දුක නම් වූ ආර්ය සත්‍ය - දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය

venerdì 11 maggio 2012

සසුන සුරකින අත්භූත ධර්මයෝ.


මීට වසර දෙදහස් හයසීයකට පෙර දඹදිව ගයාවේ වැඩසිටින ජය ශ‍්‍රී මහා බෝ සමිඳු සෙවණේ හිඳ අපගේ භාග්‍යවතුන් වහන්සේ ගුරුපදේශ රහිතව ම ලෝකයේ පරම සත්‍යය වන චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළා.


තථාගතයන් වහන්සේ පහළවීමට පෙර, ජීවිතය ගැන පිරිසිදු නිරවුල් අවබෝධයක් ලබා දෙන ඉගැන්වීමක් ලෝකයේ තිබුනේ නෑ. එයට හේතුව සත්‍යය අවබෝධ කළ කිසිවෙකු ලෝකයේ නොසිටීම යි. මිනිසුන් ඉපදුනා, වයසට ගියා, ලෙඩ වුණා, මරණයට පත්වුණා. ජීවත්ව සිටි කාලය තුළ නොයෙකුත් ආකාරයේ කායික දුක්, මානසික දුක් දෙම්නස්වලට ගොදුරු වුණා. ජීවත්ව සිටි කාලයේ දී ආශාවන්ට යටවෙලා ඉඳුරන් පිනවීමේ පිපාසයකින් ම යි වාසය කළේ. සීමා රහිත අශාවන් නිසා අනේක ප‍්‍රකාර වූ දුක් විඳිමින් ම යි ඔවුන්ට ජීවත් වෙන්ට සිද්ධ වුනේ. මාන්නයෙන් මත්වෙලා හිත පිනවමින් ම ජීවත් වෙන්ට උත්සාහ කළා. එයිනුත් අනේක ප‍්‍රකාර දුක් පීඩා විඳින්ටයි ඔවුන්ට සිද්ධ වුණේ. දුක් දොම්නස්වලින් නිදහස් වෙලා වාසය කිරීමේ වාසනාවක් භාග්‍යවතුන් වහන්සේ පහළවීමට පෙර මිනිසුන්ට උදාවුණේ නෑ.
තථාගතයන් වහන්සේගේ පහළවීම ලොවට ආශ්චර්යමත් දෙයක් බවට පත්වුණා. ඒ අසිරිමත් පහළවීමත් සමඟ ලෝකය විශාල පරිවර්ථනයකට ලක්වුණා. දෙවියන්ටත් මිනිසුන්ටත් පෙර කිසිකලෙක නොතිබූ නිරවුල් ජීවිත අවබෝධයක් ඇතිකර ගැනීමේ වාසනාව උදාවුණා. ඒ නිසා දෙව් මිනිසුන්ගේ ජීවිත ආලෝකමත් වුණා. ලෝභී පුද්ගලයින් ත්‍යාග ශීලීන් බවට පත්වුණා. කුසීත අය වීරියවන්තයින් බවට පත්වුණා. අසමගි අය සමඟි වුණා. සෝක සුසුම් හෙළමින් සිටි අය ඒ සෝ සුසුම් නැතිකරගෙන සතුටු සිත් උපදවා ගත්තා. අපිරිසිදු ජීවිත පිරිසිදු කරගත්තා. සතර අපායෙන් නිදහස් වුණා. සුගති ලෝකවල ඉපදෙන්ට සමත් වුණා. දීර්ඝ සසර ගමනක විඳිමින් ආපු දුක් අවසන් කරමින් බොහෝ අයට සසරින් නිදහස්වෙන්ට පුළුවන් වුණා.


මේ මහා අසිරිය ලෝකයේ බොහෝ කලක් පවතී නම් එයත් අසිරියක් ම යි. උතුම් වෙසක් මංගල්‍යය සමරන මේ සමයේ දී අපි විසින් උත්සාහ කළ යුත්තේ මේ අසිරිමත් සම්බුදු පෙළහර දෙව්මිනිසුන්ගේ යහපත පිණිස බොහෝ කලක් සුරැකීමටයි.


ඇත්තෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේගේ පිරිපුන් අවබෝධය ලෝකයේ යහපත පිණිස පවතින්නේ කෙසේ ද යන කරුණු අප දැනගත යුතු යි. ඒ ගැන වැටහීමක් ඇතිකරගන්ට අපිට පුළුවන් වුණොත් මේ සම්බුදු සසුන චිරාත් කාලයක් ආරක්ෂාවෙයි.


තථාගතයන් වහන්සේ ලෝකයේ පහළවීමත් සමඟ ආශ්චර්ය වූ, අත්භූත වූ ධර්ම හතරක් ලෝකයේ පහළ වෙනවා (දුතිය තථාගත අච්ඡුරිය සූත‍්‍රය). මේ ආශ්චර්ය අත්භූත වූ ධර්ම පහළවීම නිසයි තථාගතයන් වහන්සේගේ අවබෝධය ලෝකයට පිහිට පිණිස පවතින්නේ.


භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා, ”පින්වත් මහණෙනි මිනිසුන් ආශාවන් ම ඇසුරුකරගෙන යි වාසය කරන්නේ. ආසාවන්ට ම ඇලිල යි වාසය කරන්නේ. ආසාවන්ගෙන් සතුටුවෙමින් ම යි වාසය කරන්නේ. තථාගතයන් වහන්සේ විසින් ආසාවන් දුරුකිරීම පිණිස ධර්මය දේශනා කරද්දී මිනිසුන් ඒ ධර්මය අහන්ට කැමති වෙනවා. කණ් යොමු කරනවා. අවබෝධය පිණිස සිත පිහිටුවා ගන්නවා. පින්වත් මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වීමෙන් ලෝකයට පහළ වෙන පළමු ආශ්චර්ය අත්භූත වූ ධර්මය මෙය යි.


පින්වත් මහණෙනි, මිනිසුන් මාන්නය ඇසුරු කරගෙන යි ඉන්නේ. මාන්නයට ඇලිල යි ඉන්නේ. මාන්නයෙන් සතුටුවෙමින් ඉන්නේ. තථාගතයන් වහන්සේ විසින් මාන්නය දුරුකිරීම පිණිස ධර්මය කියද්දී ඒ මිනිසුන් ඒ ධර්මය අහන්ට කැමති වෙනවා, කණ් යොමාගෙන අහනවා, අවබෝධය පිණිස සිත පිහිටුවා ගන්නවා. පින්වත් මහණෙනි, මේ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළවීමත් සමඟ පහළවන දෙවෙනි ආශ්චර්ය අත්භූත ධර්මය.
පින්වත් මහණෙනි, මිනිසුන් නොසන්සිඳුනු සිතක් ඇසුරුකරගෙනයි වාසය කරන්නේ. නොසන්සිඳීමේ ඇලිලයි ඉන්නේ. නොසන්සිඳීමෙන් සතුටු වෙනවා. තථාගතයන් වහන්සේ සන්සිඳීම පිණිස ධර්මය කියද්දී මිනිසුන් ඒ ධර්මය අහන්ට කැමති වෙනවා. කණ් යොමාගෙන අහනවා. අවබෝධයට හිත පිහිටුවා ගන්නවා. පින්වත් මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළවීමත් සමඟ පහළවන තෙවැනි ආශ්චර්ය අද්භූත ධර්මය මෙය යි.


පින්වත් මහණෙනි, මිනිසුන් අවිද්‍යා සහගතව යි වාසය කරන්නේ. අවිද්‍යාවෙන් අන්ධ වෙලයි වාසය කරන්නේ. හාත්පසින් ම අවිද්‍යාවට යටවෙල යි වාසය කරන්නේ. අවිද්‍යාව දුරුකිරීම පිණිස තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරද්දී මේ මිනිසුන් ඒ ධර්මය අහන්ට කැමති වෙනවා. කණ් යොමුකරනවා. අවබෝධයට හිත පිහිටුවා ගන්නවා. පින්වත් මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළවීමත් සමඟ පහළවන හතරවැනි ආශ්චර්ය අද්භූත ධර්මය මෙය යි”.


මේ ධර්මයන්ගෙන් අපිට තේරුම්ගත හැකි දේ තමයි තථාගතයන් වහන්සේ ලෝකයේ පහළවෙලා ධර්මය දේශනා කරද්දී ආශ්චර්ය අත්භූත වූ ධර්මයන් හතරක් ලෝකයේ පහළ වෙනවා. මේ ආශ්චර්ය අත්භූත ධර්මයන් පහළවීම නිසා තමයි භාග්‍යවතුන් වහන්සේගේ පිරිපුන් අවබෝධය ලෝකයට පිහිට පිණිස පවතින්නේ. මේ ආශ්චර්ය අත්භූත ධර්මයන් පහළ නොවුණා නම් භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයේ පිළිසරණ ලෝකයට හිමිවන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේගේ පිළිසරණ ලෝකයට ලැබෙන තාක් මේ සම්බුදු සසුන ලෝකයේ පවතිනවා. භාග්‍යවතුන් වහන්සේගේ පිළිසරණ ලෝකයට ලැබෙන්නේ මේ ආශ්චර්ය අත්භූත වූ ධර්මයන් ලෝකයේ පවතිනතාක් පමණ යි. ඒ ආශ්චර්ය වුත් අත්භූත වුත් ධර්මයන් ලෝකයේ පවතින්නේ තථාගතයන් වහන්සේ දෙසූ ධර්මය දේශනා කරන තාක් පමණ යි.
තථාගතයන් වහන්සේගේ ධර්මය ලෝකයට විවෘත නොවූ කාලයේ මිනිසුන් තණ්හාවෙන් මත්වෙලයි වාසය කළේ. මාන්නයට වසඟවෙලයි වාසය කළේ. නොසන්සිඳුනු සිතට යි ඇලී වාසය කළේ. අවිද්‍යා අන්ධකාරයේ ගිලිලයි වාසය කළේ. ඒ නිසා ම යි මිනිසුන් අනේක ප‍්‍රකාර කායික මානසික දුක් දොම්නස්වලට ගොදුරුවුණේ. සතර අපායේ වැටෙමින් කෙළවරක් නැති සසර ගමනක දුක් විඳිමින් ගමන් කළේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ලෝකයට විවෘතවීමත් සමඟ ම දෙවිමිනිසුන්ට සියලූ දුකින් නිදහස්වීමේ වාසනාව උදාවුණා.


ලෝකයට හිත පිණිස යහපත පිණිස කටයුතු කරන යමෙක් ඇත් ද, දෙව්මිනිසුන්ට අනුකම්පා කරන යමෙක් ඇත්ද ඒ සියලූ දෙනා ම තථාගතයන් වහන්සේගේ පහළවීමත් සමඟ ලෝකයේ පහළවන මේ ආශ්චර්ය අත්භූත ධර්මයන් ගැන සතුටු වෙනවා. ඒ ධර්මයන් ලෝකයේ බොහෝ කලක් පවතිනවාට කැමති වෙනවා. එසේ කැමතිවන පිරිස් තථාගතයන් වහන්සේ වදාළ ධර්මය ම ප‍්‍රකාශ කරනවා. අන් යමක් ප‍්‍රකාශ කරන්නේ නෑ. සුදුසු කල්හි ඒ දහම නැවත නැවතත් පවසනවා. අන් දෙයක් පවසන්නේ නෑ.
ලෝකයට හිත පිණිස, යහපත පිණිස, දෙව් මිනිසුන්ට අනුකම්පාව පිණිස නැවත නැවතත් කිවයුතු ඒ උතුම් දහම කුමක් ද? ඒ චතුරාය්‍ය සත්‍යය ධර්මය යි. එනම් දුක නම් වූ ආර්ය සත්‍යය යි (දුක්ඛ ආර්ය සත්‍යය යි), දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍ය යි (දුක්ඛ සමුදය ආර්ය සත්‍යය යි), දුක නැති කිරීම නම් වූ ආර්ය සත්‍ය යි (දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය යි), දුක නැති කිරීමේ මඟ නම් වූ ආර්ය සත්‍යය යි (දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය යි).


තමන්ට හිත පිණිසත්, ලෝකයාට හිත පිණිසත් කටයුතු කරන කෙනෙකු විසින් මැනවින් ම ඉගෙනගත යුතු යමක් ඇත් ද, මැනවින් ම ප‍්‍රගුණ කළ යුතු යමක් ඇත් ද, මැනවින් ම අන් අයට කියා දිය යුතු යමක් ඇත් ද, ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය යි.
මෙසේ තථාගත ශ‍්‍රී සද්ධර්මය ලෝකයේ විවෘතව පවතී ද, ඒ තාක් ම ඒ ආශ්චර්ය අත්භූත ධර්මයන් ලෝකයේ පවතිනවා. ඒ ධර්මයෝ ලෝකයේ පවතින තාක් දෙව්මිනිසුන් භාග්‍යවතුන් වහන්සේ ගේ පිළිසරණ ලබනවා. ඒ සියලූ දෙනා අනේක ප‍්‍රකාර වූ සසර දුකින් නිදහස් වී ලබන පරම ශාන්තිය උදාකරගනු ලබනවා. ඒ සියලලෝම අපගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේගේ පරම උත්තම වූ අත්භූත වූ අසිරිමත් වූ වෙසක් මංගල්‍යය මැනවින් ම සමරනු ලබනවා.


නාවලපිටියේ අරියවංශ හිමි


‘දිවයින බුදු මඟ’ ධර්ම සංග්‍රහයෙහි පළ වූ ලිපියක් ඇසුරෙනි.

Nessun commento:

Posta un commento