දුක නම් වූ ආර්ය සත්‍ය - දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය

giovedì 29 dicembre 2011

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

By DK, 


විවිධ වෙස් ගත් නිගණ්ඨයන් සහ චිංචි මානවිකාවන් උන්වහන්සේගේ කතෝලික සම්භක්තයන්ද අලලා කරන නිගරුවන්ගේ කෙළවරක් නැත. උන්වහන්සේට පහර දෙන්නටම කැපවූ බ්ලොග් අඩවි පවා බිහිව ඇත. ලක්වැසියනි! එකක් ඇත! නුඹලාගේ වාසනාවට පහළ වූවන් මරා ගනිතොත්, ඒ නුඹලාගේම නොසැලකිල්ල සහ නුවුමනාව නිසාවෙනි, උන්වහන්සේ නිවැරදි ධර්මය දෙසයි නම් කළ යුත්තේ මී හරකුන් සේ කුළ ගොත් විචාරණනට, මහමෙව්නා අසපුවේ බිත්ති, තාප්ප, කණු වල ඇද පළුදු සොයන්නට නොගොස්, එය පිළිපැදීමයි.
තවත් සෝම හිමි සිද්ධියක් බිහිවන තෙක් අතබාගෙන හිඳ, එය වූවාට පසුව “රහසෙම නික්මී තිබුණා..අපේ ළඟ අද නෑ..අපේ හාමුදුරුවනේ” කියමින් ඇඬෝ, ඇඬියා කරමින් සුළඟේ පාවී යන “කමිෂන්” සබා පත් කිරීම නොකරන්න. උන්වහන්සේගේ ධර්මය අසන්නා සේම, උන්වහන්සේව ධර්මයෙන් රැකෙන තුරු නොහිඳ, අපහාස, උපහාස කරන්නන්ට එරෙහි පියවරක් ගන්න…
  • ලක්වැසියනි! එකක් ඇත! නුඹලාගේ වාසනාවට පහළ වූවන් මරා ගනිතොත්, ඒ නුඹලාගේම නොසැලකිල්ල සහ නුවුමනාව නිසාවෙනි, උන්වහන්සේ නිවැරදි ධර්මය දෙසයි නම් කළ යුත්තේ මී හරකුන් සේ කුළ ගොත් විචාරණනට, මහමෙව්නා අසපුවේ බිත්ති, තාප්ප, කණු වල ඇද පළුදු සොයන්නට නොගොස්, එය පිළිපැදීමයි.

sinhalabuddhist

mercoledì 28 dicembre 2011

බැස ගියා හිරු.............වසක් ගෙවුණා නිමාවී. 11න් 12ට..................

මේ ගත වන්නේ 2011 ව්‍යවහරික වර්ෂයේ අවසන් දින කීපයයි. උදාවෙමින් තිබෙන්නේ, පෘතුවි තලයට මෙන් ම එහි වෙසෙන බහුතරයක් ජනයාටත් බොහෝ උපද්‍රව සිදුවිය හැකි යැයි අනාවකි පළවී ඇති 2012 වර්ෂයයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් විසින් ගෙවී ගිය වසර පිළිබඳව ආවර්ජනයක යෙදෙනා අතරතුර, උදාවන වසර සඳහා කවර ආකාරයේ සූදානමක් තිබිය යුතු ද යන්න පිළිබඳව තැබෙනා සංක්ෂිප්ත සටහනකි.

අලුත් ඇඳුම් පැළදුම් ඇඟලා, කා බී විනෝද වෙමින් නව වසර සැමරීමට ලෝකය සූදානම් ව සිටිති. නව වසරේ උදාවත් සමඟින් වෙඩි බෙහෙත් අවුළුවා මහා ගෝෂා කිරීමටත්, බීමත්ව වෙරි මතින් ගත කිරීමටත්,තරු හෝටල් වල විශාල මුදලකට අලෙවිවන ප්‍රවේශ පත් මිළට ගෙන ගී ගයමින්, නටමින් විනෝද වීමටත් ඔවුන් නො ඉවසිලිමත් ය. ගත වූවසර තුල තමන් ලැබූ (ලෞකික ) සාර්ථකත්වය පිළිබඳ ව සැහීමකට පත්වී නො සිටින ඔවුහූ, නව වසර තුල දී හෝ එම ඉලක්ක සපුරා ගැනීම සඳහා සැලසුම් කරමින් සිටිති. පාර දෙපස සල්පිල්වල විකිණෙන සිහින ලෝක වල අතරමං ව, සතුට සැනසීම සඳහා සෑම වෙහෙසක් ම ගන්නා නමුත් එසේ සොයන සැනසුම නොලබන බහුතර ජනයා නව වසරට මේ අයුරින් සැරසෙද්දී, තථාගත ශ්‍රාවකයන් විසින් ගෙවුන වසර කෙසේ සිහිපත් කළ යුතු ද? නව වසරට කෙසේ සූදානම් විය යුතු ද?

නොයෙකුත් හැලහැප්පීම් මැද වුවත් කලාතුරකින් ලද මිනිස් දිවියේ තවත්365 වරක් හිරු නැඟ බැස ගිය කාලපරිච්ඡේදයක් අවසන තෙක් ජීවත් වීමට අපි වාසනාවන්ත වීමු. වසර ආරම්භයේ සිටම සිදු වූ ස්වාභාවික විපත් වලින් සහ පැතිරුණු වසංගත රෝග වලින් මිය ගිය ප්‍රමානය ලක්ෂ ගණනකි. ලොව පුරා රාජ්‍ය සහ රාජ්‍ය නොවන ත්‍රස්තවාදය නිසාත් ගුවන් යාන, දුම් රිය, නාවුක සහ මාර්ග අනතුරු නිසාත් 2011 වසර තුල මෙලොව හැරගිය ගණන සුළුපටු නොවේ. මීට අමතරව නොයෙකුත් ලෙඩ රෝග, යුද කෝලහාල නිසාත් විශාල පිරිසක් මිය ගියහ. මෙසේ ඉදිරියෙනුත් පිටුපසිනුත් මරණය අත වනද්දී තවත් පැය 8760ක් නිරුපද්‍රිතව ගත කිරීමට අප වාසනාවන්ත වී ඇත. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළේ ව්ඩා වැදගත් වන්නේ යමෙක් ජීවත් වූ කාලය නොව ඒ කාලය තුල සිත, කය, වචනය මෙහෙයවා ඔහු විසින් කළ කී දෑ බවය. ඒ අනුව බලන කල අප විසින් මේ වසරේ ගෙවා ඇති විනාඩි 525,600 තුළ කළ කී දෑ පිළිබඳව ආවර්ජනය කර බැලීම ගෙවූ කාලයට වඩා වැදගත් වනු ඇත. උතුම් ක්‍රියාවන් තුලින් භෝ පින් දහම් රැස් කර ගැනීමට ඇතෙමෙක් සමත් වූහ. එසේ රැස් කර ගත් පින චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ද, මෙලොව සැපය සහ පරලොව සුගතිය උපත පිණිස ද මහෝපකාරී වනු ඇත.
අභ්‍යන්තර හා බාහිර ආයතන හරහා ලොව සැම තැන සිය ආධිපත්‍ය පතුරන පාපී මාරයා සමඟ අපගේ කිසිදු ගිවිසුමක් නැත. එනිසා දුර්ලභ වූ මිනිසත් බවත්, ශ්‍රී සද්ධර්මය ත් ඒකවර උරුම වීමෙන් ලද මේ ක්ෂණ සම්පත්තිය කොයි මොහොතේ ගිලී යා දැයි අපි කිසිවෙක් නොදනිමු. විශේෂයෙන් ම උදා වන වසර තුල දී බලවත් ස්වාභාවික ව්‍යසනයන් - අහාර අර්බූද සහ න්‍යෂ්ටික බලය සහිත් රටවල් අතර අවි ගැටුම් හට ගැනෙනු ඇති බවට අනාවැකි ඉදිරිපත්ව ඇති අතර මේ වන විට ඒ සඳහා අවශ්‍ය පසුබිමද මනාව සැකසෙමින් පවතී. ඒ අනුව බලන කල වර්ථමානයේ අප විසින් අත්විඳින්නා වූ මේ සුවපහසුව තව බොහෝ කල් නොපවතින්නට ඉඩ ඇත. නමුත් ලොව පහළ වූ අසමසම ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වීමට වාසනාව ලද අප හට තැති ගැනීමට හෝ නොසන්සුන් වීමට අවැසි නොවේ. උපන් සත්වයාට ජරා-මරණ හැර වෙනත් උරුමයක් නැත. එනිසා මෙලොව පරලොව රැකවරය සඳහා ද සියලු දුකින් එතෙරවීම සඳහා ද භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරිදි ජීවිතය ගත කිරීම මේ සියලු අර්බූද සඳහා වන පැහැදිලි සහ එකම විසදුමයි.

ආහාර ගෙන යන කදක වසා සිටින මැස්සන් ඕනෑ ම වෙලාවක එය අත් හැරීමට සූදානම්ව සිටින්නක් මෙන්, තව්තිසා වැසි දෙවිවරු ද සිය දිව්‍ය විමාන ඕනෑම වෙලාවක අත් හැරීමට සූදානම් ව සිටිති. දිව්‍ය සැපයෙන් ආඪ්‍ය වූ තව්තිසා දෙවියන් ද එසේ වී නම්, ගේ දොර,යාන වාහන, මා පිය,දූ දරු නෑ හිත මිතුරන් ආදී අප වටා නිරතුරු රැදෙනා මේ හීන වූ කාමයන්හී අප කුමට නම් එල්බ සිටිය යුත්තේද? අත්හැරීමෙන් ජය ලබමින්, කාමයන් කෙරෙහි නො බැදි ශ්‍රේෂ්ඨ සිතක් ඇති කර ගැනීම පිණිස නො පමාව ම දහමේ හැසිරිය යුතු නො වන්නේ ද?

අප්පමාදේන සම්පාදේථ"

මහාමේඝ

domenica 25 dicembre 2011

රන්කරුගේ දුව නිවන් දකී

සුබා රහත් මෙහෙණීන් වහන්සේගේ උදාන ගීතයයි මේ. නිවනට මග හෙළි කරන එතුමියට සවන් දෙන්න.

ඇයගේ නම සුබා ය. ඇය උපන්නේ රජගහ නුවර ය. පියා රන්කරුවෙකි. ඇයගේ රුව මුළු නුවරට ම ප්‍රිය විය. සුබා යන නම ඇයට ලැබුණේ ඒ නිසා ය.
බුදු රජාණන් වහන්සේ මුල් වරට රජගහ නුවරට වැඩම කළ අවස්ථාවේ ඇය ද උන් වහන්සේ දක්නට ගියා ය.

ඇයට ගැළපෙන සේ බුදුහු දහම් දෙසූ හ. සෝවාන් වූ ඇයට ගිහි ගෙයින් මිදීමට දෙගුරුන්ගෙන් අවසර ලැබිණ. ඇය සෝවාන් වූවා ය. මහා ප්‍රජාපතී ගෝතමිය භික්ෂුණී ශාසනය ඇරැඹූ පසු එතුමිය හමු වූ සුබා පැවිදි වූවා ය. නිවන් සුව පතමින් ඇය විදසුන් වඩන්නට වූවා ය.
ඇයගේ නෑයෝ විටින් විට ඇය හමු වීමට ආ හ.

“ඔබ හරි ම ලස්සන යි; ධනවත්. මේ සිවුර විසි කොට ගෙදර ඇවිත් සැප විඳින්න,” ඔවුහු කී හ.
දිනක් ඇය ඔවුන්ට ගිහි ජීවිතයේ ආදීනව දක්වමින් ගාථා විසිහතරක් දේශනා කළා ය. ඔවුහු යළි යළි ගිහි සැප වැනීමට නො ආ හ.

විදසුන් වැඩුමෙහි යුහුසුලු වූ සුභා තෙරණිය ඉක්මනින් ම රහත් බවට පැමිණියා ය.
පසු කලෙක සිය අතීතය සිහි කළ එතුමිය නෑයන්ට දෙසූ ගාථා උදාන ගී ලෙස ඉදිරිපත් කළා ය.
නිමල වතින් සැරසුණු මා සිටියේ නව යොවුනේ
බුදු හිමියන් දෙසු සදහම් මා දෙසවන ගැටුණේ
නොපමා ව ම ඒ දම් මඟ ඔස්සේ සිත ඇදුණේ
උත්තම සෝවාන් මඟට එමොහොත මා වැටුණේ

කම් සැප පිළිබඳ ආසා සිතෙන් ගියයි ගිලිහී
පංචස්කන්ධය පිළිබඳ සිටියෙමි මම බිය වී
කෙලෙස් ලොවෙන් නික්මෙමි යන අදිටන සිත දැඩි වී
ආයෙමි හැම සම්පත් හැර පැවිදි බිමට රිසි වී

නෑදෑයන් දැසිදස්සන් ගම්බිම් මගෙ උරුමේ
අත් හැර මම පැවිදි වීමි සැදැහෙන් බුදු සසුනේ
ඒ කාමය පිළිකුල්, අම නිවනයි මා පැතුවේ
අත්හළ රන් මිණි මුතු වෙත යළි මා සිත නො ඇදේ

වස්තුව, රන් රිදී ලොවේ මග පල නැණ නො වඩයි
මහණකමට ගැළපෙනු නැත, ශාන්තියක් නො ගෙනෙයි
ආරිය දහමක් ද නොවෙයි, එය ලෝභය දනවයි
මුළාව සහ මදය මෙන් ම රාගය ඇති කරවයි

කාමය අනියත යි, එතැන නියත බවක් නො ම වේ
එහි ගැලුණහු කලහ කරති පමා බවින් නොමිදී
ඔවුනට හිංසා නියත යි, උවදුරු තැන් වැඩි වේ
සම්පත් හා බැඳි කාටත් දුක ම ය ඇති උරුමේ

නෑදෑයන් වූ ඔබ මට අද සතුරන් විලසින්
කාමය වෙත පොලඹවනුයෙ කිම දැ යි මට පවසන්!
එහි බිය දුටු මෙහෙණක් මා, මට හිරිහැර නොකරව්
රන් රිදියෙන් කෙලෙසුන් පහ නොවනා බව සලකව්

කාමය රුදු සතුරෙකි, වධකයෙකි ගෙනෙන පීඩා
යවුලකි සිත රිදුම් දෙවන, ගත යුතු එය වටහා
මුඩු හිස හා සිවුරු දරන පැවිදි රුවක් නොතකා
සම්පත් පා මගෙ නෑයන් මට සතුරු ව එනවා

පිඬු සිඟා ගොසින් ලබනා ඉඳුල් අහර පුරුදු යි
ගෙයින් ගෙට සිඟා යන්නට පැවිදි අපට පුරුදු යි
මළ මිනී එතූ රෙද්දෙන් මසන සිවුර පුරුදු යි
පැවිදි දිවියකට කැප වූ සියලු දෙය ම පුරුදු යි

දෙව් මිනිස් ලොව පිරුණු සියලු කම් සැප අතැර
ඉසිවරහු නිවන් සුව පතති කෙලෙසුන් දුරැර
අනියත වු කම් සැපය නසා ලූ එතුමනට
නියත සැප උරුම විය නිවන දැකුමත් සමඟ

මම දනිමි, නො වෙයි රැකවරණයක් කාමයේ
එහෙයින් ය කාමයට මා යළිත් නොයනුයේ
දැනගන්න, කාමයෝ සතුරෝ ය, දුක් දෙවන
එය රුදුරු ගිනි කඳට සමාන ය සිත් දවන

උවදුරකි, බියකි, එය සිත අදියි නපුරට ම
ගිජු ය, විෂම ය, ලාටු මෙන් බඳියි වරදෙහි ම
මුළා කරවන දොරටුවක් වගෙයි කාම සැප
එහි ඇලෙති බාලයෝ ඒ සැපත සප් හිසකි

කාම මඩ ගොහොරුවේ එරී ගිය දද දනෝ
මියෙන ඉපදෙන ලොවේ කෙළවරක් නොම දකිති
කම් සැපත නිසා දුක් පිරුණු දුගතියට යති
වේදනාවෙන් පිරුණු සසර ගමනේ යෙදෙති

කම් සුවය රුපු පිරිස තනයි, සිත් තුවාලයි
කිලිටි කරවයි, ලොවට ඇලෙන්නට පොලඹවයි
යළි උපත් සදාලයි, උමතු බව ඇති කරයි
‘අහෝ සැපයකි!’ කියා හිස් වදන් වගුරුවයි
මරු විසින් දමන ලද කෙමනකට සමානයි

දුක් දෙවන, විෂ පිරුණ, හීන සතුටක් ගෙනෙන
කෙලෙස් වඩවාලමින් යහ ගුණය වියළවන
කාම සුව හැරදමා පැවිදි බිම වෙත පැමිණ
යළි යළිත් ඒ මහා විපත වෙත නොයමි මම

සිහිල් සුව සෙවූ මම කම් සටන් පරදවා
දිනා සංයෝජන ද නිවන වෙත ඇදෙන්නෙමි
මුනිඳු මේ සසර සැඩපහර තරණය කෙරූ
ඒ නිබය මඟ අනුව මම ද පිය තබන්නෙමි


(පැවිදි වූ අට වන දින රහත් වූ සුබා භික්ෂුණිය සමාපත්තියකට සමවැද තුරු සෙවණක සිටිනු බුදු හිමියන්ට පෙනිණි. බුදුහු ඇය අනෙක් භික්ෂුණීන්ට පෙන්වා මෙසේ දෙසූ හ:)

ඇස යොමනු අන්න අර ගස මුලට, එහි හිඳින
රන්කරුගෙ දුව සුබා රහත් බව ලබාගෙන
දහමෙ සිත පිහිටුවා දැහැන් සුව විඳිනවා

උපුල්වන් රහත් මෙහෙණිය විසින් මෙහෙයවූ
සුබා දැන් තෙවිදු නැණ ලබාගෙන නිවී ඇත
පැවිදි වී දින අටෙන් රහත් බව ලැබූ ඇය
බුදු සසුන බබළවයි, පින් කෙතක් වෙයි ලොවට

දොසින් තොර, ණය රහිත, මැඩූ ඉඳුරන් සහිත
බැඳුම් නැති, සැබෑ මිදුමකින් යුතු නිවන් මග
ඇය සතු ය, දැන් ඇයට සසර ගමනක් නොමැත
සව් කෙලෙස් නසා ලූ ඇය ඉතින් නිදහස් ය

(සුබා භික්ෂුණිය බුදු රදුන්ගේ පැසසුමට ලක් වූ බව ඇසූ සක් දෙවිඳු දෙව් පිරිසක් සමග පැමිණ එතුමිය පිදූ හ. ඒ සිදුවීම ද මේ උදාන ගීයට ඇතළත් වේ:)

දෙදෙව් ලෝ අධිපතිඳු සක් දෙවිඳු ඉඳු බෙලෙන්
පිරිස හා පැමිණියා සුබාවන් දකින්නට
රන්කරුගෙ දුව සුබා රහත් මෙහෙණිය කියා
මහ බැතින් වැඳ ගියා යළිත් සුර ලොව වෙතට.

දෙනගම සිරිවර්ධන

මේ ගමනේ අරුත වටහාගනිමු

සසර සැරි සරන සත්ත්වයන්ගේ ජීවිතවල යථා ස්වභාවය පහදා දෙමින් බුදු පියාණන් වහන්සේ විසින් වදාරා ඇති සූත්‍ර දේශනාවන්ගේ ගණන මෙතෙකැ යි දැක්වීම පහසු නො වේ.

ඛන්ධ සූත්‍රයෙන් පැහැදිලි කෙරෙන්නේ ද ඒ සංසාරික පැවැත්මට අදාළ වූ ධර්මතාවකි. දැන් අපි ඛන්ධ සූත්‍ර දේශනාව කෙරෙහි අපගේ අවධානය යොමු කොට, ඒ පිළිබඳ මඳක් නුවණින් විමසා බලමු.
එම සූත්‍රයෙහි ආරම්භයේ ම රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යනුවෙන් වචන පහක් දැක්වෙයි. මේ පාලි වචනවලින් බුදු පියාණන් වහන්සේ අපට හඳුන්වා දී ඇත්තේ මොනවා දැ යි තේරුම්ගැනීමට පළමුවෙන් ම අපි උත්සාහ කරමු. මෙහිදී අපට අවශ්‍ය වන්නේ මේ එක් එක් පාලි වචනය පිළිබඳ අටුවා - ටීකා සොයා යෑම නම් නො වේ! අපට අවශ්‍ය වන්නේ ඒ වචන පහෙන් පැවසෙන මූලික පණිවිඩය වටහාගැනීම පමණි.

ඉතා සරල ව කිව හොත්, මේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන වචනවලින් පැවසෙන්නේ අපගේ ම ජීවිත පැවැත්ම පිළිබඳ කතාව යි. එහි රූප යන්නෙන් ඇස්, කන්, නාසාදි ඉඳුරන් සහිත අපගේ මේ ශරීරයත්, ඊට අරමුණු වන මුළු මහත් භෞතික ලෝකයත් අදහස් කෙරෙයි. එසේ ම ඒ රූපී ශරීරය ඇසුරු කොටගෙන පහළ වන විඳීම් – හැඳීනීම් - සිතීම් - දැනීම් යන මානසික ක්‍රියාකාරීත්වයන් (මානසික ධර්මයන්) වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන වචනවලින් දැක්වෙයි. ඒ අනුව බුදු බණෙහි මේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන වචන පසින් විග්‍රහ කෙරෙන්නේ සෑම සංසාරික සත්ත්වයකුගේ ම ජීවිත පැවැත්ම සකස් කෙරෙන කායික - මානසික ක්‍රියාකාරිත්වය පිළිබඳ යථා තත්ත්වය යි. බුදු පියාණන් වහන්සේ විවිධ අවස්ථාවන්හි, විවිධ වචන යොදාගනිමින්, මේ සසර පැවැත්ම, සකස් වී ඇති ආකාරය අපට විග්‍රහ කොට වදාරා ඇත. ඇතැම් තැනෙක ස්කන්ධ පහක් ලෙස ද, ඇතැම් තැනෙක ධාතු සයක් ලෙස ද, ඇතැම් තැනෙක ආයතන දොළොසක් ලෙස ද, විවිධ අයුරින් උන් වහන්සේ පහදා දී ඇත්තේ මේ සංසාරික දිවි පැවැත්මෙහි සැකැස්ම යි; හෙවත් සසර සැරි සරන සත්ත්වයන්ගේ ජීවිත හා අත්දැකීම් සකස් වී ඇති ආකාරය යි.

ඉහත දැක්වෙන සෑම විග්‍රහයක් තුළින් ම බුදු සමිඳුන් උත්සාහ ගෙන ඇත්තේ මේ සසර පැවැත්මේ යථා ස්වභාවය අපට පහදා දීම සඳහා ය. මේ ජීවිත සැකැස්ම, ස්කන්ධ වශයෙන් බෙදා දැක්වුවත්, ධාතු වශයෙන් බෙදා දැක්වුවත්, ආයතන වශයෙන් බෙදා දැක්වුවත්, එහි දැකගත හැක්කේ අනිත්‍ය වූ ධර්ම රැසක සාමූහික ක්‍රියාකාරීත්වයක් පමණක් බව බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දුන් සේක. මෙසේ අනිත්‍ය වූත්, වෙනස් වනසුලු වූත්, නැති ව යනසුලු වූත් (අනිච්චා, විපරිණාමී, අඤ්ඤථාභාවී...) කායික - මානසික ධර්ම රැසකින් සකස් වූ මේ ජීවිතය, අනිවාර්යයෙන් ම අනිත්‍ය විය යුතු ය; වෙනස් වනසුලු විය යුතු ය; තාවකාලික විය යුතු ය. සැබැවින් ම එය එසේ නොවී අන් කෙලෙසක වන්න ද?

එහෙයින්, බුදු පියාණන් වහන්සේ වදාළා වූ විවිධ දේශනාවන් ඇසීම තුළින්, කියවීම තුළින්, විමසා බැලීම තුළින් අප වටහාගත යුතු හරය නම්, මේ සසරෙහි කිසිදු කලෙක - කිසිදු තැනෙක නිත්‍ය වූ පැවැත්මක් තිබිය නොහැකි ය යන ධර්ම න්‍යායය යි. මක් නිසා ද යත්, බුදු සමිඳුන් අපට පෙන්වා දුන් පරිදි, මේ සසරට අයත් සෑම ජීවිතයක් ම, සෑම දෙයක් ම, අනිත්‍ය වූ හේතූන්ගෙන් සකස් වූ ‘තාවකාලික ඇටවුම්’ පමණක් වන බැවිනි. ඒ අනුව අප මේ සසරෙහි කොතැනක - කවරකු ලෙස ඉපදුණත් අපට හිමි වන්නේ එවැනි තාවකාලික ‘ජීවිත ඇටවුමක්’ පමණි.
ඒ කිසිදු ‘ජීවිත ඇටවුමක්’ එක ආකාරයෙන් නො පවතී. අනිත්‍ය වූ හේතූන්ගෙන් සකස් වන ඒ ජීවිත ඇටවුම් එම හේතූන් වෙනස් වන විට වෙනස් වෙයි. “අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම්මිනෝ...” යනුවෙන් සියලු සංසාරික සකස් වීම් තාවකාලික වන බවත් ඒවා හටගැනීම හා විනාශය ස්වභාව කොට පවත්නා බවත් බුදු පියාණන් වහන්සේ අපට නිබඳ ව සිහිපත් කොට වදාළේ ඒ බැවිනි.

එහෙයින් මේ සසර සැරි සරන්නා වූ කිසිදු සත්ත්වයකුට මේ අනිත්‍ය ධර්මතාවෙන් ගැලවීමක් නැත; කාම, රූප, අරූප යන භවත්‍රයේ කොතැනක ඉපදුණත් මෙයින් බේරීමක් නැත. දෙව් මිනිසුන් සහිත සියලු ලෝකයා ම මේ අනිත්‍ය ස්වභාවය උරුම කොටගෙන සිටිති; දායාද කොට ගෙන සිටිති; එහි ගොදුරු බවට පත් වී සිටිති. එදා තම එක ම දරුවාගේ වියෝවෙන් කම්පාවට පත් ව සිටි අසරණ කිසාගෝතමිය හමුවේ මහා කාරුණික බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළේ මේ ධර්ම නියාමය යි.

“නල ගාම ධම්මෝ නෝ නිගමස්ස ධම්මෝ
නචාපයං ඒක කුලස්ස ධම්මෝ
සබ්බස්ස ලෝකස්ස සදේවකස්ස
ඒසෝව ධම්මෝ යදිදං අනිච්චතා.”

“(නැගණියනි,) මෙය වූකලි එක් ගමකට උරුම වූ ස්වභාවයක් නො වේ; එක් නියම් ගමකට හෝ එක් කුලයකට හෝ උරුම වූ ස්වභාවයක් ද නො වේ. දෙවියන් සහිත සියලු ලෝකයාට ම මේ අනිත්‍යතා දහම උරුම වූයේ වෙයි.”
(කිසාගෝතමි අපදානය, අපදාන පාලි, ඛු.නි.)

මෙසේ එදා තථාගත බුදු සමිඳුන් විසින් පෙන්වා වදාළා වූ අනිත්‍ය ධර්මතාව, ඒ කිසාගෝතමියගේ දරුවාට මෙන් ම සදේවක ලෝකයාට ම එක සේ උරුම වූවකි; කාම, රූප, අරූප යන භවත්‍රයෙහි ම එක සේ ක්‍රියාත්මක වන්නකි; සසර පැවැත්මට අයත් වූ සෑම සකස් වීමකට ම ආවේණික වූ ස්වභාවයකි. ‘සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතාව‘ (සබ්බේ සංඛාරා අනිච්චා) යනුවෙන් බුදු බණෙහි දැක්වෙන්නේ ඒ ධර්ම නියාමය යි.

ඒ අනුව, එසේ අනිත්‍යතාව ස්වභාව කොටගත් යමක් වේ නම් ඒ කිසිවක් තුළ නිත්‍ය සැපයක් පැවතිය නොහැකි බව බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ සේක. ඇත්තෙන් ම අපට සැප සේ පෙනෙන - සැප සේ දැනෙන දේවල් පවා අනිත්‍යතාව හමුවේ නැසී, වැනසී, අහිමි වී යන විට ජනිත වන්නේ දුකක් ම පමණි. එහෙයින් මේ සසර පැවැත්මට අයත් වන සියලු සකස් වීම් දුක් උපදවීමේ ස්වභාවයෙන් යුක්ත වන්නේ යැ යි බුදු පියාණන් වහන්සේ වදාළ සේක. ‘සියලු සකස් වීම් දුක් සහගත ය’ (සබ්බේ සංඛාරා දුක්ඛා) යන බුදු වදනෙහි සරල අදහස එය යි.

මෙසේ අනිත්‍ය වූ ද, දුක් උපදවනසුලු වු ද පැවැත්මක් තුළ ‘තමා’ කැමැති පරිදි ම පවත්නා ජීවිතයක් හෝ ලෝකයක් හෝ ආත්මයක් හෝ අන් කවර දෙයක් හෝ තිබිය හැකි යැ යි යමකු සිතන්නේ නම් එය මහත් ම මුළාවකි. එහෙයින් මේ සංසාරික පැවැත්ම තුළ ස්ථිර ලෙස තමාගේ යැ යි අයිතිවාසිකම් කිව හැකි, තමා කැමැති පරිදි ම පවත්වාගත හැකි, කිසිදු සාරයක් (ආත්මයක්) නැති බව බුදු පියාණන් වහන්සේ වදාළ සේක. ‘සියලු දේ අනාත්ම වන්නේ ය’ (සබ්බේ ධම්මා අනත්තා) යන බුදු වදනින් ප්‍රකාශ වන සරල අදහස එය යි.
මෙසේ අනිත්‍යතාව, දුක්ඛතාව හා අනාත්මතාව යන ස්වභාව ධර්මතාවන් සැම කල්හි ම මේ සංසාර පැවැත්ම වෙළාගෙන පවතී. සසර පැවැත්මට හසු වී සිටින කිසිදු සත්ත්වයකුට මේ සනාතනික ධර්මතාවන්ගෙන් බේරීමක් නැත. සසර පැවැත්ම තුළ රැඳී සිටිනා තුරා සෑම සත්ත්වයකුට ම මේ ධර්මතාවනට මුහුණ දීමට සිදු වෙයි. මෙසේ මේ ධර්මතාවනට නිරන්තරයෙන් මුහුණ දෙමින් සිටියත් ඒවා අවබෝධ කරගැනීමට හෝ ඒවායින් මිදීමේ මගක් සොයාගැනීමට හෝ බොහෝ සත්ත්වයෝ අසමත් වෙති. සංසාරික උගුලේ අන්තරාය එය යි!

කෙසේ වෙතත්, අඳුරු අහසේ පහළ වන රිදී රේඛාවන් ලෙසින් කලින් කල ලොව පහළ වන්නා වූ තථාගත සම්මා සම්බුදුවරයන් වහන්සේලා සසර පැවැත්මට උරුම වූ මේ සනාතනික ධර්මතාවන් මනා නුවණින් අවබෝධ කොටගනිති; අවබෝධ කොටගෙන ලෝක සත්ත්වයා හමුවේ මනාව හෙළි කොට වදාරති. ඒ බව බුදු පියාණන් වහන්සේ ම එක් අවස්ථාවක මෙසේ පෙන්වා වදාරා ඇත:

“මහණෙනි, තථාගතයන් වහන්සේ නමක් පහළ වී සිටියත්, තථාගතයන් වහන්සේ නමක් පහළ වී නොසිටියත් ‘සියලු සකස් වීම් අනිත්‍ය ය’ යන ධර්ම ධාතුව පවතියි; ධර්මතාව පවතියි; ධර්ම නියාම පවතියි.
‘සියලු සකස්වීම් දුක් සහගත ය’ යන ධර්ම ධාතුව පවතියි; ධර්මතාව පවති යි; ධර්ම නියාමය පවතියි.
‘සියලු දේ අනාත්ම ය’ යන ධර්ම ධාතුව පවතියි; ධර්මතාව පවතියි; ධර්ම නියාමය පවතියි.
“ඒවා තථාගතයන් වහන්සේලා මැනවින් අවබෝධ කරගනිති; මැනවින් ප්‍රත්‍යක්ෂ කරගනිති. එසේ මැනවින් අවබෝධ කොටගෙන, මැනවින් ප්‍රත්‍යක්ෂ කොටගෙන (ලෝක සත්ත්වයා හමුවේ) සියලු සකස් වීම් අනිත්‍ය යැයි ද, සියලු සකස්වීම් දුක් සහගත යැ යි ද, සියලු දේ අනාත්ම යැ යි ද ප්‍රකාශ කරති; දේශනා කරති; පනවති; පිහිටුවති; විවරණය කරති; විග්‍රහ කරති; පැහැදිලි කොට වදාරති.”
(තික නිපාතය - අං.නි.)

මෙසේ තථාගත සම්බුදුවරයන් වහන්සේ නමක් ලොව පහළ වී, මේ සසර පැවැත්ම සකස් කරන්නා වූ සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතාව, දුක් බව හා අසාරත්වය ලෝකයා හමුවේ කොතරම් පැහැදිලි ව ප්‍රකාශ කළත්, ඒ දේශනාවන් කෙරෙහි සිත, කන යොමු කරන්නට සමත් වන සත්ත්වයෝ ඉතා අල්ප වෙති; ඒ පිළිබඳ අවංක පිළිගැනීමක්, අවංක පැහැදීමක් ඇති කරගන්නට සමත් වන සත්ත්වයෝ ඉතා අල්ප වෙති. මක් නිසා ද යත්, මෝහයෙන් මුළා වී, කෙලෙසුන්ට වසඟ වී සසර සැරි සරන බොහෝ පෘථග්ජනයන්ට බුදු පියාණන් වහන්සේ වදාළා වූ මේ ලෝක ධර්මතාව කෙරෙහි සිත යොමු කරන්නට තරම් ශක්තියක් නොමැති බැවිනි. බුදු බණ ඇසුවත් බොහෝ සත්ත්වයනට පෘථග්ජන භාවය ඉක්මවා නිවන් මඟට බැසගත් ‘ආර්ය ශ්‍රාවකයන්’ බවට පත් වීමට නොහැකි වන්නේ එබැවිනි.


වෛද්‍ය කුමුදු ශ්‍රී කුරුප්පු

sabato 24 dicembre 2011

ගුණ ධර්ම තුලින් දියුණුවන නිවන් මග

සංසාරේ බොහෝ කලක් අරගෙන ආවෙ සට කපට මායා ගතිවලින්, අකීකරු කමින්, මාන්නක්කාර කමින්. අපි බුදුරජාණන් වහන්සේලා දැකල ඇති. අතීත සංසාරේ බුදුරජාණන් වහන්සේලාගේ ශාසන අපිට මුණගැහිල නැද්ද? මුණගැහිල ඇති. නමුත් මොකද අපිට මේ සංසාරෙන් නිදහස් වෙන්ට බැරිවුනේ? අතීත සංසාරෙදි අපි සංසාරෙන් නිදහස් වීම පිණිස අපි තුළ පිහිටුවා ගත යුතු ගුණාංග අපි පිහිටුවගෙන තිබුනෙ නෑ.  

මොනවද ඒ අංග? කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවනය, යෝනිසෝ මනසිකාරය, ධම්මානු ධම්ම පටිපදාව. මෙන්න මේ අංග අපේ ජීවිතයට එකතු වෙලා තිබුන නම් අතීත සංසාරේඅපි මේ වෙනකොට සංසාරෙන් නිදහස් වෙලා. එහෙනම් අපි සංසාරෙන් නිදහස් නොවුනේම මේ කල්‍යාණ මිත්‍ර අසුර, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන අංග හතර අපේ ජීවිතයට එකතු නොවුන නිසා.

එහෙනම් මේ ජීවිතයේදීත් අපිට බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණගැහුන. හැබැයි එසේ වුනත් අපේ ජීවිතයට කල්‍යණමිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවනය, යෝනිසෝ මනසිකාරය, ධම්මානු දම්ම පටිපාදව කියන අංග හතර අපේ ජීවිතයට පමුණුවා ගත්තෙ නැත්නම් අපිට අපහු සැරයක් කලින් ආපු ගමන යන්ට සිද්ධවෙයිද නැද්ද? සිද්ධවෙයි. ඇයි අපිට අතීතයේදි නිදහස් වෙන්ට බැරි වුනේ? සෝතාපත්ති අංග අපේ ජීවිතයට අපි පමුණුව ගත්ත නැති නිසා.

එහෙනම් අපි අපේ ජීවිතයට ඕනැ දේවල් අපේ ජීවිතයට පමුණුවා නොගත්තොත් ආපු ගමන අපසු යන්ට අපිට සිද්ධ වෙනව. අපේ ජීවිතයට අපි පමුණුවා ගත යුතු අංග මොනවද? කල්‍යාණමිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවනය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. මේ අංග හතර අපේ ජීවිතයට පමුණුවා ගන්නට ඕනැ. ධර්මය ඉගෙන ගත්ත පමනින් ඒක වෙන්නෙ නෑ. ධර්මය පාඩම් කළ පමනින් ඒක වෙන්නෙ නෑ. ධර්මය අන් අයට කියා දුන් පමණින් ඒක වෙන්නෙත් නෑ. සමාධිය වැඩුවා කියලත් ඒක වෙන්නෙ නෑ.

ඒ සෝතාපත්ති අංග ජීවිතයට බද්ධ වෙන්නෙ නිහතමානී කම කීකරු කම අවංක භාවය, සටකපට මායා නැති ගතිය, කළ ගුණ දන්නා කම කියන මෙන්න මේ ගුණ ධර්මය අපේ ජීවිතයට පමුණුවා ගත්තොත් අපිටත් සෝතාපත්ති අංග අපේ ජීවිතයට පමුණුවා ගන්ට අවස්ථාවක් ලැබෙනව. ඒ ගුණධර්ම වලින් බැහැරව කිසි කලක සෝතාපත්ති අංග අපේ ජීවිතයට පමුණුවා ගන්නට ලැබෙන්නෙ නෑ.
ඒකයි බුදුරජාණන් වහන්සේ කියා දුන්නෙ සමහර භික්ෂූන් ඉන්නව ඒ අය මුරණ්ඩුයි. මුරණ්ඩුයි කියල කියන්නෙ කියන දේ අහන්නෙ නෑ. ඒ අය වංචාකාරී චාටු බස් පාවිච්චි කරනව කියන්නෙ සට කපට මායා වංචාකාරී අදහස් වචන පාවිච්චි කරනව. ඊලඟට ඒ අය මාන්නක්කාරයි. මම දන්නව කියන අදහසේ ඉන්නෙ. තව කෙනෙකුගෙන් මොකටද අහන්නෙ කියන අදහස එයාගෙ හිතේ තියෙනව. ඉතින් එයා කල්‍යාණ මිත්‍රයට අහුම් කණ් දෙන්නෙ නෑ.

ඒ නිසා එබඳූ ගතිගුණ තියෙනව නම් අන්න එබඳූ භික්ෂූන් මට අයිති නෑ කියල කියනව. හැබැයි ඒ අය සිල් රකිනව. ධර්මය ඉගෙන ගන්නව, ධර්මය කියල දෙනව. සමහර විට භාවනාත් කරනව. දැක්කද බුදුරජාණන් වහන්සේට අයිති නැති විදිහ. එහෙනම් අපි මුලින්ම වහ වහා කර ගත යුතු දේ මොකක්ද? නිහතමානී බව ඇති කර ගැනීම. කීකරු බව ඇතිකර ගැනීම. සට කපට මායා නැතිකර ගැනීමට. කළ ගුණ දන්නා කම ආදී ගුණ ධර්ම අපේ ජීවිතය තුළ ගොඩනගා ගැනීම තමයි කළයුතු වන්නේ. අන්න ඒ ගුණධර්ම තියෙන කෙනා කල්‍යාණ මිත්‍රයාට සමීප වෙනවා මයි.

ඒ ගුණ ධර්ම නැති කෙනා කල්‍යාණ මිත්‍රයා ගැන කතා කරයි. කල්‍යාණ මිත්‍රයාට වන්දනා කරයි එයාගෙ ගුණත් කියයි. හැබැයි එයා ඇසුරු කරන්නෙ නෑ. කල්‍යාණ මිත්‍රයාගේ ගුණ කියන්නෙත් සට කපට මායා වලින් යුතුවමයි. ඇයි අවංක නැති කෙනා ලඟ තියෙන්නෙ සට කපට මායානෙ. එතකොට ඒක තමයි ගුණ කීම සඳහා පාවිච්චි කරන්නෙ. සට කපට මායා නැති කෙනා ලඟ අවංක බව තියෙනව. අවංක භාවය තුලින් ගුණ කියනව. ඒ නිසා කෙනෙකුගේ ගුණ කිවූ පමණින්ම එයා කල්‍යාණ මිත්‍රයා ඇසුරු කරනවා කියන අදහස එන්නෙත් නෑ. එහෙනම් අපි කල්පනා කළ යුත්තේ අපි තුල අර ගුණධර්ම දියුණු කරගන්ටයි.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!

giovedì 22 dicembre 2011

කිරි ඉතිරේවා නව වසරේ!.....................

කිකිළියක් බිත්තර දාලා ඒ බිත්තර රකින්නේ නැතුව ඇවිද ඇවිද ඉන්නවා. "මේ බිත්තර වලින් පැටව් එලියට ඒවා" කියලා කිකිළි කොපමණ ප්‍රාර්ථනා කළත් පැටව් එළියට එන්නේ නැහැ. තවත් කිකිළියක් ඉන්නවා එයා නම් බිත්තර දාල ඒවා හොඳට උණුසුමට රකිනවා. මේ බිත්තර වලින් පැටව් එළියට ඒවා ඒ කිකිළි ප්‍රර්ථනා කළත්, නැතත් ඒ පැටව් ලැබෙනවා. ඒ වගේ යම්කිසි ප්‍රතිඵලයක් ලබන්නට යම් වැඩපිළිවෙලක්, ප්‍රතිපදවක් ඇත් ද,එය අනුගමනය නො කිරීමෙන් ඒ අපේක්ෂිත ප්‍රතිඵලය ලබන්නට නොහැකියි.

බිත්තර දැම්මෙමු ඔහේ ඇවිද්දෙමු

ඒ කාරණාව අපට පැහැදිලි කරලා දුන්නෙත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්ම යි. එතෙක් අපි කළෙත් කිකිළි බිත්තර දාලා පැටව් එනකල් ඇවිද ඇවිද හිටිය වගේ වැඩක්. මීට 11 වසරකට පෙර දවසක් ගෙවිලා තවත් දවසක් උදා වුණා. බොහෝ දෙනාට අමතක නම නැතුව ඇති. ඒ නව සහස්‍රකයේ ඇරඹුම සනිටුහන් කරමින් 1999 වසර අවසන් වී වර්ෂ 2000 උදා වූ දවසයි.නමුත් අපි බොහෝ දෙනා අමුතු දවසක් උදා වෙනවා වගේ, අමුතු ඉරක් පායනවා වගේ නොයෙක් නොයෙක් දේ කළා.තම තමන් කළ නොකල දේ වදාත් හොඳින් මතක තම තමන්ටම නේ. නමුත් සිදු වුණ එකම දේ වෙනදා වගේම ඉර බැස ගිහින් පසුදා හිරු උදා වුණ එක විතරයි.ඒ ඉර බැහැල ගියේ තවත් පැය 24 කින් ජීවත් වෙන්න තියෙන අපේ ආයුෂත් අරගෙනයි.

කළ යුතු දේ පැත්තක තියෙලා ප්‍රර්ථනා බලාපොරොත්තු ගොන්නකින් හිත පුරවා ගත්තා. ඉහලට ගත් හුස්ම පොද පහලට හෙළන්න කලින් උරුම විය හැකි මරණය ගැන යමෙකුට සිහි වූයේ නම් ඒ ඉතාම කලාතුරකින්. ඒ අවුරුද්ද අවසන් වන විට මුලින් සිදු කළ ප්‍රර්ථනා ගොන්න වත් මතක තිබුනාදෝ යි සැක සහිතයි. ඒ තරම් ම ප්‍රබල මායාවක්.

කාළකණ්ණී දවසක්

හැම අවුරුද්දේම අවසන් වන දවසත්, එළඹෙන අවුරුද්දේ මුල් ම දවසත් අපි නොදැනුවත්වම කාළකණ්ණී කර ගත්තා. කෑවා, බිව්වා, නැටුවා, එළි වෙනකල් පුටුව උඩට වෙලා ටී.වී. බැලුවා.සමහරු වෙරි මරගාතේ. හැමෝ ම පහුවදා ත් දවල් වෙනකල් ම බුදි.

මඟ හොඳට තිබේ නම්..... දෑසත් හොඳට පෙනේ නම්.....

ක්ෂණ සම්පත්තියෙන් අපිට ලැබුණ ජීවිතේ සුන්දර දවසක් අපි විහින් අකුසල් කන්දක් කරගත්තා.යම් කෙනෙක් යම් දවසක තෙරුවන් සිහි කරයි නම්, කුසල් දහම් කරයි නම් ඒ දවස එයාට සුභ දවසක්. සුභ මොහොතක්.අවුරුද්දේ කුමන දවසක වුණත් කල යුතු වැඩපිළිවෙල නම් මැදුම් පිළිවෙතයි.ය යුතු මග නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. මග පැහැදිලිව නිරවුල් ව තිබිය දී නොමග ගියහොත්, කරත්තයේ රෝදත් කඩාගෙන අතරමං වී කල්පනා කර කර දුක් වෙන්නයි සිදු වෙන්නේ.ඒ නිසා පසු නො තැවෙන ජීවිතයක් ලබන්නට කැමති නම් යා යුත්තේ නිවැරදි මග මයි.

සමරන්නට සුවිශේෂී දවස් 12ක් අවුරුද්ද පුරාවටම බෞද්ධ අපට තියෙනවා. ඒ සෑම මසකම පසළොස්වක පෝය දවසයි. ඊටත් වඩා සමරන්නට කැමති නම් දින 48ක් සතර පෝය සමරමින් ගත කරන්නට ත් පුළුවන්.ඉන් ජීවිතයට සැලසෙන්නේ යහපතක් මයි.

ලඟ ලඟ එන 2011 වසරේ අවසාන දිනයත් අභ්‍ය සම්පන්න දිනයක් නොකර ගැනීමට අපි බුද්ධිමත් වෙන්න ඕන. ලබන්න වූ වසර සාර්ථක කර ගන්නට, බලාපොරොත්තු ඉෂ්ඨ කර ගන්නට කියා අසත්පුරුෂයන් විසින් හුදෙක් වාණිජමය අරමුණු මත පිහිටා නොයෙක් මාධ්‍ය ඔස්සේ අධර්මයන් පතුරුවන්නට දැනටමත් පටන් අරන්. නමුත් ඒ අනතුරු වලින් මිදී, බුද්ධිමත්ව, බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයන් ලෙසින් කටයුතු කිරීමට අප වග බලා ගතයුතු වෙනවා.

ගලේ කෙටුවත් වඩක් නෑ...........

හිතේ තියෙන බලාපොරොත්තු නව වසරේ ඉෂ්ඨ කර ගන්න කියලා හිතාගෙන පොතේ ලියාගෙන තැබුවත්, ගලේ කොටලා තිබ්බත්, ඊට කලින් ඔබ මැරුනොත් ඒ බලාපොරොත්තු නිකන්ම නිකන් හිස් අකුරු ටිකක් විතරයි.ඒ වගේම ඒ අපේක්ෂාවන් ඉබේ ඉටු වෙන්නෙත් නෑ.ඊට අදාල ප්‍රතිපදාවන් අනුගමනය කල යුතුයි.

ලොව පරම සත්‍ය දේශනා කළේ මුල-මැද_අග පිරිසිදු වූ අකාලික ධර්මයක්. මේ ජීවිතයේ දීම දකින්නට පුළුවන් ඒ සිරි සදහම් ඕනෑම කෙනෙකුට ඇවිත් බලන්න පුළුවනි. ඒ සොදුරු වූ අකාලික මුනි දහම තමා තුලට පමුණුවාගෙන තම තම නැණ පමණින් අවබෝධ කර ගන්නා සුභ ම සුභ නව වසරක් වේවා!

මහාමේඝ

විපත් පත් ලොවට ඇති එකම රැකවරණය


නොබෝ දිනකින් එළැඹෙන 2012 වසර තුළදී ස්‌වාභාවික පරිසරයේ ඇතිවන අති බිහිසුණු කැළඹීම් නිසා සමස්‌ත ලෝකවාසී ජනතාවට දරුණුතම අත්දැකීම්වලට මුහුණදීමට සිදුවිය හැකි බවට අනාවැකි පළවෙමින් තිබේ. අනපේක්‌ෂිත මහා වර්ෂා, ජල ගැලීම්, සුළිසුළං හා භූකම්පන අන් හැම කාලයකටම වඩා ගෙවී යන මෙම වසරේ දී මිනිස්‌ ජීවිතවලට බලපා ඇති බැව් දැනටමත් ලොව නන් දෙසින් ලැබී ඇති තොරතුරුවලින් අනාවරණය වී තිබේ. පසුගියදා අප රට හරහා හමාගොස්‌ දකුණේ ගම්බිම් හා ජීවිත රැසක්‌ වැනසූ සුළි සුළඟද එබන්දකි. මේ තත්ත්වය එන්ට එන්ටම දරුණු වන ලකුණු පහළව ඇත. මිනිසාට පමණක්‌ නොව ලොව මොනම බලවේගයකටවත් පාලනය කළ නොහැකි මෙම විපත්වලට අප මුහුණ දිය යුත්තේ කෙසේද, ඊට අප හැම සූදානම්ද යන පැනය අප අපගෙන්ම විමසිය යුතුව තිබේ.

දිනෙන් දින වර්ධනය වන විද්‍යා තාක්‌ෂණ දැනුමෙන් ලොව ජය ගැනීමට කැසකවන නූතන විද්‍යාඥයන්ට මේ ස්‌වාභාවික විපත් වළකා ගැනීමට අවශ්‍ය පිළියම් සොයාගත නොහැකිය. විද්‍යා තාක්‌ෂණයේ විස්‌මයජනක නව නිපැයුම්වලින් ලෝකය භෞතික වශයෙන් දියුණුවක්‌ ලැබුවද ආධ්‍යාත්මික අතින් දරුණු පරිහානියකට පත්ව තිබීම ඊට හේතුවයි. මොහොතින් මොහොත අනිත්‍යතාවට පත්ව වෙනස්‌ වන ලෝකයේ ස්‌වභාවය අවබෝධයෙන් හඳුනාගෙන ඉන් ජයගත හැකි මඟ පෙන්වා දුන් සැබෑම විද්‍යාඥයා වූයේ බුදුරජාණන් වහන්සේය. ස්‌වභාව ධර්මයේ යථා ස්‌වභාවය හා එහි අනියත බව ලෝවැසියා කෙරෙහි මහා කරුණාවෙන් පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේගේ දහම් මඟ නිවැරැදි ලෙස හඳුනාගත් සත්පුරුෂයන්ට පමණි ලොව පෙළන මහා විපත්වලට නොසැලී මුහුණදී ආධ්‍යාත්මික විමුක්‌තිය සාක්‌ෂාත් කරගත හැක්‌කේ.

දෙව් මිනිස්‌ දෙවර්ගයාගේම ජීවිතයට තිබෙන බලගතුම රැකවරණය වූ කලී තෙරුවන් ආශිර්වාදය බව ලෝකවාසී ජනයාගෙන් සිහිපත් කරන්නේ ඉතාම ටික දෙනකු පමණි. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය මුණගැසෙන තෙක්‌ කෙනකුගේ ජීවිතයට ආරක්‌ෂාවක්‌ නොමැති බව වටහාගෙන ඇත්තේ යථාවබෝධයෙන් යුතුව ඒ දහම් මඟට පිළිපන් ආර්ය ශ්‍රාවකයන් පමණි.

තිසරණය කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක්‌ නැති පෘථග්ජන පිරිස බුදු දහමට පටහැනි නොයෙක්‌ මිථ්‍යා ඇදහිලි පසුපස හඹා යන්නේ ලෞකික සැප සම්පත් කෙරෙහිම සිත මෙහෙයවා ඇති හෙයිනි. විවෘත ආර්ථික ක්‍රමය හා ගෝලීයකරණය හමුවේ ධර්මයට නැඹුරුවන පිරිසට වඩා අධර්මය කෙරේ සිත යොමු කරන පිරිස වැඩිය. කරදර, කම්කටොලු, ආර්ථීක පීඩා, ලෙඩ දුක්‌ ජීවිතය පෙළන කල්හි සසර පැවැත්ම පිළිබඳ යථාවබෝධයක්‌ නොමැති අය නොයෙක්‌ අදෘශ්‍යමාන බලවේග කෙරෙහි විශ්වාසය තබනු දැක්‌ක හැකිය. වන්දනාමානය පවා ඒ අය යොදා ගන්නේ ආත්මාර්ථකාමී පටු අදහස්‌ සඵල කරගැනීම සඳහා ය.

දිවයිනේ බොහෝ විහාරස්‌ථානවල පූජනීය වස්‌තුවක්‌ වන බෝධීන් වහන්සේ වන්දනා කිරීම පිළිබඳ වත්මන් පිළිවෙත් විමසන විට ඉහත කී ස්‌වරූපය මනාව පෙනී යයි. අතට හසුවන මානයේ ඇති සෑම බෝධි ශාඛාවකම මල්වැල්, විවිධ වර්ගයේ කොඩි, කුඩා බැනර් එල්ලා ඇති අයුරු බලන කල්හි මේවා බෝධීන් වහන්සේට පිදෙන ගරු පූජාදැයි විමතියකි. කපුටන්ගේ හා නයින්ගේ රූප අඳින ලද සුදු රෙදි බෝධි ශාඛාවල අතරින් පතර එල්ලෙමින් තිබේ. "සෝමලතාගේ අපලය දුරුවේවා ·", "දෙමවුපියන්ට නිරෝගී සුව ලැබේවා", "නන්දනී දුවගේ විවාහය සාර්ථක වේවා" ආදී වශයෙන් විවිධාකාර ප්‍රාර්ථනා බෝධි ශාඛාවල එල්ලා ඇති අයුරු දැකිය හැකිය. මේ ආකාරයේ මිථ්‍යා දෘෂ්ටීන් බෝධි ශාඛාවල එල්ලීම පාප කර්මයක්‌ බව ඒ බැතිමතුන්ට වටහාදීමට ඉදිරිපත් වන අය අද ඉතා විරලය. චතුරාර්ය සත්‍යය අවබාaධ කොට නිවන් මඟ සාක්‌ෂාත් කරගැනීමට බුදු රජාණන් වහන්සේට සෙවණ දුන් බෝධීන් වහන්සේ සිහිපත් කොට ඊට වන්දනාමාන කරන්නේ නම් කොතරම් අර්ථවත්ද? එසේ තිබියදී පඬුරු ගැටගැසීම්, විවිධ කොඩි බැනර් එල්ලීම් ආදී ක්‍රියාවන්ගෙන් බුදුරජාණන් වහන්සේට අගෞරවයක්‌ වන බව ඉහත ආකාරයේ බෝධි පූජා පවත්වන අයට නොවැටහීම අභාග්‍යයකි. තෙරුවන කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක්‌ කෙනකු තුළ පවතින්නේ නම් මෙබඳු ළාමක පිළිවෙත් කිරීමට පෙළඹෙන්නේ නැත.

විහාරස්‌ථානයන්ගෙන් බැහැරව ඇතැම් බොදුනුවන් විසින් සිදු කරනු ලබන මිථ්‍යා ඇදහිලිවලද දැකිය හැක්‌කේ පෙර කී පුද පූජාවලට වඩා ශෝචනීය තත්ත්වයකි. දුක්‌ තැවුලින් පිරි ජීවිතයට රැකවරණය පතා මිසදිටු වත් පිළිවෙත්වල පිහිට පතමින් ඒ මේ අත දුවමින් වෙහෙස වීම මිරිඟුවක්‌ පසුපස ලුහුබඳින වැන්න. නක්‌ෂත්‍ර ග්‍රහ අපල උපද්‍රව ඇතැයි කෙනකු කී පමණින් නීච කුල වශී බන්ධන ගුරුකම් ආදිය ගැන විශ්වාසය තබා එයට පිළියම් සෙවීම අඳුරේ අතපත ගෑමක්‌ වැනිය. එයින් දුගී ජනයා තව තවත් අගාධයට වැටෙනු විනා තම ජීවිත පරමාර්ථ සඵල කර ගැනීමේ මඟක්‌ කරා ගමන් කරනු දැක්‌ම උගහටය. කේන්ද්‍රයේ කොයි තරම් හොඳ කාලයක්‌ ලබා තිබුණද සුබ නැකැත් සුබ නිමිති බලා රාහු කාලය මඟහැර ගමනක්‌ පිටත් වී ගියද කෙනකුගේ ජීවිතයට ආරක්‌ෂාවක්‌ නොසැලසේ. ඉපදුණු නැකත බලා ජීවිතයේ හැම දෙයක්‌ම ආරම්භ කිරීමට අපි පුරුදු වී සිටිමු. නැකතට අකුරු කියා පාසල් යැම, නැකතට විවාහ ජීවිතයට පිවිසීම, ගෙවල් හැදීම නැකතකින් ආරම්භ කිරීම ආදිය කාලාන්තරයක්‌ මුළුල්ලේ අප ඇබ්බැහි වී සිටින චාරිත්‍රයන්ය. එහෙත් ධර්මයේ පිහිට නොලද ජීවිත සැමදා අඳුරේ බව අපට පසක්‌ කොටදී ඇති අවස්‌ථා කෙතෙක්‌ තිබේද?

අනවරාග්‍ර සංසාරයේ අඳුරේ ගැලී සිටි ලෝකයාට හිරු උදා වූයේ බුදුරජාණන් වහන්සේ නමක්‌ පහළ වීමෙන් පසුවය. මඟ බැස ගියද අනතුරක්‌ නොමැතිව නිර්භයව ගමන් කළ හැක්‌කේ ඒ හිරු පායා ආලෝකමත් වූ මඟක ගියහොත් පමණි. මහ මැදුරු, ගෙඋයන් විදුලි එළියෙන් ඒකාලෝක කොටගෙන බැබළුණත් දහමේ ආලෝකය ලබා නොමැති නම් එහි වෙසෙන ජීවිත සදා අඳුරේය.

අවුරුදු දෙදහස්‌ හයසියයක කාලයක්‌ මුළුල්ලේ බුදු දහමේ ආලෝකය ලද ආර්ය ශ්‍රාවක ජනකාය සුගතිගාමී වූ අයුරු හෙළි කෙරෙන අපමණ නිදසුන් ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථයන්ගෙන් මෙන්ම බෞද්ධ කතා සිරිත් සයුරින් හෙළිවෙයි. තෙරුවනේ අනන්ත බලය හේතු කොටගෙන ලැබෙන මඟඵල කවරේද යන්න අඬබෙර ගසා පළකළ හැක්‌කක්‌ නොවේ. "මම සෝවාන් ඵල ලබා ඇත්තෙමි. අනාගාමී වී ඇත්තෙමි" යෑයි තමන්ම හඳුන්වාගත් එකදු ආර්ය ශ්‍රාවකයකු ඒ සා දිගුකාලීන බෞද්ධ ශාසන වංශයෙන් හමු නොවේ. මඟ පල ලැබීම වූකලී පරම නික්‌ලේශී සිතක ඇති වන මහා ආධ්‍යාත්ම බලයකි. ඒ ආධ්‍යාත්ම බලය හෑල්ලුවට ලක්‌ කිරීම බුදු දහමට කරන මහත්ම අපහාසයකි.

බුදුරජාණන් වහන්සේට ගරහමින් උතුම් දහම් මඟට පිටුපා වෙනත් දෘෂ්ටීන්හි බැස ගැනීමෙන් සමාජයට අත්වූ ඉරණම ගැන අතීත අත්දැකීම් පසෙක ලා මෑත යුගයේ සිදුවීම් දෙස බැලීමෙන් වුවද වටහාගත හැකිය. ඇµaගනිස්‌ථානයේ බාමියන් බුදු පිළිම විනාශ කළ ත්‍රස්‌තවාදීන්ට හා ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි විහාරාරාම හා සෑමළු වැනසූ මිසදිටුවන්ට එම දුෂ්ට ක්‍රියාවන්හි විපාක විඳින්නට සිදුවිය. එසේම තෙරුවන්ට නොයෙක්‌ ලෙසින් නිග්‍රහ කරමින් දුගී දුප්පත් අසරණ ජනයා ලාභ ලෝභවලට පොළොඹවා මුළාකළ දේවදූතයන්ට අත්වූ ඉරණම ඉතා ප්‍රකටය. පින්වත් සෝම ස්‌වාමීන් වහන්සේ දැයට අහිමි කළේ ඔවුන්ය. ඔවුහු තවමත් එහි විපාක විඳිති. සියලු දෙව් මිනිසුන්ට, සතුන් පමණක්‌ නොව තුරුලිය, වන ළැහැබ්, ගංගා, සමුදුර සහිත මුළුමහත් ධරණී තලයටම අපරිමිත මෙත් සිත පතුරුවාලූ මහා කාරුණිකයාණන් වහන්සේට හා උන්වහන්සේ දෙසූ දහමටද ආර්ය සංඝයාටද ගරහන සමාජයක ආයුෂ කෙටිය. ඔවුන්ගේ මතු අත්බව ඒකාන්ත වශයෙන්ම අපායගාමී වන්නේය.

ආර්ය ශ්‍රාවකයා වශයෙන් හැඳින්විය හැක්‌කේ තිසරණය කෙරෙහි අවෙච්ච ප්‍රසාදය හෙවත් නොසැලෙන ශ්‍රද්ධාව ඇති සත්පුරුෂයාටය. ආර්ය ශ්‍රාවකයා හා පෘථග්ජනයා අතර වෙනස නොහඳුනන බෞද්ධ පිරිස්‌ කොතෙකුත් සිටිති. ගිහිව වෙසෙන හැමදෙනා පෘථග්ජනයන් ලෙස හඳුන්වන්නට අද සමහර යතිවරුන් පවා පුරුදුව සිටින බව පෙනී යයි. එහෙත් පෘථග්ජනයා යනු තෙරුවන කෙරෙහි ප්‍රසාදය නොදක්‌වන පාපකාමී ගතිගුණ ඇති තැනැත්තෙකි. ආර්ය ශ්‍රාවකයා එසේ නොවේ. තුනුරුවනේ සරණ මිස අන් සරණක්‌ ඔහුට නැත. මනා පැහැදීමකින් යුතුව ඔහු අවබෝධයෙන්ම තෙරුවන් ගුණ සිහි කරයි. ඔහු බිය තැති ගැන්මක්‌ හටගත් විට තෙරුවන සිහි කරයි. දුකක්‌, කරදරයක්‌ පැමිණි විට තෙරුවන් ගුණම මතකයට නංවයි. සතුටක්‌ එළැඹි විටදීත් එසේමය. බුදුරජාණන් වහන්සේ එක්‌ අවස්‌ථාවකදී ඡේතවනාරාමයේ වැඩ වාසය කරන කල්හි සංඝයා වහන්සේ අමතා දේශනා කළ ධජග්ග සූත්‍රයෙන් කියෑවෙන්නේ මේ පරම සත්‍යයයි.

"පින්වත් මහණෙනි, මහා වන ළැහැබක්‌ මැද හෝ ශූන්‍යාගාරයක හෝ වෙසෙන කල්හි මා ගැන සිහි කරන්න. එවිට ඔබට බියක්‌, තැතිගැන්මක්‌, ලොමු ඩැහැගැනීමක්‌ සිදු නොවන්නේය. ඉදින් මා ගැන සිහි නොකරන්නාහු නම් මා විසින් මැනවින් දේශනා කරන ලද නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මය සිහි කරන්න. එවිට බිය තැතිගැන්වීම්, ලොමු ඩහැගැනීම් සිදු නොවන්නේය. ධර්මය සිහි නොකරන්නාහු නම් ලාවට උතුම් පින්කෙත වූ ආර්ය මහා සඟරුවන සිහි කරන්න. මෙසේ තෙරුවන සිහි කරන්නාවූ ඔබට කිසිදු බියක්‌, තැති ගැනීමක්‌, ලොමු ඩැහැගැනීමක්‌ ඇති නොවන්නේය.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ලොව සියලුම විද්‍යාවන් අභිබවා පවතී. නූතන විද්‍යාව විසින් සොයා ගන්නා ලද කිසිවක්‌ ඒ අසලකටවත් ළං කළ නොහැකිය. කාන්දම්, ආකර්ෂණ ශක්‌තිය හා විද්යුත් බලය ඕනෑම වස්‌තුවකට කාවැද්දිය හැකි බව නවීන විද්‍යාව විසින් පසක්‌ කොටගෙන ඇති පරම නිෂ්ටාවකි. එහෙත් තෙරුවනේ බලය ඒ හැම ශක්‌තියකටම වඩා විස්‌මයජනකය.

අවබෝධයෙන් හා පැහැදීමෙන් යුතුව ධර්මය සිහිකිරීම් මාත්‍රයෙන් සියලු උපද්‍රව දුරුකළ හැකි බව ඉහත කී ධජග්ග සූත්‍රය උගන්වන උතුම් පාඩමයි. "සම්පත්ත මානය" හෙවත් උවදුරුවලින් විනිර්මුක්‌ත පවිත්‍රතාව ලැබිය හැක්‌කේ ධර්මය සිහි කිරීමෙන් පමණි. බුද්ධ ධර්මයේ ශක්‌තිය සියලු ලෝක විෂය ඉක්‌මවා යන අචින්ත්‍ය බලවේගයකි.

"ඛයං විරාගං අමතං පණීතං
යදජ්ජධගා සක්‍යමුනී සමාහිතො
නතේන ධම්මේන සමත්ථි කිඤ්චි"

සියලු කෙලෙස්‌ ප්‍රහීන කරන, වීතරාගී වූ අමා නිවන් මඟට යොමු වූ යම් දහමක්‌ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ද ඒ දහමට සමකළ හැකි කිසිදු විද්‍යාවක්‌ ලෝකයේ නැත්තේය.

එබඳු උතුම් දහම් මඟක පිළිසරණක්‌ අපේක්‌ෂා කරනු වෙනුවට මිථ්‍යාදෘෂ්ටීන් හි පිහිට සොයමින් ජීවන ගැටලුවලට පිළියම් සෙවීමට හා විපත් උපද්‍රවවලින් මිදීමට මං සොයා යැම අඳුරේ ගමන් කිරීමක්‌ වැන්න.

දයාපාල ජයනෙත්ති

mercoledì 21 dicembre 2011

භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගනිමු.

පි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගන්ට ඕනෑ. එතනින් ම තමයි අපි සංසාර ගමනෙන් නිදහස් වෙන්ට පටන් ගන්නෙ. ඒ අවබෝධය අදහා ගත්ත ගමන් එයා සද්ධානුසාරී කෙනෙක් බවට පත්වෙනව. අපිට අමාරු ඒක කරන්නයි. අපි කොහොම හරි වෑයම් කළොත් අපිට පුළුවන්කම තියෙයි සද්ධානුසාරී කෙනෙක් බවට පත්වෙන්ට. සද්ධාවන්ත කෙනා සසරින් නිදහස් වෙනවා. ඒ නිසා මේ ජීවිතයේ ම මහන්සිවෙලා හරි කමක් නෑ උත්සාහ කරන්න, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන චතුරාර්ය සත්‍යය ප‍්‍රකාශිත ධර්මයට පහදින්න. එයාට අවස්ථාව තියෙනව සංසාරෙන් නිදහස් වෙන්ට.


යම් කෙනෙක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයට පැහැදුනොත්,ඒ අවබෝධය කෙරෙහි ශ‍්‍රද්ධාව ඇතිවුනොත් එයා තුළ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ධර්මය අවබෝධ කරගන්ට, පුරුදු කරගන්ට කැමැත්ත උපදිනව. කැමැත්ත ඉපදුණ කෙනා, ඒ සඳහා වෑයම් කරනව. ඒ වෑයම් කරන කෙනාට, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් ද ප‍්‍රකාශ කළේ, ඒ දේ පිළිබඳව එයාට වැටහීමක් ඇතිවෙනව. එයාට වීරිය උපදිනව. එයා වීරියෙන් ඒ ධර්මය පුරුදු කරනවා. එයා ඒ ධර්මය අවබෝධ කරනව.
එහෙනම් අපි මහන්සිවෙලා කරගත යුතු දේ මොකක්ද? ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගැනීම. නුවණ තිබුණ නම්, අපි අපේ හැකියාව අතහැරල දාල, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන දේට එකඟ වෙනව, කැමති වෙනව. බොහෝ දෙනාට ඒක කරන්ට බෑ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන ගොඩකට බිය සැක උපදිනව. ඊට පස්සෙ එයා මතුපිටින් තමයි අත පත ගාන්ට කල්පනා කරන්නෙ. හරියට සැක සහිත දෙයක් අල්ලන්න වගේ. භයෙන් එයා අල්ලන්නෙ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගන්න දක්ෂ නැති නිසා.


අන්න ඒ භය සම්පූර්ණයෙන් නැතිවෙලා යන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය කෙරෙහි හොඳ විශ්වාසයක් ඇති කර ගන්ත කෙනාට. අන්න එයාට කිසි බයක් නෑ. ඉතා සුවපහසුවෙන් ධර්මය පුරුදු කරගන්නව. එනිසා ඔබ කිසිසේත් භය වෙන්ට එපා, මේ ධර්මය විශ්වාස කරන්න. මේක අදහා ගන්න. එයාට පුළුවන්කම ලැබෙනව සංසාර ගමන අවසන් කරන්න. භය නොවී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මය කෙරෙහි පැහැදීම ඇතිකර ගන්න. ඒ පැහැදීම ඇතිකර ගත්ත කෙනාගේ ඒ පැහැදීම ඇති වන්නේ තමන්ගෙ හිතේ. පැහැදීම තියෙන කෙනාගේ පැහැදීම තියෙන්නේ චිත්ත අභ්‍යන්තරයේ.


අන්න එයාට කරන්න කටයුතු තියෙනවා. දවසින් දවස, දවසින් දවස එයාගෙ කටයුතු සංවර බවට පත්වෙනව. වැඩක් නැති දේ අතහරිනව. ඒකෙන් තමයි තේරෙන්නෙ ආර්යය සත්‍යය කෙරෙහි තිබෙන පැහැදීම. අනවශ්‍ය දේ අතහරින්න පටන් ගන්නව. අනවශ්‍ය දේ මොනවද? කායික දුෂ්චරිතය, වාචසික දුෂචරිතය, මානසික දුෂ්චරිතය. හිස් දේවල් අත හරින්න පටන් ගන්නව. ඇයි එයාට බලවත් දෙයක් කරන්ට තියෙනව. ඒතමයි ආර්ය සත්‍යය අවබෝධ කිරීම. ඒ ධර්මය කෙරෙහි හොඳට පැහැදුණ කෙනාගේ ස්වභාවය තමයි ඉවසීම තියෙනව, සංවරකම තියෙනව, කීකරුයි, නිහතමානී. ඇයි එයාට බලවත් කටයුත්තක් කරන්ට තියෙනව. එයා ඉවසීමෙන් ධර්මය පුරුදුකරගෙන යනවා. එතකොට අනවශ්‍ය දේ බැහැර වෙලා යනව.
අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන පරම ගම්භීර ධර්මයට කැමති වුනොත්, පැහැදුණොත් අපිට මේ ජීවිතය, අතිශයින් ම දුර්ලභ වූ වාසනාවන්ත ජීවිතයක් බවට පත්කර ගන්ට පුළුවන් කම තියෙනව. ඒ නිසා ඒ ධර්මය කෙරෙහි පැහැදීම උපදවගන්ට උත්සාහ කරන්න.


ඒක පහුවෙලා කරන එකක් නෙවෙයි. පහුවෙන්ට පහුවෙන්ට එයා ප‍්‍රමාදයට වැටෙනවා. ඒ විදිහට නොමඟ යන්ට කලින් ධර්මය කෙරෙහි පැහැදීමක් උපදව ගන්න.එතකොට එයා සුමඟට එනවා. ඒක නොමඟ යන්න කලින් ඇති කරගත යුතු එකක්. පාර වැරදුනයින් පස්සෙ හරි මඟට එන එක නොවෙයි හපන්කම. වරදින්න කලින් හරි මාර්ගයට වැටෙන එක තමයි දක්ෂ කම. හරි මාර්ගයට වැටෙන්නෙ ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමෙන් මයි.


භාග්‍යවතුන් වහන්සේ විසින් නිර්භයව එක එල්ලේ ප‍්‍රකාශකරල තියෙන ස්වක්ඛාත ධර්මයට බයවෙන්න එපා. ධර්මය තුළ නිර්භයව ප‍්‍රකාශ කරනව ”මෙහෙම වුනොත්, මෙහෙම වෙනවා” කියල. මේ ධර්මය අදහා ගන්න කෙනා තුළ නිර්භය භාවය උපදිනවා කියන එකට තර්කයක් නෑ. ධර්මය තුළ නිර්භය ප‍්‍රකාශ තියෙනව. ඒ ප‍්‍රකාශය අදහා ගන්න කෙනා තුළ නිර්භය බවක් එනව. අදහා නොගන්න කෙනා තුළ භය උපදිනවා කියන එක ගැන කතා කරන්න දෙයක් නෑ. නිර්භය භාවය කියල කියන්නෙ කිය කියා යන එක නෙවෙයි. නිර්භය භාවය තුළ තියෙන්නෙ සංවර වීම. එයා සංවර වෙලා තම තමන්ගෙ කටයුතු පාඩුවෙ කරගන්නව. ඒ නිසා ඒ අමාරු කටයුත්ත කිරීම සඳහා භාග්‍ය උදාකරගන්ට නම්, භාග්‍යවතුන් වහන්සේ වදාල ධර්මය කෙරෙහි පැහැදීම ඇතිකර ගන්ට ඕනැ. යම් කෙනෙක් තුළ ඒ ස්වක්ඛාත ධර්මය කෙරෙහි අල්ප මාත‍්‍ර පැහැදීමක් ඇති වුණත් ඒක එයාට බොහෝ යහපත පිණිස පවතීවි. පූර්ණ වශයෙන් ඒ ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්න කල්පනා කරන්න, ශ‍්‍රද්ධාව උපදවා ගන්ට කල්පනා කරන්න. ඒ සඳහා මේ ජීවිතේම ගත වුනත් කමක් නෑ. අපි ඉක්මනින් ඒ ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්ට, ශ‍්‍රද්ධාව උපදව ගන්ට කටයුතු කරන්ට ඕනැ.


එනිසා අපි ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය අවබෝධ කරගැනීම පිණිස මුලින්ම මොකක්ද ඇති කරගත යුත්තේ ? භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි විශ්වාසය. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගන්න කෙනා තුළ කැමැත්ත උපදිනව. ඒ කැමැත්ත උපදින කෙනා තමයි වෑයම් කරන්නෙ. ‍ එයා සංවර වෙනව. එයාට වැඩක් නැති දේ හිත හිතා ඉන්න වෙලාවක් තියෙනවද? එයාට වැඩක් නැති දේ හොය හොයා ඉන්ට වෙලාවක් තියෙනවද? නෑ. එයාට වැඩක් නැති දේ කර කරා ඉන්ට වෙලාවක් තියෙනවද? නෑ. එයා තුළ අර්ථවත් දෙයක් කරන්ට කැමැත්ත තියෙනව. එයා ඒ අර්ථවත් දේ ඉටුකර ගැනීම පිණිස ඒ කැමැත්ත මුල් කරගෙන වෑයම් කරනව. ඒක නේද සංවරවෙන රටාව? අර්ථ රහිත දේ තමයි කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය. ඒවා අර්ථ රහිතයි. දැන් එයාට අර්ථවත් දෙයක් කරන්ට වුවමනාව තියෙනව. අර්ථවත් දෙයක් කරන්ට වුවමනාව තියෙන නිසා අර්ථ රහිත දේ අතහරිනව. එතකොට එයා තුළ ශාන්ත බව තියෙනවද? නැද්ද? එයාට විශාල කැමැත්තක් තියෙනව මහත් වූ අර්ථයක් අත්කර ගන්ට. ඒ නිසා එයා තුල නිහඬ බව හට ගන්නව. ඒක ධර්මතාවයක්. එයා තුළ ශාන්ත බව හටගන්නව. එයා තුළ අලසකම කම්මැලිකම තියෙයිද? නෑ. අලසකම කම්මැලිකම නෑ. එයා තුල බලවත් දෙයක් කරන්ට කැමැත්ත තියෙනව. ඒකටයි එයා වෑයම් කරන්නෙ.


එයා සජීවී කෙනෙක් බවට පත්වෙනවා. එයා තුළ කැමැත්තක් තියෙනව “ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය මම පුරුදු කරගන්ට ඕනෑ, අවබෝධ කරගන්ට ඕනෑ” කියල. ඒ කැමැත්ත මුල්වෙලා වෑයම් කරනව. එතකොට තව කෙනෙකුගේ බලපෑමක් තුළද එයා වෑයම් කරන්නෙ? නෑ. එයා තුළ උපන් කැමැත්තක් තියෙනව. ඒ කැමැත්ත මුල්වෙලයි එයා වෑයම් කරන්නෙ. එතකොට ඒ කැමැත්ත මුල්වෙලා එයා වෑයම් කරන කොට, කොහොමද එයා කටයුතු කරන්නෙ? කළ්‍යාණ මිත‍්‍ර ඇසුරේ, අවවාද ඇසුරු කරගනිමින්, එයා කීකරුව පුරුදුවෙනව. ඒක තමයි ක‍්‍රමය.


එහෙනම් මුලින් ම මොකක්ද අපි කරන්ට ඕනෑ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම. අදහා ගත්ත කෙනා බලවත් සේ කැමති වෙනවා, ”මමත් ඒ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්ට ඕනෑ” කියල. ඊටපස්සෙ එයා ඒක කියාගෙන යනවද? ඒක කියාගෙන යන්නෙ නෑ. ඇයි? එයාගේ අභ්‍යන්තරයේ හටගත්ත අදහසක් ඒක. මතුපිට හටගත්තොත්, ඒක ලොකූ ජලාශයක වතුර උඩට වැටිච්ච සැහැල්ලු දෙයක් වගෙයි. වතුර උඩට වැටිච්ච වටිනාකමක් නැති දෙයක් නිකන් පා වෙවී තියෙනව. අන්න ඒ වගේ තමයි සිතේ බැස ගත්තෙ නැති අදහස. කයිවාරු විදිහට එළියට එනව. අදහස බැසගත්ත නම්, ඒ අදහස ඉටුවෙන තෙක් ඒක එළියට එන්නෙ නෑ .


එනිසා මේ ධර්මය අදහාගන්න. ඒකට බය වෙන්ට එපා. ධර්මය අදහා ගන්ට බය වුණොත්, එයා අවබෝධ කරන්නෙ කොහොමද? අදහා ගත්ත පමණින් එයා තුළ බය නැති වෙනව. ඊට පස්සෙ එයා සජීවී මනුෂ්‍යයෙක්. ධර්මය හරියට අදහ ගත්ත කෙනා තුළ ”මමත් ඒ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්ට ඕනෑ” කියල බලවත් කැමැත්තක් සිත අභ්‍යන්තරයේ කිඳා බැහැල තියෙනව.ඒක හරියට මහා ජල තටාකයකට බර දෙයක් වැටුණොත්, හොඳ මැණිකක් වැටුණොත්, ඒ මැණික පාවෙන්නෙ නෑ.ජල තටාකයකය ඇතුලටම කිඳා බැහිනව.අන්න ඒ වගේ තමයි එයාගෙ අදහස.නමුත් ඍජිෆෝම් කෑල්ලක් වැටුණොත්, ඒ දිය පොකුණ කොච්චර ගැඹුරු වුණත් පොඞ්ඩක්වත් ඒක ඇතුළට යන්නෙ නෑ. උඩ ම තියෙනව.


සිතේ අභ්‍යන්තරයේ බැස ගත්ත දේ කාටත් පේන්නෙ නෑ. ගැඹුරෙ තියෙනව ඒක. අන්න එයා ප‍්‍රායෝගිකව ධර්මය පුරුදු කරනව. එයා සජීවි. එයාට කරන්ට දෙයක් තියෙනව. ඇයි තමන් බැසගත්ත අදහසක ඉන්නව. ඒ අදහස ඉටු කරන්ට කැමැත්ත මුල්වෙලා එයා වෑයම් කරනව. එයා වෑයම් කරන කොට එයා කල්පනා කරනවා කොහොමද කරන්නේ? කියල. එයා ඒ සඳහා කළ්‍යාණ මිත‍්‍ර ඇසුර, සද්ධර්ම ශ‍්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව, මේ අංග පුරුදු කරනව. ඉතින් අපි සියලූ දෙනාට ම ආශිර්වාද කරනව, ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම පිණිස භාග්‍ය උදාවේවා කියල.


නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි

‘දිවයින බුදු මඟ’ ධර්ම සංග්‍රහයෙහි පළ වූ ලිපියක් ඇසුරෙනි.

අරහං ගුණය

 පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි


ඒ බුදු පියාණෝ මහා කරුණා සමාපත්ති අසාධාරණ ඥානයෙන් ද යුක්ත වූ සේක. උන් වහන්සේ විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයකට උඩදී බුද්ධත්වය පැතුවේ, ‘මම බුදු වී අසරණ සත්ත්වයා සසර දුකින් ගලවමි’ යි යන මහත් කරුණාවෙනි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට උඩදී නියත විවරණ ලැබූ දා සිට, උන් වහන්සේ තමන් වහන්සේගේ ඇස් ගලවා දෙමින්, ලේ දන් දෙමින්, මස් දන්දෙමින්, හිස් දන් දෙමින්, දස පාරමී පුරන ලද්දේ, ‘මම බුදු වී අසරණ සත්ත්වයා සසර දුකින් ගලවමි’ යි යන මහත් වූ කරුණාවක් ඇති ව ය.
අනුන් සුවපත් කිරීම සඳහා තමන්ගේ ඇස් ගලවා දීමට, මස් ලබාදීමට, හිස් කපා දීමට කොතරම් නම් කරුණාවක් තිබිය යුතු ද? විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ ක්‍රමයෙන් වඩමින් ආ මහා කරුණාවකින් ඒ බුදුරජාණෝ සමන්නාගත වූ සේක.
උන් වහන්සේගේ කරුණාව නොයෙක් ආකාරයෙන් පහළ වන්නේ ය. අසරණ ලෝක සත්ත්වයා නිතර ම ප්‍රේත ලෝකවලට වැටී, තිරිසන් ලෝකවලට වැටී, අපායවලට වැටී අනන්ත දුක් විඳිනා අයුරු දක්නා බුදු පියාණන් වහන්සේට, ‘මේ අසරණ සත්ත්වයාට අනේ කාගේ පිහිටක් දැ?’ යි මහත් වූ කරුණවක් පහළ වන්නේ ය.


මෙසේ ම ජාති දුකින් පෙළෙන සත්ත්වයා දකින විට, සිය දහස් ගණන්රෝගවලින් ලෙඩ වී කෙඳිරිගාමින් දහදුක් විඳිනා අසරණ සත්ත්වයා දකිනා විට, මහලු වී, ජරා වී, අතපය පවා වලංගු නැති ව, කිසි පිළිසරණක් නැති ව, ඉතා දුක සේ ජරාවෙන් පීඩිත ව ඉන්නා සත්ත්වයා දකිනා විට, මරණයට පත් වෙමින් විඳිනා අනන්ත දුක් දකිනා විට, නොයෙක් හේතු නිසා හඬමින්, වැලපෙමින්, බිම පෙරළෙමින්, ශෝක කරමින් තැවෙන්නා වූ සත්ත්වයා දකිනා විට, ශරීරයේ ඇති වන නොයෙක් පීඩාවලින් සත්ත්වයා නිරන්තරයෙන් පෙළෙමින් දුක්විඳිනා හැටි දකිනා විට, ‘අනේ! මේ සත්ත්වයාට කාගේ පිහිටක් දැ?’ යි සිතනා බුදුරදුන්ට ඇති වන කරුණාව අතිමහත් ය.


මෙසේ ම ආශාවට යට වී, ලෝභයෙන් මැඩී, හිස ගිනි ගත්තා සේ සත්ත්වයා මහා දුක් විඳිනා හැටි දකිනා විට, මෝඩකම නිසා සංසාරයේ අනන්ත දුක් නැවත නැවත විඳිමින් එන සත්ත්වයා දකිනා විට කිසිවකුගේ පිහිටක් නැති අසරණ සත්ත්වයා දකිනා විට, අනාථ වූ සත්ත්වයා දකිනා විට, කෙලෙස් ගිනිවලින් පිච්චිපිච්චී සිටිනා සත්ත්වයා දකිනා විට, අඬදබර කලකෝලාහල හැලහැප්පිලි ගැටිලි යුද්ධ සොරුන් සතුරන් ආදිය නිසා ගිනි ජාලාවක් මැද සත්ත්වයා දඟලන හැටි දකිනා විට, මහත් වූ ආශාවෙන් උපයාගත් සියලු දේපොළ ඉඩකඩම් මිලමුදල් දූදරුවන් ආදි සියලු දේ ම සත්ත්වයාට මරණයෙන් අත්හැරදා යන්න සිදු වන හැටි දකිනා විට, ‘මේ සත්ත්වයා දුකින් ගැලවීමට මා හැර අන් කවරෙක් ඇත් දැ?’ යි සිතනා ඒ බුදු පියාණන්ට ඇති වන කරුණාව අතිමහත් ය.
එසේ ම කිසි ම නිදහසක් නැති ව හිස ගිනි ගත්තා සේ නිතර වැඩෙහි නිරත වූ සත්ත්වයා දකිනා විට, සැපක් ලබන්න ය කියා පංචකාමයෙහි එරී මහා දුක් විඳිනා මෝඩ සත්ත්වයා දකිනා විට, මේ සත්ත්වයා සසර දුකින් ගොඩගන්න සනසවාලන්න අස්වසාලන්න කෙනකු නොමැතිකම නිසා දහදුකෙහි ම එරී දුක්විඳිනා සත්ත්වයා දකිනා විට, කිසි දිනෙක ඇති වීමක් නොමැති ව ‘තවතවත් මදි මදි’ යන හැඟීමෙන් පීඩා විඳින සත්ත්වයා දකිනා විට, කිසිවකුගේ පිහිටක් නැති ව, ආරක්ෂාවක් නැති ව, අසරණ ව, මහා අවුල් ජාලාවක් මැද පැටලී දහදුක් විඳිමින් සුසුම් හූල්ලන සත්ත්වයා දකිනා විට ඒ බුදුරදුන්ට ‘මේ සත්ත්වයාට මා කෙසේ නම් පිහිට වන්නේ දැ?’ යි මහත් වූ කරුණාවක් ඇති වන්නේ ය.


මෙසේ ම තණ්හා ගින්නෙන් සත්ත්වයා දැවෙන පිච්චෙන ආකාරය දකිනා විට, දෝෂ ගින්නෙන් ගිනි ගත් සත්ත්වයා දකිනා විට, මෝහ ගින්නෙන් සසර ගිනි ඇවිළගත් සත්ත්වයා ගැලවීමට නොහැකි ව ඒ ගිනි මැද මම සසරේ නැවත නැවත දුක් විඳිනා අයුරු දකිනා විට, රාග දෝෂ මෝහ ආදි මහා උගුල්වලට බන්ධනවලට ගැලවිය නොහැකි සේ අසු වී එහි ම දඟලමින් දහදුක් විඳිනා හැටි දකිනා විට, මහා ප්‍රපාතයකට වැටුණාක් මෙන්, මහා ගිනි උඳුනක් මතට වැටුණාක් මෙන්, මහා මඩ ගොහොරුවක එරුණාක් මෙන් සසරින් ගොඩ ඒමට නොහැකි ව එහි ම දඟලදඟලා තවතවත් දුකින් දුකට ම පත් වන සත්ත්වයා දකිනා විට, ‘මේ සත්ත්වයා කවරදා කෙසේ නම් සසර දුකින් ගැලවේ දැ?’ යි සිතනා ඒ බුදුපියාණන්ට ඇති වන කරුණාව වචනයෙන් කියා නිම කළ නොහැකි ය.
තව ද, මහා වදහිංසාවලින් මහත් වූ පීඩා විඳිනා සත්ත්වයා දකිනා විට, සසර දුක් නිවාදමන නිවන් මග තිබියදී අපා ගිනි මැදට යන මාවතේ පියවර ඔසවන සත්ත්වයා දකිනා විට, අලාභ අයස නින්දා දුක් ආදි ලෝකධර්මයන්ට යට වී පීඩිත ව සිටිනා සත්ත්වයා දකිනා විට, මානයෙන් ඉදිමී දුක් විඳිනා සත්ත්වයා දකිනා විට, වාදවිවාදවලට පැටලිපැටලී සත්ත්වයා දුක් විඳිනා අයුරු දකිනා විට, අකුශල කර්ම කරමින් තව තවත් දුක්ම උපදවාගන්නා සත්ත්වයා දකිනා විට, මේ ආදි සිය දහස් ආකාරයෙන් සත්ත්වයා දෙස බලනා විට ‘මා හැර මේ සත්ත්වයා සසර දුකින් ගැලවීමට අන් කවරෙක් වේ දැ?’ යි දකිනා ඒ සම්මා සම්බුද්ධ රත්නයට ඇති වන කරුණාව කෙසේ නම් කියා නිම කරමු ද?


මුළු ලෝකයේ ම සිටිනා සියලු සත්ත්වයන්ගේ ම කරුණාව එක්තැන් වුවත්, එය ඒ බුදුරදුන්ගේ කරුණාවෙන් ලක්ෂයෙන් එකකුදු නොවන්නේ ය; කෝටියෙන් එකකුදු නොවන්නේ ය. ඒ බුදුපියාණන්ගේ කරුණාව මහපොළොව නම් සියලු සත්ත්වයන්ගේ ම කරුණාව වැලි කැටයක් බඳු ය.


ඒ බුදු රජාණෝ උදය හා සවස දොළොස් කෝටි ලක්ෂ වාරය බැගින් සූවිසි කෝටි ලක්ෂ වාරයක් දිනකට මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝක සත්ත්වයා දෙස බලා අනන්ත අප්‍රමාණ සත්ත්වයාට සසර දුක් නිවාලීමට පිහිට වන සේක. එසේ සසර දුකින් මුදාගත් සත්ත්වයා කොපමණ දැ යි ගණනකින් දැක්වීමට නොහැකි ය. අසංඛ්‍යය බැගින් ම නිවනට පැමිණ වූ සත්ත්වයෝ සූවිසි අසංඛ්‍යයක් වූ හ. සියදහස, දසදහස, ලක්ෂය, කෝටිය, ප්‍රකෝටිය ආදි වශයෙන් එක වර නිවන් දැක්වූ අවස්ථා ද ගණන් නැත. මෙවැනි මහා කරුණාවකින් තෙත් වූ හදවතක් ඇති ඒ බුදු පියාණෝ මහා කරුණා සමාපත්ති අසාධාරණ ඥානයෙන් ද සමන්නාගත වූ සේක.
තව ද දත යුතු යම් තාක් දේ ඇත් ද, ඒ සියල්ල ම දන්නා සර්වඥතා ඥානය ද බුදුරදුන්ගේ අසාධාරණ ඥානයකි. උන් වහන්සේගේ සර්වඥතාඥානයට නොපෙනෙන කිසිවක් නැත. එම ඥානයෙන් නොදත හැකි කිසිවක් නැත. මේ ලෝකධාතුවල යම් තාක් දෙවියන්, බ්‍රහ්මයන්, මාරයන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් මනුෂ්‍යයන් ආදි සත්ත්වයන් දන්නා යම් තාක් දේ ඇත් ද, ඒ සියලු දේ බුදු පියාණෝ දන්නා සේක. දත යුතු සියලු දේ සෑම ආකාරයකින් ම උන් වහන්සේට පෙනෙන්නේ ය. මේ ලෝකාර්ථයෙන්, පරලෝකාර්ථයෙන්, මෙලෝ පරලෝ උභයාර්ථයෙන්, යමකුª මතුපිටින් පෙනෙනාර්ථයෙන්, ගම්භීරාර්ථයෙන්, නොවැසුණු අර්ථයෙන්, වැසුණු අර්ථයෙන්, වැරැදි සහිත අර්ථයෙන්, නිවැරැදි අර්ථයෙන් මේ ආදි නොයෙක් අයුරින් උන් වහන්සේ සියලු දේ ම දන්නා සේක.


අපට ගිය ආත්මයක දෙයක් දැනගැනීමට අපහසු ය. සමහර විට වසරකට දෙකකට උඩදී සිදු වූ දෙයක් වුව සිහිපත් කළ නොහැකි ය. උන් වහන්සේට කල්ප අසංඛ්‍ය ගණන් ඈත සිදු වූ දෙයක් වුව ද, මේ දැන් සිදු වන දෙයක් සෙයින් ඉතා හොඳින් පෙනේ. අතීතය ඇත්තේ යම් තාක් ද ඒ තාක් දුරට සිදු වූ සියල්ල ඒ සර්වඥතාඥානයෙන් බැලිය හැකි ය. අතීතයේ කෙළවරක් නැත. එබැවින් ඒ සර්වඥතා ඥානයේ ද කෙළවරක් නිමාවක් අන්තයක් නැත.


අපට හෙට සිදු වන දෙයක් වුව ද නිවැරැදි ව කිව නොහැකි ය. උන් වහන්සේට අනාගතයේ කොයිතරම් ඉදිරියට වුවත්, කල්ප අසංඛ්‍ය ගණන් ඉදිරියේදී සිදු වන දෙයක් වුවත් මේ දැන් සිදු වන දෙයක් සෙයින් ඉතා හොඳින් පෙනේ. අනාගතයේ කෙළවරක් නැත. එබැවින් සර්වඥතා ඥානයේ ද කෙළවරක් නැත; අනන්ත ය.
මෙවන් ගැඹුරු ප්‍රඥා සාගරයක් බඳු ඒ බුදු රජාණෝ සියලු පුදපූජා ලැබීමට සුදුසු වන සේක. එසේ හෙයින් ම අරහත් නම් ද වන සේක.

venerdì 16 dicembre 2011

මේ සසර දනව්වේ අප අසරණ වුණේ ඇයි?

අපි මේ වන විට අනිවාර්යෙන්ම දැනගත යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි මේ භයානක සංසාර ගමන.එතකොට ඒකේ ඉමක් කොනක් පේන්නේ නැහැ.මේ ගැන අපට දේශනා කොට වදාළේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ.ඇත්තටම ඔබ බුද්ධිමත් කෙනෙක් නම් උන්වහන්සේගේ අවබෝධය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.උන්වහන්සේ අප නොදන්නා බොහෝ දේවල් අපගේ යහපත පිණිස දේශනා කොට වදාළ.සංසාරයේදී එක් පුද්ගලයෙක් හරකෙක්,ඌරෙක්, එළුවෙක්, බැටළුවෙක්, කුකුළෙක් ආදී සත්වයෙක් වෙලා ඉපදිලා බෙල්ල කැපිල ගලාගෙන ගිය රුධිරය මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩියි කියල උන්වහන්සේ පෙන්වා දුන්නා.මේවා යමෙක් බුද්ධිමත් ලෙස ශ්‍රවණය කළොත් අනිවාර්යයෙන්ම මේ සංසාරයේ දිගට දිගට යෑමට භය වෙනවා.තැති ගන්නවා සංසාරයට කැමති නම් වෙන්නේ නැහැ.ආයෙමත් උපදින්න නම් කැමති වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ උතුම් අනුශාසනාව පිළි අරගෙන ඒ අනුශාසනාව පිළිපැදලා සංසාර ගමන නවතා දමනවා. දැනට තමාට තිබෙන සිරුර තමා ලබා ගන්නා අන්තිම ශරීරය බවට පත් කර ගන්නවා. ඒ කියන්නේ සියළු කෙලෙස් ප්‍රහීන කරලා උතුම් අරහත් තත්වයට පැමිණ වාසය කරනවා.
මේ පිළිබඳව සාකච්ඡා කරනකොට අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතු කරුණු රාශියක් අප තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට සූත්‍ර දේශනා ගණනාවකදී දේශනා කළා.අද අපි මේ පින්වතුන්ට කියා දීමට කල්පනා කළේ අංගුත්තර නිකායේ ද්විතීය භාගයේ චතුක්ක නිපාතයේ භණ්ඩගාම වර්ගයේ පළමුවැනි සූත්‍රය. ඒ සූත්‍රයේ නම අනුබද්ධ සූත්‍රයයි. ඒ කාලයේ උන්වහන්සේ වැඩ සිටියේ වජ්ජි රට භණ්ඩ ගාමයේ. පින්වත් භික්ෂූන් වහන්සේලාට උන්වහන්සේ මේ කරුණ දේශනා කළා.
"චතුන්නං භික්ඛවේ ධම්මානං අනනුබෝධා අප්පටිවේධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්ගච්ම තුම්හාකඤ්ච කනමේසං චතුන්නං"

පින්වත් මහණෙනි, කරුණු හතරක් අවබෝධ නොකිරීම නිසා පසක් කර නොගැනීම නිසා ඔබත් මමත් මේ සංසාරයේ මෙසේ දීර්ඝ කාලයක් භවයෙන් භවයට ගමන් කළා. ඇවිද්දා.මොනවද ඒ කරුණු හතර කියලා ඊළඟට උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කළා.

පළමුවනි කාරණය තමයි ආර්යකන්ත වූ සීලය අවබෝධ නොකිරීම. ප්‍රත්‍යක්ෂ නොකිරීම.අපි සිල් ගන්නවා කිව්වට ඒ උතුම් සීලය ඉතා ප්‍රවේශමෙන් ආරක්ෂා කරන්නේ නැත්නම් සංසාර ගමන නවත්වන්න බැහැ.අපි දැනුත් සිල් ගන්නවා. සිල් සමාදන් වෙනවා.හැබයි ඒ සීලය ආර්යකාන්ත සීලයක් බවට පත්කර ගන්නේ නැහැ.දැන් මේ කාරණය පිළිබඳව අපි හොඳින් විමසා බලන්න ඕන. මේ සීලය කියන දේ හරියට පුරා ගන්න බැරි වුණු නිසා තමයි අපි තවමත් සංසාරයේ ඇවිදින්නේ. අපි සංසාරයේදී සිල් රැකලා තිබෙනවා. ඒ වුණාට ඒ සීලය ආර්යකාන්ත සීලයක් වෙලා නෑ. උසස් උතුම් සීලයක් වෙලා නැහැ.ඒ නිසා නේද අපිට තාම නිවන් අවබෝධ කර ගන්න බැරි වුනේ බලන්න ඔබ බුද්ධිමත්ව කල්පනා කරලා ඇත්ත නොවේද කියලා? එතකොට බුදු රජාණන් වහන්සේගේ මහා ප්‍රඥාවට හසුවුණා යමෙක් සීලය උත්තරීතර තත්වයට දියූණු කර ගත්තේ නැත්නම් මේ සංසාරයෙන් නිදහස් බැරි බව.

මොකක්ද මේ සීලය කියන්නේ. කයයි,වචනයයි සංවර කර ගැනීම. ඒ කියන්නේ කයෙන් කෙරෙන වැරදි වලින් සහ වචනයෙන් කෙරෙන වැරදි වලින් වෙන්වීම. එතකොට ඔබ බලන්න ඔබගේ ජීවිතය දිහා. අනුන්ගේ සිල් බැලුවට වැඩක් නැහැ. තමන්ගේ සීලය ගැනයි බලන්න ඕන. හැබයි අනික් අයට සීලයෙන් උපකාර කරන්න පුළුවන්. කෙනෙකුට කළ්‍යාණ මිත්‍රයෙක් හැටියට සිල්වත්ව ඉන්න උපකාර කරන්න පුළුවන්. ඔබට මේ ජීවිතයේදී සසරින් එතෙර වීමට අවශ්‍ය නම් ඔබ සිල් රකින්න ඕන ඒ අරමුණෙන්මයි. කාටවත් පේන්න නොවෙයි. ඒ භග්‍යවතුන් වහන්සේගේ උතුම් බුද්ධ වචනයට ගරු කර. ඒ වචනය අදහගෙනමයි සිල් රකින්න ඕන. යම් කෙනෙක් ආර්යකාන්ත සීලයක, ඒ කියන්නේ සිදුරු නැති සීලයක පිහිටියොත් ඒ උතුම් ශ්‍රාවකයාට මේ ජීවිතයේදීම සසර ගමන නතර කරන්න පුළුවන්.කියන එක පැහැදිලියි, ස්ථාවර පරම සත්‍යක්. එතකොට ආර්ය සීලයක පිහිටි කෙනා ඉතා ප්‍රවේශමෙන් සිල්පද ආරක්ෂා කර ගන්නවා.

කිසිම සතෙක් මරන්නේ නැහැ. අල්ප වූ හොරකමක් කරන්නේ නැහැ. කිසිම වැරදි කාම සේවනයක යෙදෙන්නේ නැහැ. ඕන තරම් අවස්ථා තිබෙන්න පුළුවන්.ඕන තරම් පුද්ගලයන් ඒවාට අනුබල දෙන්න පුළුවන්.හැබයි මෙයා ඒ ලාමක දේවල් වලට කැමති වෙන්නේ නැහැ. මොකද ඒ ලාමක තාවකලික සැපයන් අත්හැරියම මෙයාට සදාකාලික සැපය ලැබෙනවා.ඊළඟට මෙයාට කොච්චර අවස්ථා ආවත් බොරු කියන්නේ නැහැ.එයා වචන රැක ගන්නවා.කේලම් බස් කියන්නේ නැහැ. නපුරු වචන කියන්නේ නැහැ. වැඩකට නැති හිස් වචන කියන්නේ නැහැ. ඔය විදිහට තමා රකින සීලය ඉතාම උසස් අන්දමින්, කැඩෙන්නට නොදී සිදුරු රහිතව රැක ගන්නවා.

ජීවිතය පරදුවට තියලා හරි සීලය ආරක්ෂා කර ගන්නවා. කන්න නැතිව බැරි වුණත් හොරකම් කරන්නේ නැහැ.එයා සිල්වත්ව ඉදගෙන හිඟාකනවා. මොකද කන බොන එක නෙවෙයි ප්‍රශ්නය. නැවත නැවත ඉපදෙන,ලෙඩවෙන, වයසට, ජරාවට පත්වෙන මැරෙන ලෝකයෙන් නිදහස් වෙන එක තමයි අපිට තිබෙන දෑවැන්තම ප්‍රශ්නය.ඒ නිස මේ අපිට ලැබී තිබෙන උදාරම අවස්ථාව ආර්ය වූ සීලය දියුණු කරන්න. අපි උත්සහ කරන්න ඕන මේ ජීවිතයේදී ඒ ආර්ය සීලය දියුණු කරන්න.
ඊළඟට පින්වතිනි, අප තථාගතයන් වහන්සේ දේශනා කරනවා අප මේ තාක් සංසාරයේ දිව්වේ, ඇවිද්දේ තවත් එක් කරුණක් නිසා කියල. ඒ තමයි අප විසින් ආර්ය වූ සමාධිය අවබෝධ කර නොගත් නිසා. ප්‍රත්‍යක්ෂ කර ගත්තේ නැති නිසා මොකක්ද මේ ආර්ය වූ සමාධිය කියන්නේ. ඒ තමයි සම්මා සමාධිය. ආර්ය වූ සීලයක පිහිටියාට පස්සේ අපිට ආර්ය වූ උතුම් සමාධිය ඇති කර ගන්න පුළුවන්. දැන් ඔබ බුද්ධිමත්ව මොහොතකට කල්පනා කර බලන්න ඔබ ආර්ය වූ සමාධියක් ඇති කර ගන්න මහන්සි වෙනවද කියලා.සමහරු අඩුම තරමින් ඒ සමාධිය ඇති කරගන්න උපකාරිවන සමථ - විදර්ශනා වඩන්නවත් ඒ කියන්නේ සුළුවෙන් වත් භාවනා කරන්න කල්පනා කරල නැහැ.එතකොට මේ සංසාරේ අපි තාම දුවන්නේ ඒ නිසා නේද?එහෙම නම් අපි පිරිසිදු සීලයක, ආර්ය සීලයක පිහිටා භාවනා වඩනකොට අපට ආර්ය වූ සමාධිය ඇති කරගන්න පුළුවන්.ආර්ය වූ සමාධිය නැතිව අපිට ආර්ය වූ ප්‍රඥාව පහළ කර ගන්න බැහැ.අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ඊළඟට වදාරන්නේ ඒ කාරණාව.

ඒ කියන්නේ මේ තාක් කල් උන්වහන්සේත් ශ්‍රාවක භික්ෂූ සංඝයාත් සසරේ දිව්වේ, අවිද්දේ ඒ උතුම් ප්‍රඥාව අවබෝධ කර ගත්තේ නැති නිසා.මොකක්ද මේ උතුම් ප්‍රඥාව. ඒ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය.දුක,දුකඇතිවීමට හේතුව,දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගයයි.එතකොට අපිට තවමත් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධවී නැති නිසා නේද මේ සසර ගමනනැවතිලා නැත්තේ. එහෙම නම් අපි පුදුම විදිහට වෑයම් කරන්න ඕන ඒ ආර්ය ප්‍රඥාව ඇති කරගන්න.

ඊළඟට පින්වතුනි, උන්වහන්සේ දේශනා කරනවා සංසාරයේ දිවීමට, ඇවිදීමට සිදුවුණේ ආර්ය වූ විමුක්තිය අවබෝධ නොවීම නිසා කියලා. එතකොට සියලු කෙලෙසුන්ගෙන් නිදහස්වීම තමයි ආර්ය වූ විමුක්තිය කියලා කියන්නේ තමන් සියලු දුකින් නිදහස් වුණා ආර්ය අවබෝධයට පත්නොවුණ නිසා වෙනත් වචන වලින් ඒ උතුම් විමුක්තිය සාක්ෂාත් නොවුණ නිසා තමයි මේ සා දීර්ඝ කාලයක් සංසාරයේ දිගට දුවන්න සිදු වුනේ. ඇවිදින්න සිදුවුණේ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන ඒ ආර්ය වූ විමුක්තිය මේ ජීවිතයේදීම පසක් කර ගන්න.

ඉන් පසුව පින්වතුනි, බුදුරජානන් වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේ ඒ ආර්ය වූ සීලයත්, ආර්ය වූ සමාධියත්, ආර්ය වූ ප්‍රඥාවත්, ආර්ය වූ විමුක්තියත් අවබෝධ කර ගත්තා කියලා.ඒ වගේම ප්‍රත්‍යක්ෂ කර ගත්තා කියලා. ඉතින් උන්වහන්සේ භව තෘෂ්නාව සිඳ දමා නැවත උත්පත්තියකට පත් නොවන බව දේශනා කොට වදාළා. ඒ නිසා අපත් මේ ජීවිතයේදීම ඒ උතුම් කරුණු හතර අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන මේ ඝෝර වූ සසර ගමන නවතා දමමු.
පූජ්‍යපාද පොල්පිටිමුකලානේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ

mercoledì 14 dicembre 2011

බැඳීයන දෙයෙහි ආදීනව තේරුම් ගනිමු…


සාමාන්‍ය මනුෂ්‍යයා පි‍්‍රය මනාප දේවල් සුභ විදිහට බල බලා ආශ්වාදයට අනුව කල්පනා කර කර වාසය කරනවා. ඇස ගැන වේවා, ඇසට පේන රූපය ගැන වේවා, කණ ගැන වේවා, කණට ඇහෙන ශබ්ද ගැන වේවා, නාසය ගැන වේවා, නාසයට දැනෙන ගඳ සුවඳ ගැන වේවා, දිව ගැන වේවා, දිවට දැනෙන රස ගැන වේවා, කය ගැන වේවා, කයට දැනෙන පහස ගැන වේවා, සිත ගැන වේවා, සිතට දැනෙන අරමුණු ගැන වේවා ආශ්වාදයට අනුව කල්පනා කර කර හිටියොත් මොකද වෙන්නේ? ආශ්වාදයට අනුව ඒවයේ තියන සැප පැත්ත ගැන හිත හිතා හිටියොත් ආශාව උපදිනවා. ආශාව ඇතිවුනාට පස්සේ මොකද වෙන්නේ? බැඳිල යනවා. බැඳිල ගිය කෙනාට දුක් විපාක විදින්ට සිද්ද වෙනවා.
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා යම් දෙයක් පිළිබදව ආශ්වාදයට අනුව කල්පනා කරපුවාම ආශාව උපදිනවා. ආශාව ඉපදුනාට පස්සේ ඒකට සිත බැඳිල යනවා. බැඳිල ගියාට පස්සේ දුක් විපාක විදින්ට සිද්ධ වෙනවා කියල. හොඳට බලන්න අපි යම් දුක් පීඩාවක් වින්ඳ නම් ඒ දුක් පීඩාව කුමක් නිසා හට ගත්තාද කියල. බැඳිල ගිය නිසාමයි සියලූ දුක් පීඩා හටගන්නෙ. ඇයි බැඳිල ගියෙ කියල හිතල බලන්න. ආශාව ඉපදුනා. ඇයි ආශාව ඉපදුනේ කියල බලන්න. ඒ බැඳිල ගිය දේ ගැන ආශ්වාදයට අනුව කල්පනා කර කර හිටිය. එහි ප‍්‍රිය බව ගැනම හිත හිත හිටිය. ආශ්වාදයට අනුවම හිත හිත ඉන්න කොට ආශාව ඉපදෙනවා. ආශාව ඉපදුනාට පස්සේ බැඳිල යනවා. ඊට පස්සේ දුක් පීඩා ගිනි හට ගන්නවා. ඊට පස්සේ දැවෙන, පිචිචෙන එක තමයි තියෙන්නේ.
ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ඒ බැඳිල යන දේවල් ගැන ආශ්වාදයට අනුව හිත හිතා ඉන්ට එපා. බැඳිල යන දේවල් ගැන ආදීනව අනුව හිතන්න. යම් කෙනෙක් බැඳිල යන දේවල් ගැන ආදීනව කල්පනා කළොත් මොකද වෙන්නේ? ආශාව උපදින්නේ නෑ. ආශාව ගෙවෙන්ට පටන් ගන්නවා. කැමැත්ත ගෙවෙන්ට පටන් ගන්නවා. අකමැත්ත උපදිනවා. තිබෙන අශාව අකැමැත්ත ගෙවුනාම බැඳිල යන්නෙ නෑ. බැඳිල යන්නෙ නැත්නම් දුක් නැති වෙලා යනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න අපි තුළ ඒ රාග ද්වේෂ මෝහ හටගෙන දුක් පීඩා උපදිනවා නම් ඒ දුක් පීඩා ඉපදුනේ බැඳිල ගිය නිසා. බැඳිල ගියේ ආශාව ඉපදුන නිසා. ආශාව ඇතිවුනේ ආශ්වාදයට අනුව කල්පනා කළ නිසා.
එතකොට මොනවද ඒ බැඳිල යන දේවල්? ඇස, ඇසට පේන රූප, කණ, කණට ඇහෙන ශබ්ද, නාසය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිව, දිවට දැනෙන රස, ශරීරය, ශරීරයට දැනෙන පහස, සිත, සිතට දැනෙන අරමුණු. මේවට තමයි බැඳිල යන්නේ. මේ බැඳිල යන දේ තුළ ආශ්වාදයක් තියනවා. ආශ්වාදයක් තියන නිසා ඒ ආශ්වාදය ගැන පමණක් කල්පනා කර කර ඉන්නවා. ආශ්වාදයක් නැත්නම්, ආශ්වාදයට අනුව කල්පනා කරයි ද? නැහැ. එසේ වන්නේ නෑ. නමුත් ආශ්වාදයක් තියනවා. එයා දන්නේ ආශ්වාදය ගැන විතරයි. එසේ ආශ්වාදයට අනුව කල්පනා කරන කොට ආශාව ඉපදීම වළක්වන්ට බෑ. ඉන්පසු දුක් පීඩා හට ගන්නවා ඒකත් වළක්වන්ට බෑ. කෙළවරක් නැතුව මහත් වූ දුක් දොම්නස් විදිනවා.
ජීවිතය දිහා ආපස්සට හැරිල බලන්න රාගය නිසා වේවා, ද්වේෂය නිසා වේවා, මෝහය, ඊරිසියාව, කුහක කම නිසා වේවා කොයි තරම් දුක් වින්දද කියල. ඒ හැම තැනකදීම ඇහැට බැඳුන. ඇහැට පෙනෙන රූපයට බැඳුන. කණට බැඳුන. ශබ්දයට බැඳුන. නාසයට බැඳුන. ගද සුවදට බැඳුන. දිවට බැඳුන. රසයට බැඳුන. කයට බැඳුන. පහසට බැඳුන. සිතට බැඳුන. අරමුනු වලට බැඳුන. ඒ බැඳුනෙ ඇයි? බැඳිල යන දේවල් ගැන ආශ්වාදයට අනුව අපි හිත හිතා හිටිය නිසා. අන්තිමට අපි දන්නෙම නෑ, අපි දුකට වැටිලා.
භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා,මේ බැඳිල යන දේවල්වල ආශ්වාදය පමණක් නෙමේ තියෙන්නේ,ඒවායේ අදීනවත් තියනවා කියල .ආශ්වාදය ඉතාම ටිකයි. හැබැයි ආදීනවය අතිශය විශාලයි, බලවත්. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේවාගෙන් නිදහස් වීමක් තියනවා කියල. නිදහස් වීමක් නැත්නම් අපිට මේ දුකේ හැමදාම ඉන්ට සිද්ධ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා,යම් කෙනෙක් බැඳිල යන දේවල්වල ආදීනව තේරුම් අරගෙන ඒවායේ අදීනව සිහිකරන්න දක්ෂ වුනොත් අන්න එයා බැඳිල යන දේවල්වලින් නිදහස්වෙනවා කියල.
එහෙනම් අපි හොඳට තේරුම් ගන්ට ඕනැ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට මේ බැඳිල යන දේවල් වල ආශ්වාදයක් තියනවා, ආදීනවයක් තිබෙනවා, නිදහස් වීමක් තිබෙනවා කියල. මොකක්ද ආශ්වාදය? ඒවයේ යම් සැපයක් සොම්නසක් තියනවා නේද? ඒ අභ්‍යන්තර ආයතන වගේම බාහිර ආයතන වල යම් සැපයක් සොම්නසක් තියනවා. ඒ ආශ්වාදය නෑ කියල කියන්නෙ නෑ. නමුත් ඒවගේ ආදිනවයක් තියනවා. මොකක්ද ආදීනවය ඒවා අනිත්‍යයි දුකයි විපරිනාමයට පත් වෙනවා. අතිශය කර්කෂ දුක් සහිතයි. ඉතින් මේව කෙරෙහි ඇල්ම දුරු වුනාම නිදහස් වෙලා යනවා. ඒවගෙන් නිදහස් වීමක් තියනවා. එහෙනම් ඒ බැඳිල යන දේවල් වල ආදීනවය කල්පනා කරන්ට අපිට පුළුවන් වුනොත් අපිට ඒ බැඳිල යන දේවල් කෙරෙහි ඇති කැමැත්ත ආශාව දුරු වෙන්න පටන් ගන්නව. යම් කලකදී ඒ ආශාව දුරු වෙන්ට පටන් ගත්තොත් අපිට ඒ ආශාව දුරුවීම හේතු කොට ගෙන එතෙක් විඳ විඳ හිටපු දුක් පීඩා දුරු වෙන්ට පටන් ගන්නවා. ආශ්වාදය අනුව කල්පනා කරන්ට කරන්ට ආශාව ඉපදිලා බැඳිල ගිහිල්ල දුක් වින්ඳ. දැන් ආදීනව අනුව කල්පනා කරන්ට කරන්ට, ආශාව දුරුවීමෙන්, බැඳිල යාම දුරුවීමෙන් දුක් පීඩා අඩුවෙන්ට පටන් ගන්නවා.
එතකොට මේ භාවනාව (සබ්බ ලෝකේ අනභිරත සංඥාව) අපි හොඳින් කරන්ට කරන්ට අපේ දුක් පීඩා දුරු වෙයි ද නැද්ද? දුක් පීඩා දුරු වෙනවා. ඒක නියත වශයෙන් ම සිදු වෙනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ නිබ්බිදා සූත‍්‍ර දේශනාවේ සඳහන් වන මේ භාවනාවන් පහ පුරුදු කරගෙන බහුල වශයෙන් පුරුදු කළොත් ඒකාන්ත වශයෙන් ම අවබෝධයෙන් කලකිරෙනවා. බලන්න මේ බැඳිල යන දේවල් ගැන ඒවයේ ආශ්වාදය ආදීනවය නිස්සරණය ඒ ආදී වශයෙන් අපි තේරුම් ගත්තොත් අපිට ඒ බැඳිල යන දේවල් ගැන කැමැත්තක් හට ගනියි ද එපා වීමක් හට ගනියි ද? අර කලින් තිබුන ප‍්‍රිය බවද තියෙන්නේ. අකමැත්තක් ද? මේවගේ ආශ්වාදය කල්පනා කරල බැඳිල ගිහිල්ල දුක ඉපදෙනවා. දුක් විදින්ට සිද්ධ වෙනවා කියල තේරුම් ගත්තොත් එහෙම එයා තුළ ඒ ආයතන ගැන පි‍්‍රය බවක් කැමැත්තක් උපදියි ද අකමැත්තක් උපදියි ද? අකමැත්තක් උපදිනවා. එහෙනම් බලන්න මේව තේරුම් ගැනීමෙන් ම තමයි මේ කැමැත්ත දුරු වෙන්ට පටන් ගන්නේ. පි‍්‍රය බව දුරු වෙන්ට පටන් ගන්නේ.
අන්න ඒ විදිහට අපි මේ ධර්මය තේරුම් අරගෙන අපි මේ ධර්මය ක‍්‍රමක් ක‍්‍රමයෙන් ටික ටික පුරුදු කළොත් අපිට මේ සියලූ ලෝකය පිළිබඳව අකමැත්ත උපදවා ගන්ට පුළුවන්. අපි මේ අනවබෝධයෙන් සිටින මේ පි‍්‍රය බව අතහැරල නොඇල්ම උපදවා ගන්ට පුළුවන්. මේ ධර්මයන් ගැන හොඳින් කල්පනා කරනවා නම් මේව කෙරෙහි අපි මිත‍්‍රයෝ විදිහට කල්පනා කරන එක අතහැරල සතුරෝ විදිහට තේරුම් ගන්ට පුළුවන්. මේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත ඊලඟට මේ රූප, ශබ්ද, ඝන්ද, රස, පහස, අරමුණු මේව හතුරො, වදකයො, අපිට දුක් පීඩා උපදවල දෙන දේවල් විදිහට අපිට තේරුම් ගන්ට පුළුවන්.
ඒ නිසා හොඳම විදිහක් තමයි අපිට රාගය, ද්වේෂය හෝ මෝහය කියන මේ අකුසලයන් ඉපදිලා දුක් පීඩා විඳපු අවස්ථා සිහි කරල, ඒ දුක් පීඩා ඉපදුනේ කොහොමද කියල හොඳට බලන්න. බැඳිල ගිහිල්ල ඒ දුක් ඉපදුනේ කියල එතකොට තේරුම් ගන්ට පුළුවන් වෙයි. ඇයි බැඳිල ගියෙ කියල හොඳින් සිහි කරල බලන්න. ආශාව ඉපදුනා. ඇයි ආශාව ඉපදුනේ කියල හොඳට බලන්න. අපි ආශ්වාදයට අනුව කල්පනා කළා නේද කියල හිතල බලන්න. මේ සිදුවීම් හොඳට තේරුම් ගන්න. එතකොට මේ ධර්මය කෙරෙහි අපි පහදිනවා. ඒවගේම ඒ බැඳිල යන දේවල් කෙරෙහි අකමැත්ත උපදවා ගන්ට අපිට පුළුවන් කම තියනවා. මොකද අපි නොදන්න නිසා අපිට සිදුවෙන අනතුරක් මේක. දැන ගත්තොත් අපි ඒ අනතුරේ වැටෙන්නේ නෑ. එහෙනම් හොඳට මේ කාරණය තේරුම් අරගෙන අපිට මේ දුක් පීඩා උපද්දන බැඳිල යන දේවල් ගැන අකමැත්ත නොඇල්ම උපදවා ගන්න බලන්න.
මේ විදිහට මේ අධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන ගැන අකමැත්ත උපදවා ගැනීම පිණිස මුලින් ම කළ හැකි හොඳම දේ තමයි අර පීඩා ඉපදුනාම පීඩා හට ගත්තේ කොහොමද කියල ධර්මයේ තියන ආකාරයට විමසල බැලීම. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට මේ දේවල් තේරුම් ගන්ට බලන්න. මේ විදිහට නේද මේක සිද්ධ වුනේ කියල. අපි හිතමු පාරෙ යනකොට පි‍්‍රය මනාප රූපයක් දැක්ක. අපි මේක මතක තියාගෙන ඉන්නවා. මතක තියාගෙන ඉඳල ඒක සිහි කර කර ඉන්නවා. රාගය ඉපදෙනවා. ඒ රාග ගින්නෙන් දැවෙනවා. දුක් විදිනවා. හොඳට බලන්න මේ වගේ සිද්දි වෙන්නේ නැද්ද කියල. මේ වගේ සිදුවීම් ගැන ධර්මයේ තියන විදියට හිතනකොට තේරෙයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් කාරණය කොච්චර ඇත්තක් ද කියල.
ඒ විදිහට දුක් පීඩා ඉපදුනාම හොඳට විමසල බලන්න මොකක්ද මේ සිද්ධ වුනේ කියල. අතීතයේ යම් දුක් පීඩාවක් වින්ඳ නම් ඒකත් හොඳට සිහි කරල බල. අතීතයේදීත් මට සිද්ද වුනේ මේක නේද මං ප‍්‍රමාණ රහිතව දුක් වින්ඳ, ඇඬුව, වැළපුනා. පපුවෙ අත් ගහගෙන ඇඬුව, කෙස් කඩාගෙන ඇඬුව ඒක මට සිද්ධ වුනේ මේ ඇසට රැවටිලා, කණට රැවටිලා, නාසයට රැවටිලා, දිවට, ශරීරයට, සිතට රැවටිලා. මේවට බැඳිල ගිහිල්ල නේද මේ දුක් වින්දේ කියල තේරුම් ගන්න.
ඒ විදිහට තේරුම් ගත්තොත් එයා දන්නවා මම වර්ථමානයේත් මේ දුක් විඳින්නේ මේ ලෝකයට බැඳිල ගිහිල්ල කියල. අධ්‍යාත්මික බාහිර කියන මේ ආයතනවලට, මේ ලෝකයට බැඳිල ගිහිල්ල තමයි මම වර්තමානයේ දුක් විඳින්නේ කියල . හොඳට සිහි කරල බැලූවොත් තේරෙයි අතීතයේ යම් දුක් පිඩා ගිනි වින්ද නම්, ගිනි වලට පිච්චුනා නම්, ඒ මේ ලෝකයට අනවබෝධයෙන් බැඳිල ගිහිල්ල. මේ විදිහට කල්පනා කලොත් එයා අනාගතයේ තව දුරටත් දුක් විඳීද? දුක් පීඩා විදින්ට එයා කැමති වෙයිද? කැමති වෙන්නේ නෑ. එයා මේ ලෝකය කෙරෙහි අකමැත්ත උපදවා ගන්ට කල්පනා කරනවා. අන්න එයාට පුළුවන් ඇස ගැන අකමැත්ත උපදවා ගන්ට. ඇසට පේන රූපය ගැනත් අකමැත්ත උපදවා ගන්ට පුළුවන්. කණ ගැන අකමැත්ත උපදවා ගන්ට පුළුවන්. කණට ඇහෙන ශබ්දය ගැනත් අකමැත්ත උපදවා ගන්ට පුළුවන්. නාස ගැන නාසයට දැනෙන ගද සුවද ගැන අකමැත්ත උපදවා ගන්න පුළුවන්. දිව ගැන දිවට දැනෙන රසය ගැන අකමැත්ත උපදවා ගන්ට පුළුවන්. ශරීරය ගැන ශරීරයට දැනෙන පහස ගැන අකමැත්ත උපදවා ගන්න පුළුවන්. සිත ගැන සිතට දැනෙන අරමුණු ගැන අකමැත්ත උපදවා ගන්ට පුළුවන්.


තෙරුවන් සරණයි!


පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

‘රිවිර’ පුවත් පතේ පළ වූ ලිපියකි..

martedì 13 dicembre 2011

නිරයේ වැටෙන ස්වභාවය.......



පසුගිය දිනක ඇමරිකාවේ ෆ්ලොරිඩා නගරයේ සිට අසන්නට ලැබුණ එක්තරා බිහිසුණු සිදුවීමක් විය. එය 17 හැවිරිදී පිරිමි දරුවෙකු විසින් තම දෙමව්පියන්ව සාහසික ලෙස මරා දැමීමය.තම යහළුවන් සමග ප්‍රීති සාදයක් පැවත්වීම මුල් කර ගෙන තම දෙමව්පියන් මරා දැමීමට හේතු වී ඇති බව මේ වන විට සොයා ගෙන ඇත. මෙම සිදුවීම අළුත් දෙයක් ද? නැත. එය අතීතයෙත් සිදුවිය. අනාගතයටත් සිදු වන දෙයකි. වර්ථමානයේ තව තවත් සිදු වන්නකි.
ඉමක් කොනක් නොපෙනෙන සංසාර ගමන කොපමණ බිහිසුණු ද? නිතර නිතර සතර අපායේ වැටෙමින්,දුක් විඳිමින්, තවත් තැනක සැප විඳිමින් මේ සත්වයින් පැමිණි ගමන මැනවින් ම දන්නේ එක් ප්‍රඥාවන්ත කෙනෙක් පමණි. ඒ භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ය.මුළ මැද අග කළ්‍යාණ වූ, සන්දිඨ්ටික වූ, අකාලික වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙන පරිසරය තුලත් මෙවැනි අකුසල් සිදු වන්නේ නම්, නොඇසෙන කාලයක කුමක් සිදු වේවිද?
ඒ නිසා කාලයේ වැලිතලාවට යට වී තිබූ එම උතුම් ශ්‍රී සද්ධර්මය නැවත ත් මතු වී ඇති මෙවැනි කාලයක, එය උඩට මතු කර ලක්ෂ ගණනක් පින්වත් සැදැහැවතුන් වෙත ලබා දුන් ඒ මහමෙව්නාවේ පින්වත් ස්වාමීන් වහන්සේලා වෙත මාගේ නමස්කාරය වේවා! ඒ වගේම මෙම සත්‍ය වූ ධර්මයෙහි යථාර්තය තෙරුම් ගනිමින් මෙම උතුම් ක්‍රියදාමයට උපකාර කරන සියළුම භික්ෂූන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා!

මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට නොලැබුණා නම් මව මැරීම, පියා මැරීම,රහතුන් මැරීම,බුදුන්ගේ ලේ සෙලවීම සහ සංඝ බේදය ඇති කිරීම යන ආනන්තකර්ම අකුසලයකට යොමු නොවෙතැයි කා හට නම් සහතිකයක් දිය හැකි ද? කල්පයක් නිරයේ දුක් විඳින්න ටත්, පෘතග්ජන ස්වභාවයක ඇති සකස්වීම නම් අති භයානකය. මහණෙනි, මාගේ මේ ධර්මය අවබෝධ කරන්නේ මේ නිය සිලට ගත් පස් ටිකක් හා සමාන වූ පිරිසක් බව එදවස භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

එක්තරා සිදුවීමක් මුල් කර ගෙන, මෑතකදී මා හට මේ ආකාරයට එක්තරා ස්වාමීන් වහන්සේ නමකගෙන් අසන්නට ලැබුණි. "මහත්තයෝ මම පෘතග්ජන කෙනෙක්. මට තරහ යනවා. පස්සේ තමයි මතක් වෙන්නේ මම කරපු වැඩ. ඒ වෙලාවට මම ඒ තරහා නැති කර ගන්නවා." උන්වහන්සේ මේ ආකාරයට පෘතග්ජනභාවය ගැන පවසන ලද්දේ දැන හෝ නොදැනද කියා මා නොදනිමි.කෙසේ වෙතත් උන් වහන්සේ ගැන මා හට විශාල අනුකම්පාවක් ඇති උනා.ඒ වගේම උන්වහන්සේගෙන් ධර්මය විමසන, උන්වහන්සේ කරා යන ශ්‍රාවක,ශ්‍රාවිකාවන් ගැනත් මහත් වූ අනුකම්පාවක්,සංවේගයක් ඇති උනා.
අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයට සත්වයින්ගේ පෘතග්ජන ජීවිතය ගැන වදාළේය.
"පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා සැප විඳීමත් විඳිනවා.දුක් විඳීමත් විඳිනවා.දුක් සැප රහිත විඳීමත් විඳිනවා.පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා සැප විඳීමත් විඳිනවා.දුක් විඳීමත් විඳිනවා.දුක් සැප රහිත විඳීමත් විඳිනවා.පින්වත් මහණෙනි මේ කාරණයේ දී අශ්‍රැතවත් පෘතග්ජනයාගේ ත්, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගේ ත්, විශේෂත්වය මොකක්ද? අදහස මොකක්ද? වෙනස්කම මොකක්ද? "
"පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා දුක් වේදනාවෙන් පහස ලැබූ විට සෝක කරනවා.ක්ලාන්ත වෙනවා.වැළපෙනවා.පපුවේ අත් ගසා ගන්නවා.සිහි කල්පනා නැති කර ගන්නවා.ඔහු කායිකව ත් මානසිකව ත් වේදනා දෙකක් විඳිනවා.පින්වත් මහණෙනි,ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙකුට හුලකින් විදිනවා. ඒ සමීපයටම දෙවෙනි හුලකිනු ත් විදිනවා.ඒ පුරුෂයා හුල් දෙකකින් ම යි වේදනා විදින්නේ."
"පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා ත් ඔය වගේමයි.  දුක් වේදනාවෙන් පහස ලැබූ විට සෝක කරනවා.ක්ලාන්ත වෙනවා.වැළපෙනවා.පපුවේ අත් ගසා ගන්නවා.සිහි කල්පනා නැති කර ගන්නවා.ඔහු කායිකව ත් මානසිකව ත් වේදනා දෙකක් විඳිනවා.
ඔහු දුක් වේදනාවෙන් පහස ලැබූ විට ක්‍රෝධ සහිත වෙනවා.ඒ දුක් වේදනාවෙන් ඇති වූ ක්‍රෝධ ඇති ඔහු තුළ දුක් වේදනාවෙන් හට ගන්නා යම් පටිඝානුසයක් ඇති නම්,එය සිත ඇතුළේ ඇති වෙනවා.ඔහු ඒ දුක් වේදනාවෙන් පහස ලබලා කාම සැපය යි සතුටින් පිළිගන්නේ.එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා කම් සැප විඳීමෙන් බැහැරව දුක් වේදනාවෙන් නිදහස් වීමක් ගැන දන්නේ නැහැ. කාම සැපය සතුටින් පිළිගනිද්දී සැප වේදනාවෙහි යම් රාගානුසයක් ඇත්නම්, එය ඔහුගේ සිත ඇතුළේ ඇති වෙනවා.ඔහු ඒ වේදනාවන් ගේ හට ගැනීමවත්, නැති වීමවත්,ආශ්වාදයවත්,ආදීනවයවත්,නිස්සරණයවත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරන්නේ නැහැ.
ඒ වේදනාවන් ගේ හට ගැනීමවත්,නැති වීමවත්, ආශ්වාදයවත්,ආදීනවයවත්,නිස්සරණයවත් ඒ ආකාරයෙන්ම අවබෝධ නොකරන නිසා ඔහු තුල දුක් සැප රහිත විඳීමෙන් යම් අවිද්‍යා අනුසයක් ඇති වෙනවා නම්, එයත් ඇති වෙනවා. එතකොට ඔහු සැප වේදනාවක් විඳිනවා නම් එය හා එකතුවෙලා මයි විඳින්නේ.දුක් වේදනාවක් විඳිනවා නම් එය හා එකතු වෙලාමයි විඳින්නේ. සැප දුක් රහිත වේදනාවක් විඳිනවා නම් එය හා එකතු වෙලාමයි විඳින්නේ.
පින්වත් මහණෙනි, මේ අශ්‍රැතවත් පෘතග්ජනයාට කියන්නේ ඉපදීමත් සමග, ජරා මරණත් සමග,සෝක වැළපීම්,දුක් දොම්නස්,සුසුම් හෙළීම් සමග එක්වෙලා ඉන්නවා කියල යි. දුකත් සමග එක්වෙලා ඉන්නවා කියල යි. (
සම්පූර්ණ සූත්‍ර දේශනාව කියවන්න. සංයුත්ත නිකාය සළායතන වර්ගය- සල්ල සූත්තං)
ගිහි කෙනෙක් හෝ පැවිදි වූ කෙනෙක් හෝ පෘතග්ජන ස්වභාවයෙන් මිදිය නොහැකිව, ලාභ සත්කාර මත යැපෙමින් බුද්ධ ශාසනයේ විනාශයට කටයුතු කරනවා නම් ඔහුට ඉපදීමට සිදු වන්නේ ඉතාමත් දුක් වූ පරිසරයකය. බවයේ වැඩි හරියක්ම රාගයත්, ද්වේශයත් ,මෝහය ත් , බියත් මුසුවුන සතර අපායට වැටි වැටී යාම හැර වෙන කවර නම් ගැලවීමක් ඔවුන්ට තිබේ ද? මහණෙනි, මේ සංසාරය පුරා බෙලි කැපුම් වලට ලක්වී ගලා ගිය රුධිරය මේ සතර මහා සාගරයට වඩා වැඩි යැයි භග්‍යවතුන් වහන්සේ වදාළේ, මැනවින් භවයෙන් භවයට සත්වයින් සැරිසරන අයුරු බුදු නුවණින් ම දැක අවබෝධ කර ගත් හෙයිණි.
"ජීවිතය මරණය කරා යනවා.ජීවත් වෙන්න තිබෙන්නේ සුළු කාලයයි.ජරාව විසින් මරණය කරා ගෙන යන සත්වයන්ට ආරක්ෂා වෙන්න තැනක් නැහැ. මරණය අභියස තියෙන මේ බිය දකින කෙනා ඒ අමා නිවන් සුව ලබනු කමැත්තෙන්, ලෝකාමිසය අත්හරිනවා." "භාග්‍යවතුන් වහන්සේ, සැවැත් නුවර ජේතවනාරාමයේ දී" (උපනීයත සූත්‍රය )
බුදු හිමියන් කළ යුතු යැයි, යා යුතු යැයි පෙන්වා දුන් මාර්ගය බැහැර කොට,ශ්‍රී සද්ධර්මය විවෘතව පවතින මේ ඉතාම කෙටි කාලය තුල කසාවත පොරවා, මහන දම් පුරන සමහර භික්ෂූන් වහන්සේලා දේශපාලනය,මන්තර ගුරුකම්,පිකටින්,කරමින් ද, ගිහියන් විසින් කරන යම් ලාමක වූත්,කිලිටි වූත් ක්‍රියාවන් වල යෙදෙමින් ද,සිල්වත් භික්ෂූන් වහන්සේලාට ගරහමින් ද කාලය ගෙවා දැමීම,ඔවුන්ට ද තවත් බොහෝ පිරිසකගේ ද හිත සුව පිණිස නොපවතිනු ඇත. මෙය ශාස්තෘන් වහන්සේ කියා දුන් පරිදි අනුගමනය නොකර, ලාභ-සත්කාර,කීර්ති ප්‍රශංසා වලට ගිජු වී තමන්ගේ මතයට වැඩ කරන්නට යෑමෙන් සිදුවන අකරතැබ්බයකි.
පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා ගැන දැනගෙන ඉන්න ඕන. මොහු ආර්යන් වහන්සේලා හඳුනන්නේ නැහැ. ආර්ය ධර්මය තේරුම් ගන්න දක්ෂත් නැහැ.ආර්ය ධර්මයෙහි හික්මෙන්නෙත් නැහැ. සත්පුරුෂයන් වහන්සේලා හඳුනන්නෙත් නැහැ.සත්පුරුෂ ධර්මය තේරුම් ගන්න දක්ෂත් නැහැ.සත්පුරුෂ ධර්මයක හික්මෙන්නෙත් නැහැ. (මූලපරියාය සූත්‍රය - මජ්ඣ්ම නිකාය)
සියළු දෙනාට ම වහ වහා ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!
තෙරුවන් සරණයි!

සුමේධ

කිරිබත්ගොඩ ඥණානන්ද හිමියන්ට මඩ ගැසීමේ තැතක්’

Srilankamirror - පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ යම් යම් අකටයුතුකම් හේතුවෙන් ඇතිවූ තත්ත්වයෙන් ප‍්‍රයෝජනයට ගනිමින් කිසියම් පිරිසක් මහමෙවුනාව භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඥණානන්ද හිමියන්ට මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියකත්කර ඇතැයි මහමවුනා භාවනා අසපුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ සඳහා ගිහිපැවිදි දෙපාර්ශවයම එක්වී ඇතැයි ද, කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් එහිමියන්ට විරුද්ධව ලියන ලද ග‍්‍රන්ථ, පුවත්පත් හා පොස්ටර් ව්‍යාපාරයක්ද දියත්කර අතැයි අදාල නිවේදනයේ දැක්වේ.

එබැවින් එවැනි දුර්ජනයන්ගේ කි‍්‍රයා කලාපයන්ට හසුනොවන ලෙසත්, යම් ගැටලු කාරී තත්ත්වයක් ඇතොත් මහමෙවුනා අසපු භාරකාරීන් හමුවීපිළිබඳව සාකච්ඡාකරන ලෙසත් එම නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

lunedì 12 dicembre 2011

ගෞතම බුද්ධ ශාසනය

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරිදි බුදුවරු 28 නමක ගැන සඳහන් වෙනවා. උන්වහන්සේලාගේ ඒ සියළුම බුද්ධ ශාසන කාලයත් සමග අතුරුදහන් වුනා.එක නිසා ගෞතම බුද්ධ ශාසනයත් අතුරුදහන්  වන බව අප බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.සියළු දේවල් අනිත්‍ය නිසා වාද කර කර ඉන්න අය ගේ අයුෂ වේගයෙන් ගෙවිලා ගිහින් ඒ රැස් කර ගත් කර්ම විපාක වලට ඒ ඒ තැන් වල උපදිනවා.බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගන්නේ නිය සියලට ගත හැකි කුඩා පස් ටිකක් වැනි පිරිසක් කියලා.මේ මහපොළවේ පස් වගේ පිරිසක් මේ ධර්මයෙන් බැහැරට යනවා.ඒක නිසා ඔය එක එක අන්තවල ඉන්න පිරිස අල්ල ගන්න ඕන මොකක්ද කියලා,බුද්ධ දේශනා ඇසුරින් ඒ අයගේම නුවණින් විමසලා බලන්න ඕන.බුද්ධ ශාසනය මුල් වෙන්නේ අරහත්වය මුල් කර ගෙනයි.අවසාන වෙන්නෙත් අරහත්වයෙන්මයි.ඔබ සැමට මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුලදීම ඒ නිවන අවබෝධ වීමට පවතින චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!