දුක නම් වූ ආර්ය සත්‍ය - දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය

mercoledì 21 dicembre 2011

අරහං ගුණය

 පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි


ඒ බුදු පියාණෝ මහා කරුණා සමාපත්ති අසාධාරණ ඥානයෙන් ද යුක්ත වූ සේක. උන් වහන්සේ විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයකට උඩදී බුද්ධත්වය පැතුවේ, ‘මම බුදු වී අසරණ සත්ත්වයා සසර දුකින් ගලවමි’ යි යන මහත් කරුණාවෙනි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට උඩදී නියත විවරණ ලැබූ දා සිට, උන් වහන්සේ තමන් වහන්සේගේ ඇස් ගලවා දෙමින්, ලේ දන් දෙමින්, මස් දන්දෙමින්, හිස් දන් දෙමින්, දස පාරමී පුරන ලද්දේ, ‘මම බුදු වී අසරණ සත්ත්වයා සසර දුකින් ගලවමි’ යි යන මහත් වූ කරුණාවක් ඇති ව ය.
අනුන් සුවපත් කිරීම සඳහා තමන්ගේ ඇස් ගලවා දීමට, මස් ලබාදීමට, හිස් කපා දීමට කොතරම් නම් කරුණාවක් තිබිය යුතු ද? විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ ක්‍රමයෙන් වඩමින් ආ මහා කරුණාවකින් ඒ බුදුරජාණෝ සමන්නාගත වූ සේක.
උන් වහන්සේගේ කරුණාව නොයෙක් ආකාරයෙන් පහළ වන්නේ ය. අසරණ ලෝක සත්ත්වයා නිතර ම ප්‍රේත ලෝකවලට වැටී, තිරිසන් ලෝකවලට වැටී, අපායවලට වැටී අනන්ත දුක් විඳිනා අයුරු දක්නා බුදු පියාණන් වහන්සේට, ‘මේ අසරණ සත්ත්වයාට අනේ කාගේ පිහිටක් දැ?’ යි මහත් වූ කරුණවක් පහළ වන්නේ ය.


මෙසේ ම ජාති දුකින් පෙළෙන සත්ත්වයා දකින විට, සිය දහස් ගණන්රෝගවලින් ලෙඩ වී කෙඳිරිගාමින් දහදුක් විඳිනා අසරණ සත්ත්වයා දකිනා විට, මහලු වී, ජරා වී, අතපය පවා වලංගු නැති ව, කිසි පිළිසරණක් නැති ව, ඉතා දුක සේ ජරාවෙන් පීඩිත ව ඉන්නා සත්ත්වයා දකිනා විට, මරණයට පත් වෙමින් විඳිනා අනන්ත දුක් දකිනා විට, නොයෙක් හේතු නිසා හඬමින්, වැලපෙමින්, බිම පෙරළෙමින්, ශෝක කරමින් තැවෙන්නා වූ සත්ත්වයා දකිනා විට, ශරීරයේ ඇති වන නොයෙක් පීඩාවලින් සත්ත්වයා නිරන්තරයෙන් පෙළෙමින් දුක්විඳිනා හැටි දකිනා විට, ‘අනේ! මේ සත්ත්වයාට කාගේ පිහිටක් දැ?’ යි සිතනා බුදුරදුන්ට ඇති වන කරුණාව අතිමහත් ය.


මෙසේ ම ආශාවට යට වී, ලෝභයෙන් මැඩී, හිස ගිනි ගත්තා සේ සත්ත්වයා මහා දුක් විඳිනා හැටි දකිනා විට, මෝඩකම නිසා සංසාරයේ අනන්ත දුක් නැවත නැවත විඳිමින් එන සත්ත්වයා දකිනා විට කිසිවකුගේ පිහිටක් නැති අසරණ සත්ත්වයා දකිනා විට, අනාථ වූ සත්ත්වයා දකිනා විට, කෙලෙස් ගිනිවලින් පිච්චිපිච්චී සිටිනා සත්ත්වයා දකිනා විට, අඬදබර කලකෝලාහල හැලහැප්පිලි ගැටිලි යුද්ධ සොරුන් සතුරන් ආදිය නිසා ගිනි ජාලාවක් මැද සත්ත්වයා දඟලන හැටි දකිනා විට, මහත් වූ ආශාවෙන් උපයාගත් සියලු දේපොළ ඉඩකඩම් මිලමුදල් දූදරුවන් ආදි සියලු දේ ම සත්ත්වයාට මරණයෙන් අත්හැරදා යන්න සිදු වන හැටි දකිනා විට, ‘මේ සත්ත්වයා දුකින් ගැලවීමට මා හැර අන් කවරෙක් ඇත් දැ?’ යි සිතනා ඒ බුදු පියාණන්ට ඇති වන කරුණාව අතිමහත් ය.
එසේ ම කිසි ම නිදහසක් නැති ව හිස ගිනි ගත්තා සේ නිතර වැඩෙහි නිරත වූ සත්ත්වයා දකිනා විට, සැපක් ලබන්න ය කියා පංචකාමයෙහි එරී මහා දුක් විඳිනා මෝඩ සත්ත්වයා දකිනා විට, මේ සත්ත්වයා සසර දුකින් ගොඩගන්න සනසවාලන්න අස්වසාලන්න කෙනකු නොමැතිකම නිසා දහදුකෙහි ම එරී දුක්විඳිනා සත්ත්වයා දකිනා විට, කිසි දිනෙක ඇති වීමක් නොමැති ව ‘තවතවත් මදි මදි’ යන හැඟීමෙන් පීඩා විඳින සත්ත්වයා දකිනා විට, කිසිවකුගේ පිහිටක් නැති ව, ආරක්ෂාවක් නැති ව, අසරණ ව, මහා අවුල් ජාලාවක් මැද පැටලී දහදුක් විඳිමින් සුසුම් හූල්ලන සත්ත්වයා දකිනා විට ඒ බුදුරදුන්ට ‘මේ සත්ත්වයාට මා කෙසේ නම් පිහිට වන්නේ දැ?’ යි මහත් වූ කරුණාවක් ඇති වන්නේ ය.


මෙසේ ම තණ්හා ගින්නෙන් සත්ත්වයා දැවෙන පිච්චෙන ආකාරය දකිනා විට, දෝෂ ගින්නෙන් ගිනි ගත් සත්ත්වයා දකිනා විට, මෝහ ගින්නෙන් සසර ගිනි ඇවිළගත් සත්ත්වයා ගැලවීමට නොහැකි ව ඒ ගිනි මැද මම සසරේ නැවත නැවත දුක් විඳිනා අයුරු දකිනා විට, රාග දෝෂ මෝහ ආදි මහා උගුල්වලට බන්ධනවලට ගැලවිය නොහැකි සේ අසු වී එහි ම දඟලමින් දහදුක් විඳිනා හැටි දකිනා විට, මහා ප්‍රපාතයකට වැටුණාක් මෙන්, මහා ගිනි උඳුනක් මතට වැටුණාක් මෙන්, මහා මඩ ගොහොරුවක එරුණාක් මෙන් සසරින් ගොඩ ඒමට නොහැකි ව එහි ම දඟලදඟලා තවතවත් දුකින් දුකට ම පත් වන සත්ත්වයා දකිනා විට, ‘මේ සත්ත්වයා කවරදා කෙසේ නම් සසර දුකින් ගැලවේ දැ?’ යි සිතනා ඒ බුදුපියාණන්ට ඇති වන කරුණාව වචනයෙන් කියා නිම කළ නොහැකි ය.
තව ද, මහා වදහිංසාවලින් මහත් වූ පීඩා විඳිනා සත්ත්වයා දකිනා විට, සසර දුක් නිවාදමන නිවන් මග තිබියදී අපා ගිනි මැදට යන මාවතේ පියවර ඔසවන සත්ත්වයා දකිනා විට, අලාභ අයස නින්දා දුක් ආදි ලෝකධර්මයන්ට යට වී පීඩිත ව සිටිනා සත්ත්වයා දකිනා විට, මානයෙන් ඉදිමී දුක් විඳිනා සත්ත්වයා දකිනා විට, වාදවිවාදවලට පැටලිපැටලී සත්ත්වයා දුක් විඳිනා අයුරු දකිනා විට, අකුශල කර්ම කරමින් තව තවත් දුක්ම උපදවාගන්නා සත්ත්වයා දකිනා විට, මේ ආදි සිය දහස් ආකාරයෙන් සත්ත්වයා දෙස බලනා විට ‘මා හැර මේ සත්ත්වයා සසර දුකින් ගැලවීමට අන් කවරෙක් වේ දැ?’ යි දකිනා ඒ සම්මා සම්බුද්ධ රත්නයට ඇති වන කරුණාව කෙසේ නම් කියා නිම කරමු ද?


මුළු ලෝකයේ ම සිටිනා සියලු සත්ත්වයන්ගේ ම කරුණාව එක්තැන් වුවත්, එය ඒ බුදුරදුන්ගේ කරුණාවෙන් ලක්ෂයෙන් එකකුදු නොවන්නේ ය; කෝටියෙන් එකකුදු නොවන්නේ ය. ඒ බුදුපියාණන්ගේ කරුණාව මහපොළොව නම් සියලු සත්ත්වයන්ගේ ම කරුණාව වැලි කැටයක් බඳු ය.


ඒ බුදු රජාණෝ උදය හා සවස දොළොස් කෝටි ලක්ෂ වාරය බැගින් සූවිසි කෝටි ලක්ෂ වාරයක් දිනකට මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝක සත්ත්වයා දෙස බලා අනන්ත අප්‍රමාණ සත්ත්වයාට සසර දුක් නිවාලීමට පිහිට වන සේක. එසේ සසර දුකින් මුදාගත් සත්ත්වයා කොපමණ දැ යි ගණනකින් දැක්වීමට නොහැකි ය. අසංඛ්‍යය බැගින් ම නිවනට පැමිණ වූ සත්ත්වයෝ සූවිසි අසංඛ්‍යයක් වූ හ. සියදහස, දසදහස, ලක්ෂය, කෝටිය, ප්‍රකෝටිය ආදි වශයෙන් එක වර නිවන් දැක්වූ අවස්ථා ද ගණන් නැත. මෙවැනි මහා කරුණාවකින් තෙත් වූ හදවතක් ඇති ඒ බුදු පියාණෝ මහා කරුණා සමාපත්ති අසාධාරණ ඥානයෙන් ද සමන්නාගත වූ සේක.
තව ද දත යුතු යම් තාක් දේ ඇත් ද, ඒ සියල්ල ම දන්නා සර්වඥතා ඥානය ද බුදුරදුන්ගේ අසාධාරණ ඥානයකි. උන් වහන්සේගේ සර්වඥතාඥානයට නොපෙනෙන කිසිවක් නැත. එම ඥානයෙන් නොදත හැකි කිසිවක් නැත. මේ ලෝකධාතුවල යම් තාක් දෙවියන්, බ්‍රහ්මයන්, මාරයන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් මනුෂ්‍යයන් ආදි සත්ත්වයන් දන්නා යම් තාක් දේ ඇත් ද, ඒ සියලු දේ බුදු පියාණෝ දන්නා සේක. දත යුතු සියලු දේ සෑම ආකාරයකින් ම උන් වහන්සේට පෙනෙන්නේ ය. මේ ලෝකාර්ථයෙන්, පරලෝකාර්ථයෙන්, මෙලෝ පරලෝ උභයාර්ථයෙන්, යමකුª මතුපිටින් පෙනෙනාර්ථයෙන්, ගම්භීරාර්ථයෙන්, නොවැසුණු අර්ථයෙන්, වැසුණු අර්ථයෙන්, වැරැදි සහිත අර්ථයෙන්, නිවැරැදි අර්ථයෙන් මේ ආදි නොයෙක් අයුරින් උන් වහන්සේ සියලු දේ ම දන්නා සේක.


අපට ගිය ආත්මයක දෙයක් දැනගැනීමට අපහසු ය. සමහර විට වසරකට දෙකකට උඩදී සිදු වූ දෙයක් වුව සිහිපත් කළ නොහැකි ය. උන් වහන්සේට කල්ප අසංඛ්‍ය ගණන් ඈත සිදු වූ දෙයක් වුව ද, මේ දැන් සිදු වන දෙයක් සෙයින් ඉතා හොඳින් පෙනේ. අතීතය ඇත්තේ යම් තාක් ද ඒ තාක් දුරට සිදු වූ සියල්ල ඒ සර්වඥතාඥානයෙන් බැලිය හැකි ය. අතීතයේ කෙළවරක් නැත. එබැවින් ඒ සර්වඥතා ඥානයේ ද කෙළවරක් නිමාවක් අන්තයක් නැත.


අපට හෙට සිදු වන දෙයක් වුව ද නිවැරැදි ව කිව නොහැකි ය. උන් වහන්සේට අනාගතයේ කොයිතරම් ඉදිරියට වුවත්, කල්ප අසංඛ්‍ය ගණන් ඉදිරියේදී සිදු වන දෙයක් වුවත් මේ දැන් සිදු වන දෙයක් සෙයින් ඉතා හොඳින් පෙනේ. අනාගතයේ කෙළවරක් නැත. එබැවින් සර්වඥතා ඥානයේ ද කෙළවරක් නැත; අනන්ත ය.
මෙවන් ගැඹුරු ප්‍රඥා සාගරයක් බඳු ඒ බුදු රජාණෝ සියලු පුදපූජා ලැබීමට සුදුසු වන සේක. එසේ හෙයින් ම අරහත් නම් ද වන සේක.

Nessun commento:

Posta un commento