දුක නම් වූ ආර්ය සත්‍ය - දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය

venerdì 16 dicembre 2011

මේ සසර දනව්වේ අප අසරණ වුණේ ඇයි?

අපි මේ වන විට අනිවාර්යෙන්ම දැනගත යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි මේ භයානක සංසාර ගමන.එතකොට ඒකේ ඉමක් කොනක් පේන්නේ නැහැ.මේ ගැන අපට දේශනා කොට වදාළේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ.ඇත්තටම ඔබ බුද්ධිමත් කෙනෙක් නම් උන්වහන්සේගේ අවබෝධය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.උන්වහන්සේ අප නොදන්නා බොහෝ දේවල් අපගේ යහපත පිණිස දේශනා කොට වදාළ.සංසාරයේදී එක් පුද්ගලයෙක් හරකෙක්,ඌරෙක්, එළුවෙක්, බැටළුවෙක්, කුකුළෙක් ආදී සත්වයෙක් වෙලා ඉපදිලා බෙල්ල කැපිල ගලාගෙන ගිය රුධිරය මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩියි කියල උන්වහන්සේ පෙන්වා දුන්නා.මේවා යමෙක් බුද්ධිමත් ලෙස ශ්‍රවණය කළොත් අනිවාර්යයෙන්ම මේ සංසාරයේ දිගට දිගට යෑමට භය වෙනවා.තැති ගන්නවා සංසාරයට කැමති නම් වෙන්නේ නැහැ.ආයෙමත් උපදින්න නම් කැමති වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ උතුම් අනුශාසනාව පිළි අරගෙන ඒ අනුශාසනාව පිළිපැදලා සංසාර ගමන නවතා දමනවා. දැනට තමාට තිබෙන සිරුර තමා ලබා ගන්නා අන්තිම ශරීරය බවට පත් කර ගන්නවා. ඒ කියන්නේ සියළු කෙලෙස් ප්‍රහීන කරලා උතුම් අරහත් තත්වයට පැමිණ වාසය කරනවා.
මේ පිළිබඳව සාකච්ඡා කරනකොට අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතු කරුණු රාශියක් අප තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට සූත්‍ර දේශනා ගණනාවකදී දේශනා කළා.අද අපි මේ පින්වතුන්ට කියා දීමට කල්පනා කළේ අංගුත්තර නිකායේ ද්විතීය භාගයේ චතුක්ක නිපාතයේ භණ්ඩගාම වර්ගයේ පළමුවැනි සූත්‍රය. ඒ සූත්‍රයේ නම අනුබද්ධ සූත්‍රයයි. ඒ කාලයේ උන්වහන්සේ වැඩ සිටියේ වජ්ජි රට භණ්ඩ ගාමයේ. පින්වත් භික්ෂූන් වහන්සේලාට උන්වහන්සේ මේ කරුණ දේශනා කළා.
"චතුන්නං භික්ඛවේ ධම්මානං අනනුබෝධා අප්පටිවේධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්ගච්ම තුම්හාකඤ්ච කනමේසං චතුන්නං"

පින්වත් මහණෙනි, කරුණු හතරක් අවබෝධ නොකිරීම නිසා පසක් කර නොගැනීම නිසා ඔබත් මමත් මේ සංසාරයේ මෙසේ දීර්ඝ කාලයක් භවයෙන් භවයට ගමන් කළා. ඇවිද්දා.මොනවද ඒ කරුණු හතර කියලා ඊළඟට උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කළා.

පළමුවනි කාරණය තමයි ආර්යකන්ත වූ සීලය අවබෝධ නොකිරීම. ප්‍රත්‍යක්ෂ නොකිරීම.අපි සිල් ගන්නවා කිව්වට ඒ උතුම් සීලය ඉතා ප්‍රවේශමෙන් ආරක්ෂා කරන්නේ නැත්නම් සංසාර ගමන නවත්වන්න බැහැ.අපි දැනුත් සිල් ගන්නවා. සිල් සමාදන් වෙනවා.හැබයි ඒ සීලය ආර්යකාන්ත සීලයක් බවට පත්කර ගන්නේ නැහැ.දැන් මේ කාරණය පිළිබඳව අපි හොඳින් විමසා බලන්න ඕන. මේ සීලය කියන දේ හරියට පුරා ගන්න බැරි වුණු නිසා තමයි අපි තවමත් සංසාරයේ ඇවිදින්නේ. අපි සංසාරයේදී සිල් රැකලා තිබෙනවා. ඒ වුණාට ඒ සීලය ආර්යකාන්ත සීලයක් වෙලා නෑ. උසස් උතුම් සීලයක් වෙලා නැහැ.ඒ නිසා නේද අපිට තාම නිවන් අවබෝධ කර ගන්න බැරි වුනේ බලන්න ඔබ බුද්ධිමත්ව කල්පනා කරලා ඇත්ත නොවේද කියලා? එතකොට බුදු රජාණන් වහන්සේගේ මහා ප්‍රඥාවට හසුවුණා යමෙක් සීලය උත්තරීතර තත්වයට දියූණු කර ගත්තේ නැත්නම් මේ සංසාරයෙන් නිදහස් බැරි බව.

මොකක්ද මේ සීලය කියන්නේ. කයයි,වචනයයි සංවර කර ගැනීම. ඒ කියන්නේ කයෙන් කෙරෙන වැරදි වලින් සහ වචනයෙන් කෙරෙන වැරදි වලින් වෙන්වීම. එතකොට ඔබ බලන්න ඔබගේ ජීවිතය දිහා. අනුන්ගේ සිල් බැලුවට වැඩක් නැහැ. තමන්ගේ සීලය ගැනයි බලන්න ඕන. හැබයි අනික් අයට සීලයෙන් උපකාර කරන්න පුළුවන්. කෙනෙකුට කළ්‍යාණ මිත්‍රයෙක් හැටියට සිල්වත්ව ඉන්න උපකාර කරන්න පුළුවන්. ඔබට මේ ජීවිතයේදී සසරින් එතෙර වීමට අවශ්‍ය නම් ඔබ සිල් රකින්න ඕන ඒ අරමුණෙන්මයි. කාටවත් පේන්න නොවෙයි. ඒ භග්‍යවතුන් වහන්සේගේ උතුම් බුද්ධ වචනයට ගරු කර. ඒ වචනය අදහගෙනමයි සිල් රකින්න ඕන. යම් කෙනෙක් ආර්යකාන්ත සීලයක, ඒ කියන්නේ සිදුරු නැති සීලයක පිහිටියොත් ඒ උතුම් ශ්‍රාවකයාට මේ ජීවිතයේදීම සසර ගමන නතර කරන්න පුළුවන්.කියන එක පැහැදිලියි, ස්ථාවර පරම සත්‍යක්. එතකොට ආර්ය සීලයක පිහිටි කෙනා ඉතා ප්‍රවේශමෙන් සිල්පද ආරක්ෂා කර ගන්නවා.

කිසිම සතෙක් මරන්නේ නැහැ. අල්ප වූ හොරකමක් කරන්නේ නැහැ. කිසිම වැරදි කාම සේවනයක යෙදෙන්නේ නැහැ. ඕන තරම් අවස්ථා තිබෙන්න පුළුවන්.ඕන තරම් පුද්ගලයන් ඒවාට අනුබල දෙන්න පුළුවන්.හැබයි මෙයා ඒ ලාමක දේවල් වලට කැමති වෙන්නේ නැහැ. මොකද ඒ ලාමක තාවකලික සැපයන් අත්හැරියම මෙයාට සදාකාලික සැපය ලැබෙනවා.ඊළඟට මෙයාට කොච්චර අවස්ථා ආවත් බොරු කියන්නේ නැහැ.එයා වචන රැක ගන්නවා.කේලම් බස් කියන්නේ නැහැ. නපුරු වචන කියන්නේ නැහැ. වැඩකට නැති හිස් වචන කියන්නේ නැහැ. ඔය විදිහට තමා රකින සීලය ඉතාම උසස් අන්දමින්, කැඩෙන්නට නොදී සිදුරු රහිතව රැක ගන්නවා.

ජීවිතය පරදුවට තියලා හරි සීලය ආරක්ෂා කර ගන්නවා. කන්න නැතිව බැරි වුණත් හොරකම් කරන්නේ නැහැ.එයා සිල්වත්ව ඉදගෙන හිඟාකනවා. මොකද කන බොන එක නෙවෙයි ප්‍රශ්නය. නැවත නැවත ඉපදෙන,ලෙඩවෙන, වයසට, ජරාවට පත්වෙන මැරෙන ලෝකයෙන් නිදහස් වෙන එක තමයි අපිට තිබෙන දෑවැන්තම ප්‍රශ්නය.ඒ නිස මේ අපිට ලැබී තිබෙන උදාරම අවස්ථාව ආර්ය වූ සීලය දියුණු කරන්න. අපි උත්සහ කරන්න ඕන මේ ජීවිතයේදී ඒ ආර්ය සීලය දියුණු කරන්න.
ඊළඟට පින්වතිනි, අප තථාගතයන් වහන්සේ දේශනා කරනවා අප මේ තාක් සංසාරයේ දිව්වේ, ඇවිද්දේ තවත් එක් කරුණක් නිසා කියල. ඒ තමයි අප විසින් ආර්ය වූ සමාධිය අවබෝධ කර නොගත් නිසා. ප්‍රත්‍යක්ෂ කර ගත්තේ නැති නිසා මොකක්ද මේ ආර්ය වූ සමාධිය කියන්නේ. ඒ තමයි සම්මා සමාධිය. ආර්ය වූ සීලයක පිහිටියාට පස්සේ අපිට ආර්ය වූ උතුම් සමාධිය ඇති කර ගන්න පුළුවන්. දැන් ඔබ බුද්ධිමත්ව මොහොතකට කල්පනා කර බලන්න ඔබ ආර්ය වූ සමාධියක් ඇති කර ගන්න මහන්සි වෙනවද කියලා.සමහරු අඩුම තරමින් ඒ සමාධිය ඇති කරගන්න උපකාරිවන සමථ - විදර්ශනා වඩන්නවත් ඒ කියන්නේ සුළුවෙන් වත් භාවනා කරන්න කල්පනා කරල නැහැ.එතකොට මේ සංසාරේ අපි තාම දුවන්නේ ඒ නිසා නේද?එහෙම නම් අපි පිරිසිදු සීලයක, ආර්ය සීලයක පිහිටා භාවනා වඩනකොට අපට ආර්ය වූ සමාධිය ඇති කරගන්න පුළුවන්.ආර්ය වූ සමාධිය නැතිව අපිට ආර්ය වූ ප්‍රඥාව පහළ කර ගන්න බැහැ.අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ඊළඟට වදාරන්නේ ඒ කාරණාව.

ඒ කියන්නේ මේ තාක් කල් උන්වහන්සේත් ශ්‍රාවක භික්ෂූ සංඝයාත් සසරේ දිව්වේ, අවිද්දේ ඒ උතුම් ප්‍රඥාව අවබෝධ කර ගත්තේ නැති නිසා.මොකක්ද මේ උතුම් ප්‍රඥාව. ඒ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය.දුක,දුකඇතිවීමට හේතුව,දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගයයි.එතකොට අපිට තවමත් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධවී නැති නිසා නේද මේ සසර ගමනනැවතිලා නැත්තේ. එහෙම නම් අපි පුදුම විදිහට වෑයම් කරන්න ඕන ඒ ආර්ය ප්‍රඥාව ඇති කරගන්න.

ඊළඟට පින්වතුනි, උන්වහන්සේ දේශනා කරනවා සංසාරයේ දිවීමට, ඇවිදීමට සිදුවුණේ ආර්ය වූ විමුක්තිය අවබෝධ නොවීම නිසා කියලා. එතකොට සියලු කෙලෙසුන්ගෙන් නිදහස්වීම තමයි ආර්ය වූ විමුක්තිය කියලා කියන්නේ තමන් සියලු දුකින් නිදහස් වුණා ආර්ය අවබෝධයට පත්නොවුණ නිසා වෙනත් වචන වලින් ඒ උතුම් විමුක්තිය සාක්ෂාත් නොවුණ නිසා තමයි මේ සා දීර්ඝ කාලයක් සංසාරයේ දිගට දුවන්න සිදු වුනේ. ඇවිදින්න සිදුවුණේ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන ඒ ආර්ය වූ විමුක්තිය මේ ජීවිතයේදීම පසක් කර ගන්න.

ඉන් පසුව පින්වතුනි, බුදුරජානන් වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේ ඒ ආර්ය වූ සීලයත්, ආර්ය වූ සමාධියත්, ආර්ය වූ ප්‍රඥාවත්, ආර්ය වූ විමුක්තියත් අවබෝධ කර ගත්තා කියලා.ඒ වගේම ප්‍රත්‍යක්ෂ කර ගත්තා කියලා. ඉතින් උන්වහන්සේ භව තෘෂ්නාව සිඳ දමා නැවත උත්පත්තියකට පත් නොවන බව දේශනා කොට වදාළා. ඒ නිසා අපත් මේ ජීවිතයේදීම ඒ උතුම් කරුණු හතර අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන මේ ඝෝර වූ සසර ගමන නවතා දමමු.
පූජ්‍යපාද පොල්පිටිමුකලානේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ

Nessun commento:

Posta un commento