දුක නම් වූ ආර්ය සත්‍ය - දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය

lunedì 29 settembre 2014

මත්පැන් බීමෙන් මනස නිරවුල් වේද?

වසර තිහක් පුරා ලක් වැසියන් පීඩාවට පත් කළ යුද්ධය පසු ගිය දා නිමාවට පත් විය. යුද්ධය නිමා වී මෙන් පසු ලංකාව සාමය, සතුට, සෞභාග්‍යය පිරි සමෘධිමත් රටක් බවට පත් වේ යැයි අපි අපේක්ෂා තැබු වෙමු. හේතුව එවන් පරිසරයක සදාචාරත්මක ගුණධර්ම දියුණු කිරීමට වඩාත් පහසු බැවිනි.

කෙතරම් දරුණු යුද්ධයකට මුහුණ දුන්නත් ශ්‍රී ලංකාව තුන්වන ලෝකයෙන් මධ්‍යම සංවර්ධිත රටක් දක්වා පා තැබීමට තරම් ආර්ථික සමෘධියක් ද අත්පත් කර ගෙන තිබේ. සුභවාදි අනාගතයක පෙර ලකුණු කොතරම් තිබුණත් අපේ රටේ බොහෝ දෙනෙකුට එහි ප්‍රතිඵල බුක්ති විදීම ට හෝ එකී දියුණුව පිළිගැනීමට කැමැත්තක් නැති බව පෙනේ. බටහිර න්‍යායයන් තුළ ක්‍රියාත්මක වී, රට එක තැනක තබා ගැනීම ට ඇතැමුන් මාන බලන බව රහසක් නොවේ. හේතුව රටේ පොදු සංවර්ධනය, ඔවුන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජනය ට බාධාවක් ලෙස ඔවුන් අදහස් කිරීම යි. වර්තමානයේ පවතින මෙකී වාතාවරණය තුළ අපගේ අවධානය යොමු වූ තවත් විශේෂ කරුණක් තිබේ.

එනම් මත් පැන් බීම, මනස නිරවුල් ව පවත්වා ගැනීමට උපකාර වනවා යන වැරදි මතය, පසුගිය දින වල කතා බහට ලක් වීම යි. යම් යම් උදවිය එලෙස ප්‍රකාශ කරන්නේ තම තමන් අදහන ආගමික හෝ වෙනත් විශ්වාසයන් මත පිහිටා විය හැකි ය. එම නිසා අප ඒ පිළිබඳව කතා බහ නො කරමු. එහෙත් මත් පැන් බීම පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ ගේ දේශනය පමණක් අප මෙහි ඉදිරිපත් කරන්නෙමු. එය හැම දෙනාගේ ම යහපත පිණිස උපකාර වන බව අපගේ අදහස යි.

රාජ්‍ය නායකත්වය අපේක්ෂා කරන හැම දෙනාම රටට දෙන පොදු පොරොන්දුවක් තිබේ. එනම් දූෂණය භිෂණය නැති කොට රට දියුණු කරන බව යි. දියුණුව සඳහා ඍජුවම බලපාන ප්‍රධාන කරුණු විස්තර කළ බුද්ධ දේශනාවේ මත් පැන් පිළිබඳ ව සඳහන් වන්නේ මෙවැනි අදහසකි.

“පාපයේ නොඇලීම, හැම පවින් වැළකී ම, මත්පැනින් දුරු වීම, කුසලයෙහි නොපමා ව යන මේවා උතුම් මංගල කරුණුය.” (මංගල සූත්‍රය)

පිරිහීම පිළිබඳ ව දැන ගැනීම ට කැමති දෙවියෙකු අරඹයා පිරිහෙන කරුණු පෙන්වා දුන් තථාගතයන් වහන්සේ එහිලා මත්පැන් පානය පිළිබඳ ව දේශනා කොට වදාළේ “යම් පුද්ගලයෙක් ස්ත්‍රි, පුරුෂ ඇසුරට, සුරාවට,සූදුවට ලොල් ව ලැබෙන ලැබෙන සියළු දේ ඒ වෙනුවෙන් වැය කරයි ද එය පිරිහීම ට දොරටුවකි.” (පරාභව සූත්‍රය)

“ස්ත්‍රි පුරුෂ ඇසුරට, සුරාවට, සූදුවට ලොල් වී ඒ සඳහා මිල මුදල් වැය කරණ ස්ත්‍රියක හෝ පුරුෂයකු නායකත්වයේ තබයි ද එය පිරිහීමට දොරටුවකි.” (පරාභව සූත්‍රය)

“පින්වත් ව්‍යග්ඝපජ්ජ ය, මේ ආකාරයෙන් හරි හම්බ කරගත් දේපළ වස්තුව විනාශ වන කරුණු හතරක් තිබේ. එනම් ස්ත්‍රින්ට ලොල්වී ම, සුරාවට ලොල්වී ම, සූදුවට ලොල්වී ම, පවිටු මිතුරන්, පාප සහායකයන් ඇතිව පව් කාරයින්ට නැඹුරු ව වාසය කිරීම යන මේවා යි. පින්වත් ව්‍යග්ඝපජ්ජ ය, විශාල ජල තටාකයක ට ජල ප්රනවේශ හතරක් ද, බැස යාම් හතරක්ද තිබේ. යම් පුරුෂයෙක් ඒ තටාකයේ ජල ප්රහවේශයන් වසා දමයි නම්, බැසයාම් විවෘත කර යි නම්, වැසිද නොලැබේ නම් පින්වත් ව්යීග්ඝපජ්ජය, මෙසේ ඇති කල්හී ඒ ජල තටාකයට හානියක් ම කැමති විය යුතු ය. වැඩීමක් කැමති නොවිය යුතු ය. පින්වත් ව්‍යග්ඝපජ්ජ ය, ඒ ලෙසින්ම හරි හම්බ කරගත් දේපල විනාශ වීමට දොරටු හතරක් තිබේ එනම් ස්ත්‍රින් ට ලොල්වී ම, සුරාවට ලොල්වී ම, සූදුවට ලොල්වී ම, පවිටු මිතුරන් ඇසුර යන මේවා යි. (ව්‍යග්ඝපජ්ජ සූත්‍රය)

තථාගත බුදු රජාණන් වහන්සේ එදා දඹදිව දී වදාළ මේ දේශනාවන් වර්තමාන ලෝකය ට මානා කොට ගැලපී යයි. තම දේමාපියන් ඉතා වෙහෙස මහන්සියෙන් ගොඩ නගා දුන් එසේත් නැති නම් තමන් වෙහෙස මහන්සී වී ගොඩ නගා ගත් ව්‍යාපාර සුරාවට, සූදුව ට ස්ත්‍රි පුරුෂ ඇසුරට යට වීම හේතුවෙන් විනාශ වී ගිය අවස්ථාවන් පිළිබඳ ව උදාහරණ වර්තමාන ශ්‍රී ලංකාවේ ‍ඕනෑ තරම් තිබේ.

සැදැහැවත් බෞද්ධ යෙකු ධර්මානු කූලව තම ගිහි ජීවිතය හැඩගස්වා ගත යුතු ආකාරය විස්තර කරන සිඟාලෝවාද සූත්‍රයේ දී තථාගත බුදු රජාණන් වහන්සේ මත් පැන් පානය පිළිබඳ ව දේශනා කරණු ලබන්නේ මෙවැනි අදහසකි.

“පින්වත් දරුව, ආර්ය ශ්‍රාවකයකු සේවනය නොකරන්නා වූ, හරි හම්බ කරගත් දේපළ විනාශ වන කරුණු හය කුමක් ද? පින්වත් දරුව, මත්පැන් පානය කිරීම හරි හම්බ කරගත් දේපළ විනාශ වන කරුණ කි. අවේලාවේ වීථි සංචාරය කිරීම..... උත්සව සන්දර්ශන ආදිය දක්නට යෑම (සමාජ ශාලාවැනි තැන්වල නිතර ගැවැසීම)..... සූදුවේ යෙදීම..... පාප මිත්‍රයන් නැවත නැවතත් ඇසුරු කිරීම..... අලසකම නොහොත් කම්මැලිකම හරි හම්බ කරගත් දේපළ විනාශ වන කරුණ කි.” (සිඟාලෝවාද සූත්‍රය දි.නි)

“පින්වත් දරුව, මදයට ප්‍රමා‍දයට හේතුවන්නා වූ මත්පැන් පානය කිරීම නිසා අයහපත් ප්‍රතිඵල හයක ට මුහුණ දීමට සිදු වෙයි. ඒ හය කුමක් ද? ධනය විනාශ වෙයි, කලකෝලාහල රණ්ඩු සරුවල් ඇති වෙයි, ලෙඩ රෝග බහුල වෙයි, අපකීර්තිය ඇති වෙයි, ලැජ්ජාවක් බියක් නැති ව හැ‍සිරෙ යි, නුවණ දුර්වල වෙයි. පින්වත් දරුව, මදයට ප්‍රමාදයට හේතු වන මත්පැන් පානය කිරීම නිසා ඇතිවෙන අයහපත් ප්රවතිඵල හය මෙය යි.” (සිඟාලෝවාද සූත්‍රය)

“පින්වත් දරුව, පාප මිත්‍රයන් ඇසුරු කිරීම නිසා අයහපත් ප්‍රතිඵල හයක ට මුහුණ දීමට සිදු වෙයි. ඒ හය කුමක් ද? සූදු කෙළින්නන් ගේ ඇසුරට වැටේ. ඔවුන් හා මිතුරු වී ඔවුන් ට ම සහය වේ. ස්ත්‍රි පුරුෂ ඇසුර ට ලොල්‍ වූවන් ගේ..... මත්පැන් පානය කරන්නන් ගේ ඇසුරට වැටේ. ඔවුන් හා මිතුරු වී ඔවුන් ට ම සහය වේ. ‍බොරු කරනන්ගේ..... වංචනිකයන් ගේ..... හොරුන් ගේ ඇසුරට වැටේ. ඔවුන් හා මිතුරු වී ඔවුන් ට ම සහය වේ. පින්වත් දරුව, පාප මිත්‍රයන් ඇසුරු කිරීම නිසා මේ අයහපත් ප්‍රතිඵල හය ට මුහුණ දීමට සිදු වෙයි.” (සිඟාලෝවාද සූත්‍රය දි.නි)

“සූදු‍ කෙළිම ද, අන් අඹුවන් ඇසුර ද, මත්පැන් පානය කිරීම ද, නැටුම් ගැයුම් වෙනුවෙන් ම කාලය වැය කිරීම ද, දහවල් නිදා ගැනීම ද, අවේලාවේ වීථි සංචාරය කිරීම ද, පාප මිත්‍රයන් ඇසුරු කිරීම ද, දැඩි මසුරු බව ද, යන මේ කරුණු මිනිසා විනාශ කර දමයි.
එසේ ම යමෙක් සූදු කෙළියි ද, මත්පැන් පානය කරයි ද, අනුන් තම පණ මෙන් ආරක්ෂා කරන භාර්යාවන් ගේ ඇසුර සොයා යයි ද, ගුණ නුවණ නැති බාලයන් ඇසුරු කරයි ද, නුවණ ඇති සත්පුරුෂයන් ඇසුරු නොකරයි ද, ඔහු කළුවර පක්ෂයේ සඳ මෙන් පිරිහීමට පත් වේ.
ධනය නැති දුප්පත් යම් පුද්ගලයෙක් පිපාසිත මගියෙක් පොකුණකින් පැන් බොන්නා සේ මත්පැන් පානය කරයි ද, මත්පැන් පානය කිරීමට දැඩි ආශාවක් දක්වයි ද, ඒකාන්තයෙන් ම ඔහු වැඩි කල් නොයවා ණයකාරයෙකු බවට පත් වේ. ඔහු තම ඤාතීන්ද සමඟ විනාශය ට පත්වේ.” (සිඟාලෝවාද සූත්‍රය දි.නි)

“පින්වත් දරුව, අපායසහාය නැමැති පාපී මිත්‍රයා හඳුනා ගන්නේ කෙසේ ද? ඔහු කරණු හතරකින් හඳුනා ගත හැකිය. ඒ කරුණු හතර කුමක් ද? මත් පැන් පානය කිරීමේ දී යහළු වෙයි. අවේලාවේ වීථි සංචාරය කිරීමේ දී යහළු වෙයි. නැටුම් ගැයුම් වැයුම් බැලීමට යාමේ දී යහළු වෙයි. සූදු කෙළිමේ දී යහළු වෙයි. පින්වත් දරුව, මේ කරුණු හතරින් අපායසහාය නම් වූ පාපී මිතුරා හඳුනා ගත යුතු යි.” (සිඟාලෝවාද සූත්‍රය දි.නි)

“පින්වත් දරුව, අත්ථක්ඛායි (මෙලොව පරලොව යහපත සලසන) මිතුරා හඳුනා ගන්නේ කෙසේ ද? ඔහු ද කරුණූ හතරකින් හඳුනා ගත යුතු යි. ඒ කරුණූ හතර කුමක් ද? පවින් වළකා ගනී. පිනෙහි යොදව යි. නොඇසූ දහම් ඇසීම ට සලස්ව යි. සුගතිගාමී මග කියා දෙයි. පින්වත් දරුව, මේ කරුණූ සතරින් අත්ථක්ඛායි මිතුරා හඳුනා ගත යුතු යි.” (සිඟාලෝවාද සූත්ර ය දි.නි)

“පින්වත් මහණෙනි, ඉදින් අසත්පුරුෂ බාලයා ප්‍රාණ ඝාතය කරයි ද, සොරකම් කරයි ද, කාමය වරදවා හැසිරෙයි ද, බොරු කියයි ද, මත් පැන් හා මත් ද්රරව්ය භාවිතා කරයි ද, පින්වත් මහණෙනි , එතකොට බාලයාට මෙහෙම හිතෙනවා. මේ මිනිස්සු දුෂ්චරිත ගැනත් කතාබස් කරනවා නේ. මේ වැරදි මා තුළත් තිබෙනවා. මාත් ඒ පාපී අකුසල් ගොඩේ නේද ඉන්නේ කියලා (පසු තැවෙ යි). පින්වත් මහෙණනි බාලයා මෙලොවදී ම දුක් දොම්නස් විඳින පළමු කාරණාව මෙය යි.” (බාලපණ්ඩිත සූත්‍රය ම.නි)

“පින්වත් මහණෙනි, සුරා පාණය කරණ තැනැත්තාට, බහුල වශයෙන් කරණ තැනැත්තාට ඒ හේතුවෙන් නිරයේ ඉපිද දුක් විඳින්නට සිදු වෙයි. තිරිසන් යෝනියේ ඉපිද දුක්විඳින්නට සිදු වෙයි.‍ප්‍රේත ලෝකයේ ඉපිද දුක්විඳින්නට සිදු වෙයි. සුරා පාණය කිරීම හේතුවෙන් රැස් වූ යම් සුළු කර්ම විපාකයක් ඇති නම්, ඒ කර්ම විපාකය හේතුවෙන් ඔහුට මිනිස් ජීවිතයක උපත ලැබූ විට, උමතු ජීවිතයක් ගත කරන්නට සිදු වේ.” (අපායසංවත්තනික සූත්‍රය අං.නි)

ඉහත සඳහන් බුද්ධ දේශනාවන් ගෙන් කරුණු දෙකක් ඉතා පැහැදිලිව අවධාරණ ය කෙරේ. මත් පැන් බීම හේතුවෙන් කෙනෙකුගේ මනස නිරවුල් වෙනවා යන අදහස කිසි සේත් ම තර්කාණු කූල හෝ ධර්මාණු කූල නොවන බව යි. මත් පැන් බීම හේතුවෙන් මිනිසාගේ ජීවිතය සෑම අංශයකින් ම අවුල් වීමක් මිස නිරවුල් වීමක් සිදු නොවේ. මත් පැන් බීම හේතු කරගෙන රැස්වෙන අපාය ගාමී වීමට තරම් ප්‍රබල නොවන කර්ම, පරලොව උමතු ජීවිතයක් ගෙවන්න ට සිදු වීමෙන් විඳ අවසන් කරන්න ට සිදු වෙන බව අපායසංවත්තනික සූත්‍රයෙන් අවධාරණය කරණ අනිත් කරුණ යි.

“පින්වත් මහණෙනි, පුද්ගලයෙක් අනුන්ගේ යහපත පිණිස කටයුතු කරන්නේ ත්, තමන්ගේ යහපත පිණිස කටයුතු නොකරන්නේ ත් කෙසේ ද? පින්වත් මහණෙනි, මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක් තමන් ප්‍රාණ ඝාත‍ය සිදු කරයි, අන් උදවිය ප්‍රාණ ඝාත‍යෙන් වළක්වයි. තමත් සොරකම් ‍කරයි, අන්‍ උදවිය සොරකම් කිරීමේන් වළක්වයි. තමන් මත්පැන් පානය කරයි, අන්‍ උදවිය මත්පැන් පානයෙන් වළක්වයි. මහණෙනි, පුද්ගලයෙක් අනුන්ගේ යහපත පිණිස කටයුතු කරන්නේ ත්, තමන්ගේ යහපත පිණිස කටයුතු නො කරන්නේ ත් මේ ආකාරයෙනි.” (සික්ඛාපද සූත්‍රය අං.නි)

“පින්වත් මහණෙනි, පුද්ගලයෙක් අනුන්ගේ යහපත පිණිස ත්, තමන්ගේ යහපත පිණිසත් කටයුතු කරන්නේ කෙසේ ද? පින්වත් මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තමන් ද සතුන් නොමර යි, අන්‍ උදවිය ත් සතුන් මැරීමෙන් වළක්වයි. තමනුත් සොරකම් ‍නො කරයි, අන්‍ උදවියත් සොරකමින් වළක්වයි. තමනුත් මත්පැන් පානය නො කරයි, අන්‍ උදවියත් මත්පැන් පානයෙන් වළක්වයි. මහණෙනි පුද්ගලයෙක් අනුන්ගේ යහපත පිණිසත් තමන්ගේ යහපත පිණිසත් කටයුතු කරන්නේ මේ ආකාරයෙනි.” (සික්ඛාපද සූත්‍රය අං.නි)

මොන යම් හේතුවක් නිසා හෝ මත් පැන් පානයට යොමු වී එහෙත් පසුව එහි ආදීන තේරුම් ගත් පුද්ගලයන් සමාජයේ ‍ඕනෑ තරම් අපිට හමුවේ. ඒ අතර ඇතැම් උදවිය ස්ව ශක්තියෙන් හෝ තව කෙනෙකු ගේ උපකාරයෙන් හෝ එකී ලාමක පුරුදු අත හැර දමති. ඇතැම් උදවිය ඒ සඳහා දක්ෂ නො වෙති. එහෙත් ඔවුන් තමන් වැටුණු අගාධයට තව කෙනෙකු ඇද ගැනීමට කැමති නොවේ. එම නිසා ඔවුන් අන් උදවිය ඒ ජරා පුරුද්දට ඇබ්බැහි වීම වළක්වා ලීම ට හැම විටම උත්සහ කරයි. තමන් අමාරුවේ වැටුන ද තම දරුවන් එලෙස විපතට පත් නොවීම ට වග බලා ගන්නා පියවරුන්, එලෙසින්ම ශීෂ්‍යන් විපතට පත් නොවී බේරා ගැනීමට උත්සහා දරන ගුරුවරුන්, තම සේවකයින් හා කාර්යනමණ්ඩලය බේරා ගැනීමට කටයුතු කරන ආයතන ප්‍රධානීන් අප සමාජයේ දුලභ නොවේ.

වරදට පෙළඹුන යම් පුද්ගලයෙක් තමන් සිදු කරන්නේ වරදක් බව පිළි නොගනී නම් එය බලවත් වරදකි. යමෙකුට තමන් සිදු කරණ දේ වරදක් ලෙස දැකීමට නුවණක් තිබේ නම්, කිසියම් හෝ මොහොතක ඔහුට ඒ වරදින් නිදහස් වීමට අවස්ථාව ලැබේ.
“යම් බාලයෙක් තමන් බාලයෙක් බව අවබෝධ කර ගන්නවා නම් ඔහුට පණ්ඩිතයෙක් වීමට උපකාර ‍වන්නේ එයම යි. නමුත් අඥාන බාල පුද්ගලයා තමන් මහා පණ්ඩිතයෙක් නුවණැත්තෙක් ලෙස හිතාගෙන සිටී නම් ඔහු බාලයෙක් අඥානයෙක් ලෙසම යි හඳුන්වන්න තියෙන්නේ.” (ධම්ම පදය බාලවර්ගය)

ස්වාමි පුරුෂයන් ගේ බීමත් කම නිසා පීඩාවට පත් වන භාර්යාවන්, පියවරුන් ගේ බීමත් කම නිසා දුක් විඳින දරුවන්, පුතුන් ගේ බීමත් කම නිසා දුක් විඳින අම්මා වරුන් කොතෙකුත් අපට මුණ ගැසී ඇත. එම නිසා මොනම හේතුවක් නිසා හෝ සුළු මොහොතකට හෝ බිඳක් හෝ මත් පැන් පානය කිරීම අගය කරන්නේ නම්, ඔහු කිසි සේත් ම නුවණැත්තෙක් හෝ කල්‍යාණ මිත්‍රයෙක් ලෙස හැඳින් විය නො හැකි ය. ඔහු තමන්ට හෝ අනුන්ට මෛත්‍රි කරන්නෙක් නොවේ.

පසු‍ගිය කාලය තුළ අවස්ථාවන් කීපයක දී ලංකාවට වැඩම කළ මා හට පෙර නො දුටු විරූ පරිසරයක් දකින්නට ලැබුණි. එනම් ශ්‍රී ලාංකික තරුණ සමාජය දුම්වැටි භාවිතයෙන් බෙහෙවින් ම දුරස් වී ඇති බව යි. පාරවල් වල, පොදු ස්ථාන වල, දුම් වැටි පානයේ අඩුවක් පැහැදිලිව ම දකින්නට ලැබුණි. මම ‍ඒ වෙනසට බෙහෙවින් කැමැත්තෙමි. ඒ අළුත් ලංකාවට මම සැබැවින්ම ආදරය කරමි. ථේර වාදි බුදු දහම රැක ගත් උතුම් ශ්‍රී ලංකා භූමිය තුළ ධර්මය බැබලේවා! අධර්මය බැහැර වේවා! සැම සිත් සතන් තුළ මෙත් කරුණා මුදිතා උපේක්ෂා දී ගුණ දියුණු වේවා! සැම දෙනාටම තෙරුවන් සරණයි!

ඇල්ලේ කුසලඤාණ හිමි
ජර්මනියේ සිට



Copyright © 2010 Honda Okkoma. All rights reserved. Solution by honadaokkoma.com