිනා ගන්නා ලදී. උන්වහන්සේගේ අතිශය මධුර වූ ස්වරයකින් හෙබි දේශනා විලාශයට ජනතාව වශීකෘත වැ සිටියහ. උන්වහන්සේ දහම් දෙසුයේ සාමාන්‍ය සරල ව්‍යවහාර භාෂාවෙනි. එනමුදු එහි ඇති විශේෂත්වය නම් එම දෙසුම් වහා වැටහේ. සැනෙකින් අරුත පසක් කරවයි. තර්කානුකූලව කරුණු ඉස්මතු වෙයි. නිර්භීත බව ප‍්‍රකට වෙයි.

දකුණු ඉන්දියානු සාම්ප‍්‍රදායික දේව ඇදහිලි කරා සිංහල බෞද්ධයන් අන්ධානුකරණයෙන් නැඹුරු වී සිටීම ගැන සෝම හිමියෝ කිසියම් දැඩි නොරිස්සුම් ගතියකින් සිටියහ. ඇතැම් විට උන්වහන්සේගේ දෙසුම්වලින් එම ඇදහිලි කරා යන්නන් හට තියුණු වාග් ප‍්‍රහාර නිකුත් වෙයි. “කාලකණ්ණි බෞද්ධයා යදිනවා, ඉල්ලනවා. කාලකණ්ණි බෞද්ධයන් ධර්මයට කැමති නෑ. සදාචාරයට කැමති නෑ. දුරාචාරය රජ කරනවා. එනිසා ඔය ඇත්තො ධර්මයට කැමති වෙන්න. එතකොට දියුණු වේවි. ධර්මයට පිටුපෑම නිසයි මේ මිත්‍යා ඇදහිලි පසුපස යන්නේ.”

මෙවැනි වදන් එකල ජනතාවට එතරම් හුරු නොවීය. කලක් තිස්සේ සැදැහැවත් පින්වතුනි යැයි ඇමතූ ජනතාවට කාලකණ්ණි යැයි පවසා සිටීම නිසා ඇතැම්හු සෝම හිමියන් කෙරෙහි බලවත් අප‍්‍රසාදයක් පළ කළහ. සැබැවින්ම උන්වහන්සේට ඇවැසි වූයේ තෙරුවන් සරණ ගොස් නිති පන්සිල්, පොහොය අටසිල් රැක බෞද්ධ දෙවිවරුන්ට පින් දෙන සමාජයක් බිහි කිරීමටය. එහෙත් උන්වහන්සේ කරුණු පැවසූ ආකාරයෙන් බොහෝ දෙනෙක් මෙය වරදවා වටහා ගත්හ. ඔවුන් නිතර චෝදනා කරන ලද්දේ ‘සෝම හාමුදුරුවෝ දෙවියන්ට බනිනවා’ කියාය. සමහරුන් සෝම හාමුදුරුවන්ට පුවත්පත් මාර්ගයෙන් අභියෝග කළත් උන්වහන්සේ පාදූවිල්ලක් තරම්වත් ඒවා ගණන් ගත් බවක් නොපෙනිණ.

සෝම හිමියන් ඇතැම් දෙවිවරුන් අරභයා උපහාස මුසු වදන් පැවසීම මා අනුමත නොකළත්, එකල ජනතාව නම් සිනාසෙමින් අසා සිටියහ. ඇතැම් පන්සල්වලින් දේවාල මැකී ගියේය. දේවාල ඇති පන්සල් උන්වහන්සේට එරෙහිව නැගී සිටියහ. එය එක්තරා අපූරු විප්ලවයක් බඳුය.

බෞද්ධ ජනතාව අන්ධානුකරණයෙන් යුතුව අදහන්නන් වාලේ අදහන පිරිසක් නොවිය යුතු බව උන්වහන්සේ එකහෙළා අවධාරණය කළහ. එකල බෙහෙවින්ම ජනප‍්‍රිය වැ තිබූ පිරිත් පැන් බලයෙන් ලෙඩ සුව කිරීමේ වැඩසටහනකට උන්වහන්සේ විසින් දැඩි ප‍්‍රහාර එල්ල කරන ලදී. වරක් එවැනි පූජාවකදී පැමිණ සිටි පිරිසට ගෙනැවිත් තිබූ පිරිත් පැන් බවුසර් මදිවිය. එවිට අසල ඇති වැවක ජලය පිරිත් පැන් බවට පත් කෙරිණ. ‘හරි වැඬේනේ… එතකොට වැවේ සිටිය මාලූත් පිරිත් වුණා’දැයි අසමින් මුන්වහන්සේ එයට උසුළු විසිළු කළහ. පිරිත් පැන් වලින් ජනතාවට සිදුවන සහනය සළකා ඒ කෙරෙහි මධ්‍යස්ථ වන ලෙස මා පෞද්ගලිකව උන්වහන්සේගෙන් ඉතා යටහත්ව ඉල්ලා සිටි නමුත් එයට කිසි බුරුලක් දැක්වූයේ නැත. සෝම හිමියන්ගේ ඇතැම් තීරණ  ඕනෑවටත් වඩා දැඩියැයි සිතෙන අවස්ථාවන් නොතිබුණා නොවේ. එනමුත් උන්වහන්සේගේ අභීත ස්වරය ඉදිරියේ එයට එරෙහිව ඍජු ප‍්‍රකාශ කිරීමට සියල්ලන්ම බිය වී සිටි බව නම් එකල පැහැදිලිව පෙනුණු දෙයකි.

සෝම හිමියන්ගේ ඒකායන අදහස වූයේ බෞද්ධ ජනතාව ධර්මයෙන් මෙන්ම සදාචාරයෙන්ද, ආර්ථිකයෙන්ද, සාමාජීය වශයෙන් ද සමෘද්ධිමත් කිරීමයි. එ් සඳහා උන්වහන්සේට සුදුසුකම් තිබුණි. සූත‍්‍ර පිටකය මැනැවින් හදාරා තිබූ උන්වහන්සේ ‘පඤ්ච ඉට්ඨධම්ම’ සූත‍්‍රය වැනි අප‍්‍රකට සූත‍්‍ර දේශනා ඉස්මතු කරමින් දෙවියන් ඉදිරියේ යාදිනි කිරීම නොව සැප ලැබෙන ප‍්‍රතිපදාවක ගමන් කිරීම කළ යුතු යැයි එකහෙලා පවසා සිටියහ. උන්වහන්සේගේ මුල් කාලීන දෙසුම් ඉතා සුමධුරය. සාරවත් දහම් කරුණු වලින් පිරී ඉතිරි ගොස් තිබුණි. සකල හෙල බොදුනුවන් උන්වහන්සේ වටා රොද බැඳ ගත්තේ ධර්ම දේශනාවෙහිලා දක්වන ලද විස්මිත දේශනා කෞශල්‍යය නිසාවෙනි.

සෝම හිමියෝ හෙලබිමටත්, හෙලදැයටත්, බුදුබණටත් පෙම් බැඳ සිටියහ. එයින් තොර ලෝකයක් උන්වහන්සේට නොතිබුණි. හෙලයා ක‍්‍රමක‍්‍රමයෙන් පිරිහී යන අයුරුත්, අන්‍යාගමික ආක‍්‍රමණයන් කරා යන අයුරුත් දුටු උන්වහන්සේ කම්පිතව ගියහ. වරක් දීඝවාපී චෛත්‍යස්ථානය අන්‍යාගමික, අන්‍යජාතික අක‍්‍රමණයකට හසු වී එය බෞද්ධයාට අහිමි වී යනු දුටු උන්වහන්සේ අභීතව නැගී සිටියහ. විශේෂයෙන් සිංහල ජනතාවගේ වර්ධන වේගය සීග‍්‍රයෙන් අඩුවීම ගැනත්, මව්වරුන් සීසර් සැත්කම් මගින් දරු උපත් ලබාගැනීම ගැනත්, සිංහල ජාතිය වඳවීම ගැනත් උන්වහන්සේ කම්පා වී සිටියහ. මේ වෙනුවෙන් දිගින් දිගටම දැඩි ස්වරයෙන් යුතුව කතා කරන්නට යෑම හේතුවෙන් මුල් කාලීන දෙසුම්වල තිබූ සෞන්දර්යය ටිකෙන් ටික මැකී ගොස් කිසියම් ප‍්‍රතිසංස්කරණවාදියෙකුගේ තීව‍්‍ර ගති ලක්ෂණ ඉස්මතුවන්නට විය.

එකල ලක්දිව තිබූ දේශපාලන පක්ෂ කෙරෙහි දැඩි අවිස්වාසයකින් සිටි උන්වහන්සේ අලූත් දේශපාලන නායකත්වයක් උදෙසා සිය ගණන් දෙසුම් පවත්වමින් ලිපි ලියන්නට පටන් ගත්හ. උන්වහන්සේගේ ගමන වෙනස් වූයේ මේ තුළින් ය. උන්වහන්සේව අභියෝගයක් යැයි සැලකූ ඇතැම් දේශපාලනඥයන් විසින් ‘සෝම හිමියන්ගේ සෙක්සි බණ’ කියමින් අපහාස කරන ලදී. කෙමෙන් කෙමෙන් උන්වහන්සේගේ දෙසුම්වලට මාධ්‍ය වාරණයක් උදා විය. ඉන්පසු උන්වහන්සේ විසින් කරන ලද්දේ විහාරස්ථාන ආශ‍්‍රයෙන් ස්වකීය මතය ප‍්‍රචාරය කිරීමයි. උන්වහන්සේ පැතූ ලෝකය ගොඩනැගීම උදෙසා අසාමාන්‍ය වීරියකින් කැපවී සිටියහ. එ් සියල්ලට මුහුණ දීම පිණිස ශක්තිමත් සංවිධානයක් ගොඩනගන්නට වෙහෙසුණහ. එය වනාහී ‘ජනවිජය පදනම’යි.

ජනවිජය පදනම ඔස්සේ උන්වහන්සේ ඉදිරිපත් කළ වැඩපිළිවෙල ටිබෙටයේ දලයිලාමාගේ දේශපාලන කර්තව්‍යය සිහිපත් කරවයි. ඍජු දේශපාලන මැදිහත් වීමක් උදෙසා ලාංකීය භික්ෂු පරපුර මෙහෙයවන්නට උන්වහන්සේව පොළඹවන ලද්දේ එකල පැවැති සාමාජික දේශපාලනික හා ආගමික වටපිටාව විසිනි. ඊළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් උන්වහන්සේ ඉදිරිපත් වන බව ප‍්‍රකාශ කිරීමත් සමඟ සියලූ දේශපාලන පක්ෂ කැළඹී ගියේය. උන්වහන්සේ වටා ඒකාරාශී වූ ජනතාවගේ ප‍්‍රසාදය බිඳහෙලන්නට නා නා කුමන්ත‍්‍රණ දියත් කළහ. කොටින්ම ලාංකීය සමාජය තුළ කැපී පෙනෙන උන්වහන්සේගේ භූමිකාව සියල්ලන්ට කිසියම් අද්භූත චමත්කාරයක් ඇතිකරන ලදී.

අන්‍යාගමික සහ අන්‍යජාතිකයන් ගෙන් උන්වහන්සේගේ ජීවිතයට දැඩි බලපෑම් එල්ලවන්නට විය. මින් සත් වසරකට උඩදී රුසියානු දේශයේදී ආචාර්ය උපාධියක් ප‍්‍රදානය කිරීම පිණිස යැයි කියමින් අපගේ සෝම හිමියන්ව යම්කිසි පිරිසක් විසින් කැඳවාගෙන යන ලදී. එහිදී අනපේක්ෂිත පරිදි රෝගාතුර වූ උන්වහන්සේ ඉතා අද්භූත අයුරින් අපවත් වී වදාළහ. එහෙත් අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් විසින් ඇති කළ සාමාජික, ශාසනික, දේශපාලනික පෙරළිය තවමත් ලාංකීය සමාජය තුළ නින්නාද වනු පෙනේ. සැබැවින්ම සෝම හිමියන් අපූරු භික්ෂුවකි. උන්වහන්සේ ගත් අවංක වෑයම උන්වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස හේතු වේවා!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

කුසලය සහ ධර්මිෂ්ඨ සමාජය

දෙව් මිනිසුන්ගේ සැපය උදෙසා අර්ථවත් ධර්මානුකූල ජීවිත රටාව පිළිබඳ විස්තර, සියළු කෙලෙසුන් ගෙන් නිවී සැනසුන මුණිවරයන් වහන්සේලා විසින් දෙව් මිනිසුන්ගේ ම හිත සුව පිණිස දේශනා කරන ලදි.එසේ මුල.මැද,අග සම්පූර්ණ වූත් අකාලික වූත් ධර්මරත්නයකින් , සීල,සමාධි ,ප්‍රඥාවෙන් ඵල නෙලා ගත් නුවණැතියන්, ලෙඩ වීමත්,වයසට යෑමත්, මරණයත් ජගත් සේම තවත් බොහෝ  අවබෝධ නොකරගත් විශාල පිරිසක් ද මේ ඝෝර සසරෙහි සැමදාමත් සැරිසරමින් සිටීම බුදුරජාණන් වහන්සේ විසින් අප හට මැනවින් පෙන්වා දී තිබේ.
වර්ථමානය තුල බොහෝ කාලයක සිට විවිධ රටවල් පාලනය කරන ඇත්තන්ගේ,නිළධාරීන්ගේ අදූරදර්ශී තීරණ නිසා සිදුවන අපරාධ, සොරකම්,පවුල් ජීවිත තුල දකින්නට ලැබෙන අසමගිය,අප කන බොන වස විස හා එම වස විස විකුණන ආයතන හිමියන්ගේ විෂම ලෝභය  යන අකුසල් වලින් සිදු විය හැකි සමාජ පරිහාණිය ගැන ශ්‍රී සද්ධර්මයෙහි සඳහන්ව ඇත.සත්වයින්ගේ සංසාර ගමන දීර්ඝ වන තරමට සමෘද්ධිමත් යුග මෙන්ම අග-හිඟකම් වලින් පිරි දුර්භීක්ෂ ත්‍රාසය උපදවන කාල වකවානු ද හමුවන එක ලෝකයේ කිසිවෙකුට නතර කළ නොහැකිය.ඒත් මැරෙමින්, ඉපදෙමින් යුක්තිය,සාධරණය,සැපය සොයමින් අවිද්‍යා මාර්ගය මුල් කරගෙන යන මේ සත්වයින්ගේ නුවණ මතු කර දෙන්නට හැකි යුගයක් ද එන්නේය.
දෙව් මිනිස් සත්වයන්ගේ කුසල කර්මයන් බලවත් වන කාලයක ඒ අප මහා බෝසතාණන් වහන්සේ තම අන්තිම ශරීරය දරණ යුගය පහල වන්නේය.බුදුරජාණන් වහන්සේලා පහල වන්නේ බොහෝ කලකට පසුවය.එවන් යුග වල දෙව් මිනිස් ප්‍රජාවට මෙන්ම සමහර තවත් සත්වයින් හට සැප ගෙන දෙන පුණ්‍ය වකවානුවක් ලෙස හැදින්විය හැක.තවමත් අපට ඒ අපගේ භාග්‍යවත්, අරහත් ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ශ්‍රී සද්ධර්මය ඇසෙන යුගයක් ව පැවතීම මහත් වූ වාසනාවකි.සම්මාදිට්ඨියෙන් යුතු දෙව්-බඹුන් තවමත් අප අතර සිටිනවා.ප්‍රමාදය මාරයාගේ උගුලක්ය.ප්‍රමාද වූ සත්වයින්ට හිමි වන්නේ ඝෝර සංසාරයයි.සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වදාළ ධර්මයමයි ශ්‍රේෂ්ඨ වන්නේ .මෙය මුණිවරුන්ගේ දහමේ ලක්ෂණයකි.

භාග්‍යවතුන් වහන්සේ වදාළ ලෙස මේ ලෝකය පවතින්නේ හේතුඵල දහමකිනි.ලෝකය තුල අධ්‍යාත්මිකවත්, බාහිරවත් පවතින මේ ගැටළුව දැකිය හැකි වන්නේ ස්වකීය විශේෂ නුවණකින් සත්‍ය අවබෝධ කළ මේ තුන් ලොවටම අග්‍ර වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන්වහන්සේට පමණි.අප සරණ ගිය ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් කුසල් වැඩීම තුලින් ධර්මිෂ්ඨ සාමාජයක් බිහිවීමට උපකාර වන කාරණා ශ්‍රී සම්බුද්ධ දේශනා තුලින් බොහෝ අවස්ථාවල වදාළා තිබෙනවා.එයින් එක් අවස්ථාවක් වන්නේ මනුෂ්‍යයාගේ යම් කාල වකවානුවක අතීතයත්,වර්ථමානයත්,අනාගතයත් උන්වහන්සේගේ බුදු ඇසින් දැක දෙව් මිනිසුන්ගේ යහපත උදෙසා දේශනා කිරීමයි.

අද අප සමජය තුල ඇති වී තිබෙන, විසදා ගත නොහැකි බොහෝ කරදර වලට හේතු බුදුපියාණන් වහන්සේගේ මෙම උතුම් ධර්ම කරුණු වලින් වටහා ගැනීමට පින්වත් ඔබ සැමට හැකි වී, බොහෝ පින් රැස කර ගැනීමට හේතු වේවා!

එදවස භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ මගධරට මාතුලා නම් ගමෙහිය.එක් දිනෙක අප බුදුරජාණන් වහන්සේ භික්ෂූ සංඝයා උදෙසා මෙසේ වදාළ සේක.පින්වත් මහණෙනි, වෙනත් සරණක් නොමැතිව තමාව ආරක්ෂා කරමින්,තමන්ව ම පිහිට කරගෙන,ශ්‍රී සද්ධර්මය තුල සිට, ශ්‍රී සද්ධර්මය ම පිහිට කරගෙන වාසය කරන්නේ කෙසේද?

"පින්වත් මහණෙනි, එය වනාහි අපගේ කයෙහි ස්වභාවය අනුව බලමින් කායානුපස්සනාවෙන් ද,විදීමේ ස්වභාවය අනුව බලමින්,වේදනනුපස්සනාවෙන් ද සිතේ ස්වභාවය අනුව බලමින් චිත්තානුපස්සනාවෙන්ද, ධම්මනුපස්සනාවෙන් ද , කෙලෙස් තවන වීරියකින් යුතු නුවණකින් ලෝකයේ කෙරෙහි ඇති ඇල්මත්, මානසික දුක් සහිත පීඩනයත් දුරලමින් වාසය කිරීමයි." එයින් හැඟෙන්නේ කෙලවරක් නොමැති සංසාර ගමනක සිට එන මේ සත්වයින් එයින් මිදීමට නම් සීලයෙන් යුතුව ධර්මය තුල පිහිටීමෙන් රැකවරණය සලසා ගත යුතු බවයි. එය වනාහි ධර්මය තුල සිහිය පිහිටුවා ගැනීමේ සතරසතිපට්ඨානයයි.


මෙලෙස බුදුරජාණන් වහන්සේ විසින් ඈත අතීතයේදී ධර්මයම රැකවරණය කර ගනිමින්, ධර්මයෙහි රැකවරණය ලබමින් සිටි යුගයත්, පසු කාලයේදී සීලාදී ගුණ ධර්මයන් පිරිහීමෙන් සිදුවුන විනාශයත් පහැදිලි කළ සේක.


ධාර්මික වූ චක්‍රවර්තී රජතුමා පහළවීම


මෙයින් බොහෝ කලකට පෙර මනුෂ්‍ය ආයුෂ 80,000 ක් වන කාලයේ දළ්හනේමි යනුවෙන් සක්විති රජ කෙනෙක් පහළව සිටියහ.මේ මහපොළව පුරා ඇති සියළු මහද්වීප වල සතර මහා සාගර ආවරණයෙන් පහළ වන ධර්මරාජ්‍යයක් තුල කිසිවෙකුට පරාජය කළ නොහැකි ධාර්මික රාජ්‍යයක් ද සමග එතුමා හට පිනෙන් පහළවන මාණික්‍ය හතක්  ද වූහ.මෙසේ චක්‍ර රත්නයෙන් ද,අශ්ව රත්නයෙන් ද, හස්ති රත්නයෙන් ද, මාණික්‍ය රත්නයෙන් ද, ස්ත්‍රී රත්නයෙන් ද,ගෘහපති රත්නයෙන් ද, පුත්‍ර රත්නයෙන් ද යන සප්ත රත්න වලින් කිසිවෙකුට ආක්‍රමණය කළ නොහැකි, දඬුවම් කිරීමකින් තොරව මුළු මහත් පෘතුවි තලයටම අධිපති වී බොහෝ කාලයක් පාලනය කිරීමට දළ්හනේමි සක්විති රජතුමාට පිනැති බලයක් තිබිණි.

මෙසේ පහළ වන චක්‍ර රත්නයට සක්විති රජතුමා විසින් පැන් වඩන කල්හි එම දිව්‍යමය චක්‍ර රත්නය සිව් රඟ සේනා සමග ඉබේ කරකැවෙමින් ලෝකයේ සියළු පාලන රාජ්‍යයන් වෙත යන බවත්,එසේ ගමන් ගන්නා රාජ්‍ය වල රජවරු කිසිම ලේ වැගිරීමකින් හෝ යුද්ධයකින් තොරව තම පාලන ප්‍රදේශ දළ්හනේමි සක්විති රජතුමාට පවරන බවත් ,එතුමාගේ අණින් පාලනය වන ඒ සියළු රජ්‍යයන් වල ජනයා කිසිදු බිය සැකයකින් තොරව, පංචසීලයෙන් යුතුව බොහෝ කාලයක් සැප සහිතව ජීවත් වන බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක.ඉක්බිතිව දළ්හනේමි සක්විති රජතෙම තම පාලනයෙන් අවුරුදු දහසකට පසු එක්තරා පුරුෂයෙක් කැඳවා මෙසේ කීහ."පින්වත් පුරුෂය මේ චක්‍ර රත්නය මේ තිබෙන්නා වූ ස්ථානයෙන් මදක් හෝ වෙනස්ව ඇත්නම් මා හට දන්වන්න". ඉන්පසු බොහෝ අවුරුදු දහස් ගණනක් දැහැමින් රාජ්‍ය පාලනය කළ පසු ඉහත කී මාණික්‍ය රත්නය තිබෙන්නා වූ ස්ථානයෙන් වෙනස්ව ඇති බව දුටු රාජ පුරුෂයින් ඒ බව රජතුමා හට දන්වනු ලැබූහ.දළ්හනේමි සක්විති රජතුමා එයින් පසු දහසක් වූ තම පුත්‍ර රත්නයට කතා කොට එහි සිටින වැඩිමහල් පුත්‍රයා අමතා මෙසේ කීවේය.පුත නුඹ මේ රාජ්‍යයේ පාලනය භාර ගත යුතුව ඇත.එලෙස රාජ්‍ය පාලනය මැනවින් පවරමින් දළ්හනේමි රජතෙම කෙස් රැවුල් බා ගිහි ගෙයින් නික්ම භාවනා කිරීම සඳහා ගියහ.එසේ සත් දවසකින් දිව්‍ය චක්‍ර රත්නය අතුරුදහන් වුණි.පියාණන්ගෙන් දායදය නොපෙනී ගිය හේතුවෙන් කලබලයට පත් පුත්‍ර රජතෙම තම පියාණන් වන සෘෂිවරයාණන් හමුවී මේ කරුණ සැල කර සිටියේය.කරුණු වටහා ගත් සෘෂිවරයාණන් වහන්සේ විසින් තම පුතුට මෙසේ කීහ."පුත්‍රය මේ චක්‍ර රත්නය නොපෙනී යෑම ගැන ඔබ කලබල විය යුතු නැත.එය ඔබගේ වරදක් ද නොවේ.මෙය පියාගෙන් ලද දායදයක් ද නොවේ.මෙසේ නොපෙනී ගිය චක්‍ර රත්නයත් සක්විති රජකමත් නැවත ලබා ගැනීමට නම් ඔබ විසින් සක්විතිවත් පිරිය යුතුය.මෙසේ පුත්‍ර රජතෙම සක්විතිවත් විමසන්නේය.

සෘෂිවරයාණන් වහන්ස මෙම නිවැරදි සක්විතිවත් නම් කවරේද?


1 පුතා නුඹ ධර්මයෙහිම පිහිටා කටයුතු කළ යුතුව ඇත.එසේම ධර්මයට අනුග්‍රහය දක්වමින්,ගරු කරමින්, ධර්මයටම ඇලී වාසය කරමින්,ධර්මයට ප්‍රිය මනාපව,ධර්මය පුදමින්,වඳිමින් ධර්ම බලයකින්,ධර්මය මුල් කරගෙනම තමන්ගේ බිරිඳට, දරුවන්ට සීලය ගැන පහදා දී ඒ අනුව ඔවුන්ව පුරුදු කර ඒ තුල ඔවුන්ව පිහිටුවා,ධර්මයෙහි රැකවරණය ඔවුන්ට සැලසිය යුතුයි.

2 රාජපුරුෂයන් ද,රජ පරපුර ද,ගෘහපති පවුල් ද,පංච සීලයෙහි පිහිටුවා ධර්මය තුලින් ආරක්ෂාව ඔවුන්ට ද සැලසිය යුතුය.
 

3 සියළුම ගම්දනව් වල,ජනපද වල සියළු වැසින්යන්ට සහ සියළුම සත්වයින්ට මෛත්‍රියෙන්, හිංසාවෙන් තොරව කටයුතු කළව.
 

4 තම රට තුල අධර්මය බලවත් වන්නට ඉඩනොදිය යුතුය.
 

5 තම රටෙහි සියළුම දුප්පතුන්ට ධනය සහ සැප සම්පත් දිය යුතුය.

6 පුතා තම රටෙහි රාගයෙන් තොරව, අනගාරිකව,බ්‍රහ්මචාරීව වාසය කරන පින්වත් සෘෂිවරයන් වහන්සේලා ඇත් ද, ඔබ ඔවුන් කරා නිතර ගොස් අකුසල් ගැන දැන ගෙන, ඒ අකුසල් වලින් මිදිය යුතුය.කුසල දහම් ගැන අසා, ඒ කුසල් ද වැඩිය යුතුය.


පින්වත් පුත්‍රය, සක්විති රජ කෙනෙකු පිරිය යුතු සක්විති වත් මෙසේය.


ඉන්පසු එම රජතුමා තම පියාණන්වහන්සේ විසින් පවසා සිටි සක්විති වත් ඒ අයුරින්ම සම්පූර්ණ කරන ලදි.මෙසේ සම්පූර්ණ කරන කල්හී නැවත දිව්‍ය චක්‍රරත්නය ඔහු ඉදිරියේ පහල විය.එසේ පෙර යම් සක්විති රජකෙනෙකුට පහල වූවා සේ මේ මහපොළව පුරා ඇති සියළු මහද්වීප වල සතර මහා සාගර ආවරණයෙන් පහළ වන ධර්මරාජ්‍යයක් තුල කිසිවෙකුට පරාජය කළ නොහැකි ධාර්මික රාජ්‍යයක් ද සමග එතුමා හට පිනෙන් පහළවන මාණික්‍ය හතක්  ද වූහ.මෙසේ චක්‍ර රත්නයෙන් ද,අශ්ව රත්නයෙන් ද, හස්ති රත්නයෙන් ද, මාණික්‍ය රත්නයෙන් ද, ස්ත්‍රී රත්නයෙන් ද,ගෘහපති රත්නයෙන් ද, පුත්‍ර රත්නයෙන් ද යන සප්ත රත්න වලින් කිසිවෙකුට ආක්‍රමණය කළ නොහැකි දඬුවම් කිරීමකින් තොරව මුළු මහත් පෘතුවි තලයටම අධිපති වී බොහෝ කාලයක් පාලනය කිරීමට මෙම සක්විති රජතුමා හට ද ලැබිණ.

මේ අයුරින් සක්විති රජතෙම තමන්ගේ සිව් රඟ සේනාවන්ගෙන් සමන්විතව බොහෝ ප්‍රදේශ කරා යමින් සිටින විට, එම ප්‍රදේශ තුල චක්‍රරත්නය පිහිටයි ද, එලෙස තමන් ඇතුළු රාජ සේනාව එම ප්‍රදේශ තුල වාසය කරයි.එසේ වාසය කරන කල්හි එම ප්‍රදේශ වල අණ පතුරුවා සිටින සියළුම රජවරු මෙම සක්විති රජතුමා වෙත පැමිණ මෙසේ කියන්නේය.පින්වත් මහරජාණෙනි,ඔබගේ පැමිණීම යහපත් දෙයක් ය.අප සතුව පවතින මේ සියළුම රාජ්‍යයන් පිළිගෙන අපට අනුශාසනා කළ මැනව.එසේ ප්‍රකාශ කරන විට සක්විති රජතෙම ඔවුන් වෙත අනුශාසනා කරන්නෙහිය. ඔබ සියළු දෙනා ඇතුලු සියළුම රටවැසියන් අද පටන් පංචසීලය රැකිය යුතුය.එය මෙසේය. ප්‍රාණඝාතයෙන් වැලකීම,අනුන්ගේ දේවල් සොරකම් කිරීමෙන් වැළකීම,වැරදි කාම සේවනයෙන් වැලකීම,බොරු කීමෙන් වැළකීම සහ මත්පැන් බීමෙන් වැළකීම යන  සුචරිත කුසල කර්මයන් ය.මෙසේ සක්විති රජතුමා සියළු ප්‍රදේශ වලට ධර්මය පතුරුවමින් යන කල වෙනත් ප්‍රදේශ වල වාසය කරන විරුද්ධ රජ දරුවන්ට ද මෙම පණිවිඩය සැල වී, ඔවුන්ද තම ප්‍රදේශ පූජා කර සක්විත් රජතුමා සමග ගමන් කරන්නනාහුය. මේ සියළු කටයුතු සිදු වන්නේ කිසිදු ලේ වගිරීමකින් හෝ ආක්‍රමණයකින් තොරව ධර්මයේ අනුහස්භාවයෙනි.

මෙසේ සක්විති රජතුමාගේ පාලන කාලය තුල පංචසීලය අනුගමනය කරන හෙයින් රට තුල සොරකම්,ප්‍රානඝාතන ඇතුලු බොහෝ අකුසල් වලින් මිදුන,පරිසරයක් පවතින නිසා රට වැසියන් දියුණුවෙන් දියුණුවට පත්ව බියකින් තොරව සැපවත්ව වාසය කරන්නේය.සැප සම්පත් නිසි අයුරින් උස් පහත් භේදයකින් තොරව සැමට බෙදී යන්නේය.පස සරු වන්නේය. නිසි කලට වැසි ලැබෙන්නේය.අස්වැන්න සරු වන්නේය.කන බොන ආහාර පවා පෝෂනයෙන්, සුවඳින් අග්‍ර වන්නේය. ඉතින් එකල මැරයන් මැතිකල්හි, ප්‍රානඝාතකයින්, සොරුන්,වදකයින්,භේබද්දන්,සල්ලාලයන්,ස්ත්‍රී දූෂකයින්,ළමා අපචාර ද නැති හෙයින්,,වස විස වලින් තොරව වගා කරන හෙයින්,මනුස්සයින්ගේ ජීවිත කුසල් දහම් වලින් පිරී යන්නේය.කුසල් දහමින් පිරුනු යුගයක් නිසා සැප සම්පත් ද බහුල වන්නේය.එය දකින දෙවියන් ද බොහෝ සතුටු වන්නේය.


අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තම බුදු ඇසින් අතීතය දැක පින්වත් ස්වාමීන් වහන්සේලා වෙත මෙලෙස වදාළ සේක.
පින්වත් මහණෙනි, මේ විදිහට එම චක්‍ර රත්නය සක්විති රජතුමා විසින් දිනා යම්තාක් දුරට සමුද්‍රය කෙළවර කොට ඇති පොළොව පළමුවැනි සක්විති රජ තුමා ද, දෙවැනි හා තුන්වැනි රජතුමාගේ සිට සත්වෙනි රජතුමා දක්වාම තම වැඩිමහල් පුතණුවන්ගේ රාජ්‍යත්වය මැනවින් පිහිටුවාලමින් බොහෝ වර්ෂ දහස් ගණනක් ගිහිගෙයින් නික්ම තාපස භාවයෙන් මහණ වන්නේය.මෙසේ පරම්පරා හතකට පසුව, සත්වැනි රජතුමා දිව්‍ය චක්‍රරත්නය අතුරුදන් වුන කල්හි සුපුරුදු ලෙස ගිහිගෙය අත් හැර මහණ දම් පුරන තම පියාණන් වහන්සේගෙන් සක්විති වස් නිසි කලට නොවිමසා, තමන්ගේ මතය පරිදි රට පාලනය කරන්නේය.

කුසල ධර්මයන් පිරිහීමෙන් රාජ්‍ය අස්ථාවර වීම


එම සත්වනි රජතුමා විසින් තමන්ට රිසි පරිදි රටවැසියන්ට අනුශාසනා කරන විට රටේ පැවතුන දියුණුවද ක්‍රමක් ක්‍රමයෙන් පරිහානියට පත්වෙන්නට සිදු වුණි.එකල්හි සියළුම රටවැසියන් රැස්ව රජතුමා වෙත ගොස් පිරිසිදු සක්විතිවස් පිරීමට අනුශාසනා කරන ලදි.එය ඇසූ රජතෙම නැවත ධර්මය තුල පිහිටා සියළු රටවැසියන්ට ආරක්ෂාව හා රැකවරණය දුණි.එහෙත් නිතර නිතර බ්‍රහ්මචාරි ලෙස තපස් රකින සෘෂිවරයන් වහන්සේලා බැහැ දැකීම සිදු නොවුන හෙයින් කාලයකට පසු දුප්පත් මිනිසුන් වෙත නිසි ලෙස ධනය නොලැබුණි.

ධනය රටවැසියා වෙත නිසි ආකාරයට නොලැබීම හේතුවෙන් රටේ පවතින දිලිඳුකම ක්‍රමක් ක්‍රමයෙන් වැඩිවීමට පත් වුණි.ජනතාව අතර අග හිඟකම් වැඩීවීම නිසා ඇති හැකි උදවියගෙන් සොරකම් කිරීමට මෙම දිලින්ඳන් පුරුදු විය.අන් අයගේ වස්තුව සොර සිතින් පැහැර ගැනීම සිදුවීමත් සමග පළමුව සොරුන් බිහි වුණි.ඉක්බිතිව රාජ පුරුෂයන් වෙත මෙය දැන ගැනීමත් සමග එම සොරුන්ව රජතුමා ඉදිරියට පමුණුවනු ලැබූහ.රජතුමා විසින් කුමන හේතුවකට ද සොරකම් කළේ යැයි ඇසූ විට, මෙම සොරුන් පැවසුවේ ජීවත්වීමට මගක් නොමැති නිසා සොරකම් කළ බවයි. එවිට රජතුමා එම සොරුන්ට ධනය ලබා දුනි.තවත් සොරුන් අල්ලා ගත් විට ඒ සොරුන්ට ද තව තවත් ධනය ලබා දුනි.මේ බව රටවැසියන්ට ආරංචි වීමත් සමග ඔවුන්ද ධනය ලබා ගැනීමේ අදහසින් සොරකම් කිරීමට පටන් ගන්නා ලදි.මෙසේ සොරකම් වැඩිවුන කල්හී ධනය ලබා දීමෙන් සොරකම් මැඩපැවත්වීමට නොහැකි නිසා, රජතෙම රාජපුරුෂයන්ට අණකර සිටියේ එම සොරුන් අල්ලා මරා දමන ලෙසටය.

රජතුමා විසින් ධනය ලබාදීම අත්හල හෙයින් තව තවත් දිලිඳුකම වැඩිවිය.සොරකම් සහ දඬුවම් දීම් නිසා ආරක්ෂාවට අවි ආයුධද වැඩි විය.එලෙස අසූදහසක් ආයූ ඇති එම රටවැසියන්ගේ ඊලඟ දරු පරම්පරාව අවුරුදු හතලිස් දහසකට අඩු විය.ප්‍රානඝාතය වැඩි වීමත් සමග බොරුවද වැඩි විය.එලෙස ඊලඟ පරම්පරාවේ දරුවෝ අවුරුදු විසිදහසකින් ආයුෂ අඩු විය.මෙසේ බොරු කීම නිසා කේලාම් කීමද වැඩිවීමත් සමග ඊලඟ පරම්පරාවේ දරුවෝ ආයුෂ දස දහසකට අඩු වීමෙන් වර්ණයද පිරිහී ගියහ.එම පුත්‍රයන්ගේ ඊළඟ පරම්පරාවේ පුත්‍රයන් වැරදි කාම සේවනයේ යෙදීම හේතුවෙන් ආයුෂ අවුරුදු පන්දහකට අඩු වුණි.මනුෂ්‍ය ආයුෂ වේගයෙන් අඩු වෙමින් පවතින විට ඔවුන් තුල හටගත් අධික ආශාව,වෛරය,ක්‍රෝධය සහ පලි ගැනීම් නිසා අවුරුදු දාහක ආයු ඇත්තෝ වූහ.


එවිට අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේසේ වදාළහ.

මහණෙනි දහසක් ආයුෂ වලින් පිරිහීමට ලක් වූ මේ මනුෂ්‍යයින් තුල මිත්‍යාදෘෂ්ඨිය විශාල ලෙස වැඩුණි.මෙසේ පන්සීයක් ආයු ඇති කාලයේ අධර්ම රාගය ද,විෂම ලෝභය ද, මිත්‍යාධර්මයන් ද බහුල ලෙස පැතිර ගියහ.එසේ බොහෝ අකුසල ධර්මයන්ගෙන් සමාජය පිරිහුන විට මේ මනුෂ්‍යයින්ගේ ආයුෂ දෙසිය පනහ දක්වා අඩු විය.දෙසිය පනහක් ආයු ඇති ඔවුන් මවටද, පියාටද හිරිහැර කිරීමටද,සිල්වත් ස්වාමීන් වහන්සේලාට ගැරහීමට ද,වැඩිහිටියන්ට නොසැලකීම ද නිසා නැවත මෙම මනුෂ්‍ය ආයුෂ සියයක් තරම් අඩු ප්‍රමාණයකට පත් වුණි. මේ කාලය තුල සත්වයින්ගේ කුසල ධර්මයන් තව තවත් බොහෝ පිරිහීමට ලක්වීමෙන් කුසලය කුමක්ද? අකුසලය කුමක්ද? මව කවුද? පියා,නැගණිය,සොහොයුරා කවුද? යනුවෙන් වත් නිසි ලෙස හඳුනා ගැනීම්ට නොහැකි වීමෙන් ආයුෂ දහය දක්වා අඩු වන බවත්, එලෙස අඩුවී ඒ සත්වයින්ගේ ජීවිත දැඩි කෝපයකින්,මහත් වූ ව්‍යාපාදයකින්,ද්වේශයද වැඩිවීමෙන් අධික ලෙස වධක මානසිකත්වයකින් හමුවන් සියළු දෙනා ඝාතනය කිරීමේ දැඩි ආශාවකින් සත් දවසක් තුල ආයුධ වලින් සමූළ ඝාතයන් කරමින් මහත් විනාශයක් සිදු කරන බව භග්‍යවතුන් වහන්සේ වදාරන ලදි.එකලට ගිතෙල්,වෙඩරු,තල තෙල් සහ ලුණු යන රසයන් නැතිවී යන්නේය.


දැන් අප රට තුල වර්ථමානයේ පවතින තත්වය ගන සලකා බලමු.මේ වන විට එදා අපිට සුවඳ දුන් පළතුරු වල, එලවළු වල, සහල් වල පෝෂනයද ,රසද සුවඳ ද බෙහෙවින් අඩුවී ඇත.බොහෝ යුරෝපා රටවල උදෑසන ආහාර සඳහා භාවිතයට ගන්නේ කෙඳි සහිත ආහාර වර්ගය.අප බුදුරජාණන් වහන්සේ මීට 2600 වසරකට පෙර මේ බව වදාළ සේක.බුදුරජාණන් වහන්සේ අතීත,වර්ථමාන සහ අනාගත කාල උන්වහන්සේගේ බුදු නෙතින් දැක අපට නොකියන්න අප අද සිටින්නේ කොහෙද කියාවත් සිතා ගැනීමට අපහසු වනු ඇත.ශ්‍රී ලංකාව තුල බොහෝම කතා බහකට ලක්වී තිබෙන වස විෂ වලින් පිරී ගිය අපගේ එළවළු,සහල් අටු කොටු ගැන සහ රෝගී වූ අපේ ජනතාවද, මේ විෂම ලෝභයෙන්,දැඩි ද්වේශයකින් හිතක් පපුවක් නොමැතිව ආසනික් විෂ සහිත පොහොර විකුණන ඇත්තන් ගැන නෙවෙයිද අප භග්‍යවතුන් වහන්සේ විසින් විස්තර කරන්නේ.


සමහර දූෂිත පාලකයන් මෙන්ම, එම පාලනය ඩැහැ ගැනීමට සිටින දූෂිත විරුද්ධවාදීන්ද,ළමා අපචාරයන් කරන,අවි ආයුධ වලින් සන්නද්ධ පාතාලය ගැන,පාසල්, වෙහෙර විහාරස්ථාන අසල තිබෙන අරක්කු තැබෑරුම් ගැන,අධර්මයෙන් පෙලෙන මිත්‍යාදෘෂ්ඨික ආක්‍රමණිකයන් ගැන,පාලන  තන්ත්‍රයේ සිට, නිළධාරීන් දක්වාද, ජනතාවගේ සිට පාසල් වල ඉගෙනුම ලබන දරුවන් දක්වාද ප්‍රචන්ඩත්වය ඇතුළු ගහ මරා ගැනීම් සිදු වන බව දැනටම පැහැදිලිවම පෙනෙන්නට තිබීම ඝෝර සසරෙහි දුක පිළිබඳව බුද්ධ දේශනා මනාවට විදහා දක්වයි.එසේ නම් දැන් සිදුවී තිබෙන්නේ කුමක්ද? ප්‍රානඝාතය,සොරකම,වැරදි කාම සේවනය,බොරු කීම සහ මත් පැන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය නොවේද?මේ අකුසල් සමග බද්ධ වෛරය, පලිගැනීම, ඊර්ශ්‍යාව,කෲරත්වයත් සමග අපගේ ආහාරත් අපටම විස වීමෙන් වර්ණයද බලයද,සැපය ද, ආයුෂද වැනසී ඇත.අප කළ යුත්තේ එකිනෙකාට විවෙචනය කරගැනීම නොව,තවමත් පිරිසිදු බුද්ධ දේශනා මනා ලෙස අපට කියා දෙන්නට ආර්යන් වහන්සේලා ජීවතුන් අතර සිටින හෙයින් නොපමාව ධර්මයේ හැසිරීමටත්,සිල් ගුණ දියුණු කර ගැනීමට යෝනිසෝ මනසිකාරය ඇති කිරීමට මහන්සි ගැනීමයි.බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි එම භයානක කාලයෙන් මිදිය හැකි වන්නේ සුචරිතයේ හැසිරෙන පිරිසට පමණි.බුදු කෙනෙක් එය අනාගතයේ සිදුවන බව ප්‍රකාශිත හෙයින් එය සිදුවෙනවාමයි.එය වැළක්විය නොහැක. ලෝක ස්වභාවය කිසිවෙකුට වෙනස් කළ නොහැක.තථාගතයන් වහන්සේලාට පුළුවන් වන්නේ ඝෝර සසරින් මිදෙන මග නුවණැතියන්ට විස්තර කර මග පෙන්වීම පමණි.


අනාගතය

අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනාගතයෙදී මෙසේ ආයුෂ දහයකට සීමා වන විට ඒ භයානක සතියක් තුල එකිනෙකාට මරා ගැනීමෙන් පසු ඉතිරිවෙන ඒ මිනිසුන්ට මෙසේ සිතට පහල වන සිතුවිලි වදාරණ සේක.


අප විසින් පංච සීලය රැකිය යුතුය.දඬු මුගුරු ඉවතලා ගංගා සහිත දූපත් වල,කදු මුදුන් වල හෝ වනයට පැන ගොස් සතියක් එම මහා ඝාතනයෙන් වැළකෙමු යැයි කියාය.එම සතිය ඇවෑමෙන් පසු බොහෝ වර්ෂ දසදහස් ගණනක් කුසල් දහම් වැඩීම හේතුවෙන් නැවත ඒ පින්වත් මනුෂ්‍යයන්ගේ පරමායුෂ අසූදහසක් දක්වා වැඩෙන්නේය. පංචසීලය ආරක්ෂා කරමින්,දෙමව්පියන්ට ,වැඩිහිටියන්ට සලකමින්,කේලම් කීම,පරුෂ වචන බැහැර කරමින්,තරහ දුරු කරමින්,පින්,පව්,කුසල් දහම් හඳුනාගෙන ලෞකික සම්මදිට්ඨියෙන් යුතුව,අධම රාගය,විෂම ලෝභය සහ මිත්‍යාදෘෂ්ඨිය අත්හරිමින් ආයුෂයෙන්, වර්ණයෙන් සහ බලයෙන් අනාගතයේ මනුෂ්‍යයන්ගේ පරම ආයුෂ 80 000ක් දක්වා වැඩිවීම මේ හේතු ඵල දහමේ ස්වභාවයේ සත්‍යතාවය මැනවින් අපගේ බුදු පියාණන්වහන්සේ විසින් වදාළ සේක.


එකලට ලෙඩ රෝග වලින් තොරව වයසට යෑමත්,කුසගින්නත්,අශාවත් පමණක් පවතිනු ඇත.මේ මහා භද්‍ර කල්පය තුලම සිදුවන මේ වෙනසත් සමග අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පස් නමක්ම පහල වන බව ඒ භාග්‍යවත් අරහත් ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ සේක.පිළිවලින් කකුසඳ සම්මා සම්බුදු රජාණන් වහන්සේ,කෝණාගමන සම්මා සම්බුදු රජාණන් වහන්සේ,කාශ්‍යප සම්මා සම්බුදු රජාණන් වහන්සේ සහ අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ත්,අනාගතයේ ආයුෂ අසූදහසක් යන කල්හී ඒ භාග්‍යවත් අරහත් මෛත්‍රී සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහල වන සේක.

මහා භද්‍රකල්පය තුල පහලවන අවසන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ

අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ වදාළ සේක.

පින්වත් මහණෙනි, එකලට දඹදිව, කේතුමතී නම් රාජධානියක් පහල වන්නේය.අතිමහත් සමෘද්ධිමත් යුගයක් වන එම රාජධානියේ වෙසෙන මිනිසුන්ගේ පිනටම සංඛ නම් චක්‍රවර්තී රජ කෙනෙක් පහල වන්නේය.ගම්,නියම්ගම්, රාජධානි එකිනෙකට සම්බන්ධව බට වනයක බට එකිනෙකට ලංව පිහිටියා සේ මිනිසුන් බොහෝ උපදින්නේය.කේතුමතී නම් මනරම් රාජධානිය මුල් කරගෙන අසූහාරදාහක් තරම් නගරයන් වල වහලින් වහලට කුකුළෙකුට වුවත් පහසුවෙන් ගමන් කළ හැකි ලෙස දියුණු යුගයක් වන්නේය.


මෙසේ නැවතත් මේ මහපොළව පුරා ඇති සියළු මහද්වීප වල සතර මහා සාගර ආවරණයෙන් පහළ වන ධර්මරාජ්‍යයක් තුල කිසිවෙකුට පරාජය කළ නොහැකි ධාර්මික රාජ්‍යයක් ද සමග එතුමා හට පිනෙන් පහළවන මාණික්‍ය හතක්  ද  වන්නේය.මෙසේ චක්‍ර රත්නයෙන් ද,අශ්ව රත්නයෙන් ද, හස්ති රත්නයෙන් ද, මාණික්‍ය රත්නයෙන් ද, ස්ත්‍රී රත්නයෙන් ද,ගෘහපති රත්නයෙන් ද, පුත්‍ර රත්නයෙන් ද යන සප්ත රත්න වලින් කිසිවෙකුට ආක්‍රමණය කළ නොහැකි දඬුවම් කිරීමකින් තොරව මුළු මහත් පෘතුවි තලයටම අධිපති වී පාලනය කරන්නේය.

මෙකලට දෙවියන්ට,බඹුන්ට,මරුන්ට,ශ්‍රමණක් බ්‍රහ්මයන්ට හෝ ලෝකයේ වෙන කිසිවෙකුට වෙනස් නොකළ හැකි ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය නැවත වතාවක් ඒ භාග්‍යවත් වූ, අරහත් වූ මෛත්‍රී සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝකයට සිංහනාද කරන්නේය.ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් උසස් ඤාණයෙන් යුතු දෙව් මිනිසුන් වෙනුවෙන් මුල,මැද,අග යහපත් වූද,අර්ථවත් වූද,මැනවින් සම්පූර්ණ වූ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේය.

පින්වත් මහණෙනි, එකලට පහල වන සංඛ නම් වූ චක්‍රවර්තී රජතෙම තමන් සතු සියළුම රාජ සම්පත් දුගී මිනිසුන්ට දන් දී,ගිහි ගෙයින් නික්ම ඒ භාග්‍යවත් මෛත්‍රී නම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඒ උතුම් ශාසනය තුල කෙස් රැවුල් බා පැවිදි වන්නේය.එසේ ඒ උත්තමයන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරමින් අරහත් ඵලයට පැමිණ වාසය කරන්නේය.

පින්වත් මහණෙනි, වෙනත් සරණක් නොමැතිව තමාව ආරක්ෂා කරමින්,තමන්ව ම පිහිට කරගෙන,ශ්‍රී සද්ධර්මය තුල සිට, ශ්‍රී සද්ධර්මය ම පිහිට කරගෙන වාසය කරන්න.


"පින්වත් මහණෙනි, එය වනාහි අපගේ කයෙහි ස්වභාවය අනුව බලමින් කායානුපස්සනාවෙන් ද,විදීමේ ස්වභාවය අනුව බලමින්,වේදනනුපස්සනාවෙන් ද සිතේ ස්වභාවය අනුව බලමින් චිත්තානුපස්සනාවෙන්ද, ධම්මනුපස්සනාවෙන් ද , කෙලෙස් තවන වීරියකින් යුතු නුවණකින් ලෝකයේ කෙරෙහි ඇති ඇල්මත්, මානසික දුක් සහිත පීඩනයත් දුරලමින් වාසය කරන්න.
පිය උරුමයෙන් පැවත එන ඒ සතරසතිපට්ඨාන ධර්මයේ වාසය කිරීමෙන් ආයුෂයෙන් ද , වර්ණයෙන් ද,සැපයෙන් ද,සම්පත් වලින් ද, බලයෙන් ද වැඩෙන්නේය.

පින්වත් මහණෙනි, ආයුෂය බලවත් වන්නේ ඡන්ද,විර්ය,චිත්ත සහ විමංසා යන සතර සෘද්ධිපාද මැනවින් වැඩීමෙනි.

පින්වත් මහණෙනි,භික්ෂුවක් වර්ණයෙන් වැඩෙන්නේ කෙසේද? භික්ෂුවක් විසින් මනා කොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් වේද,ගරු සරු ඇතිව වාසය කරන කල් හී සුළු වරදේ හෝ බිය දකී ද,ශික්ෂාපද වල මැනවින් හික්මෙයි ද,එලෙස භික්ෂුව වර්ණයෙන් වැඩෙන්නේය.

පින්වත් මහණෙනි, භික්ෂුවගේ සැපයට කාරණය වන්නේ ධ්‍යාන සමාප්තියට පැමිණ වාසය කිරීමයි.

පින්වත් මහණෙනි, සම්පතට කාරණය වන්නේ භික්ෂුව විසින් සතර බ්‍රහ්ම විහරරණය වන මෛත්‍රී,කරුණා,මුදිතා සහ උපේක්ඛා සාමධිය වැඩීම තුලිනි.


පින්වත් මහණෙනි භික්ෂුවගේ බලයට කාරනය වන්නේ මේ ශාසනය තුලම කෙලෙස් රහිතව, අවබෝධයෙන් ම අරහත් ඵලයට පැමිණ ප්‍රඥා,විමුක්ත ඤාණ දර්ශනයෙන් යුතුව වාසය කිරීමයි.

පින්වත් මහණෙනි මාර බලය තරම් මැඩලීමට අපහසු වෙන බලයක් මා නොදනිමි.එම මාර බලය මැඩ පැවත්විය හැකි වන්නේ මේ උතුම් වූ අරහත් බලයෙන් පමණක් බව ත්,කුසල ධර්මයන් ගෙන්මයි පින වැඩෙන්නේ යැයි අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක.


මා පමඤ්ඤේථ පුඤ්ඤස්ස
න මං තං ආගමිස්සති
උදබින්දුනිපාතේන
උදකුම්භෝ පි පූරති පූරති ධීරෝ පුඤ්ඤස්ස
ථෝකථෝකම්පි ආචිනං


"ඕක ඉතින් පොඩි පිනක්නේ" කියලා,තමන්ට විපාක දෙන්නට තමා කරා එන්නේ නැහැ කියලා ගණන් නොගෙන ඉන්න එපා.
වතුර වුනත් බිංදුව බිංදුව වැටිලා තමයි කලයක් වුනත් පිරෙන්නේ.
බුද්ධිමත් පුද්ගලයාත් ටික ටික වුණත් පින් කරන කොට, ඒ පින් එකතු වෙලා, අන්තිමේ දී ජීවිතය පිනෙන් ම පිරිලා යනවා.

තෙරුවන් සරණයි!

ධම්ම පදය සහ චක්කවත්තී සීහනාද සූත්‍රය ඇසුරින්


ලක්මිණ දිසානයක