දුක නම් වූ ආර්ය සත්‍ය - දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය

giovedì 22 dicembre 2011

විපත් පත් ලොවට ඇති එකම රැකවරණය


නොබෝ දිනකින් එළැඹෙන 2012 වසර තුළදී ස්‌වාභාවික පරිසරයේ ඇතිවන අති බිහිසුණු කැළඹීම් නිසා සමස්‌ත ලෝකවාසී ජනතාවට දරුණුතම අත්දැකීම්වලට මුහුණදීමට සිදුවිය හැකි බවට අනාවැකි පළවෙමින් තිබේ. අනපේක්‌ෂිත මහා වර්ෂා, ජල ගැලීම්, සුළිසුළං හා භූකම්පන අන් හැම කාලයකටම වඩා ගෙවී යන මෙම වසරේ දී මිනිස්‌ ජීවිතවලට බලපා ඇති බැව් දැනටමත් ලොව නන් දෙසින් ලැබී ඇති තොරතුරුවලින් අනාවරණය වී තිබේ. පසුගියදා අප රට හරහා හමාගොස්‌ දකුණේ ගම්බිම් හා ජීවිත රැසක්‌ වැනසූ සුළි සුළඟද එබන්දකි. මේ තත්ත්වය එන්ට එන්ටම දරුණු වන ලකුණු පහළව ඇත. මිනිසාට පමණක්‌ නොව ලොව මොනම බලවේගයකටවත් පාලනය කළ නොහැකි මෙම විපත්වලට අප මුහුණ දිය යුත්තේ කෙසේද, ඊට අප හැම සූදානම්ද යන පැනය අප අපගෙන්ම විමසිය යුතුව තිබේ.

දිනෙන් දින වර්ධනය වන විද්‍යා තාක්‌ෂණ දැනුමෙන් ලොව ජය ගැනීමට කැසකවන නූතන විද්‍යාඥයන්ට මේ ස්‌වාභාවික විපත් වළකා ගැනීමට අවශ්‍ය පිළියම් සොයාගත නොහැකිය. විද්‍යා තාක්‌ෂණයේ විස්‌මයජනක නව නිපැයුම්වලින් ලෝකය භෞතික වශයෙන් දියුණුවක්‌ ලැබුවද ආධ්‍යාත්මික අතින් දරුණු පරිහානියකට පත්ව තිබීම ඊට හේතුවයි. මොහොතින් මොහොත අනිත්‍යතාවට පත්ව වෙනස්‌ වන ලෝකයේ ස්‌වභාවය අවබෝධයෙන් හඳුනාගෙන ඉන් ජයගත හැකි මඟ පෙන්වා දුන් සැබෑම විද්‍යාඥයා වූයේ බුදුරජාණන් වහන්සේය. ස්‌වභාව ධර්මයේ යථා ස්‌වභාවය හා එහි අනියත බව ලෝවැසියා කෙරෙහි මහා කරුණාවෙන් පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේගේ දහම් මඟ නිවැරැදි ලෙස හඳුනාගත් සත්පුරුෂයන්ට පමණි ලොව පෙළන මහා විපත්වලට නොසැලී මුහුණදී ආධ්‍යාත්මික විමුක්‌තිය සාක්‌ෂාත් කරගත හැක්‌කේ.

දෙව් මිනිස්‌ දෙවර්ගයාගේම ජීවිතයට තිබෙන බලගතුම රැකවරණය වූ කලී තෙරුවන් ආශිර්වාදය බව ලෝකවාසී ජනයාගෙන් සිහිපත් කරන්නේ ඉතාම ටික දෙනකු පමණි. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය මුණගැසෙන තෙක්‌ කෙනකුගේ ජීවිතයට ආරක්‌ෂාවක්‌ නොමැති බව වටහාගෙන ඇත්තේ යථාවබෝධයෙන් යුතුව ඒ දහම් මඟට පිළිපන් ආර්ය ශ්‍රාවකයන් පමණි.

තිසරණය කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක්‌ නැති පෘථග්ජන පිරිස බුදු දහමට පටහැනි නොයෙක්‌ මිථ්‍යා ඇදහිලි පසුපස හඹා යන්නේ ලෞකික සැප සම්පත් කෙරෙහිම සිත මෙහෙයවා ඇති හෙයිනි. විවෘත ආර්ථික ක්‍රමය හා ගෝලීයකරණය හමුවේ ධර්මයට නැඹුරුවන පිරිසට වඩා අධර්මය කෙරේ සිත යොමු කරන පිරිස වැඩිය. කරදර, කම්කටොලු, ආර්ථීක පීඩා, ලෙඩ දුක්‌ ජීවිතය පෙළන කල්හි සසර පැවැත්ම පිළිබඳ යථාවබෝධයක්‌ නොමැති අය නොයෙක්‌ අදෘශ්‍යමාන බලවේග කෙරෙහි විශ්වාසය තබනු දැක්‌ක හැකිය. වන්දනාමානය පවා ඒ අය යොදා ගන්නේ ආත්මාර්ථකාමී පටු අදහස්‌ සඵල කරගැනීම සඳහා ය.

දිවයිනේ බොහෝ විහාරස්‌ථානවල පූජනීය වස්‌තුවක්‌ වන බෝධීන් වහන්සේ වන්දනා කිරීම පිළිබඳ වත්මන් පිළිවෙත් විමසන විට ඉහත කී ස්‌වරූපය මනාව පෙනී යයි. අතට හසුවන මානයේ ඇති සෑම බෝධි ශාඛාවකම මල්වැල්, විවිධ වර්ගයේ කොඩි, කුඩා බැනර් එල්ලා ඇති අයුරු බලන කල්හි මේවා බෝධීන් වහන්සේට පිදෙන ගරු පූජාදැයි විමතියකි. කපුටන්ගේ හා නයින්ගේ රූප අඳින ලද සුදු රෙදි බෝධි ශාඛාවල අතරින් පතර එල්ලෙමින් තිබේ. "සෝමලතාගේ අපලය දුරුවේවා ·", "දෙමවුපියන්ට නිරෝගී සුව ලැබේවා", "නන්දනී දුවගේ විවාහය සාර්ථක වේවා" ආදී වශයෙන් විවිධාකාර ප්‍රාර්ථනා බෝධි ශාඛාවල එල්ලා ඇති අයුරු දැකිය හැකිය. මේ ආකාරයේ මිථ්‍යා දෘෂ්ටීන් බෝධි ශාඛාවල එල්ලීම පාප කර්මයක්‌ බව ඒ බැතිමතුන්ට වටහාදීමට ඉදිරිපත් වන අය අද ඉතා විරලය. චතුරාර්ය සත්‍යය අවබාaධ කොට නිවන් මඟ සාක්‌ෂාත් කරගැනීමට බුදු රජාණන් වහන්සේට සෙවණ දුන් බෝධීන් වහන්සේ සිහිපත් කොට ඊට වන්දනාමාන කරන්නේ නම් කොතරම් අර්ථවත්ද? එසේ තිබියදී පඬුරු ගැටගැසීම්, විවිධ කොඩි බැනර් එල්ලීම් ආදී ක්‍රියාවන්ගෙන් බුදුරජාණන් වහන්සේට අගෞරවයක්‌ වන බව ඉහත ආකාරයේ බෝධි පූජා පවත්වන අයට නොවැටහීම අභාග්‍යයකි. තෙරුවන කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක්‌ කෙනකු තුළ පවතින්නේ නම් මෙබඳු ළාමක පිළිවෙත් කිරීමට පෙළඹෙන්නේ නැත.

විහාරස්‌ථානයන්ගෙන් බැහැරව ඇතැම් බොදුනුවන් විසින් සිදු කරනු ලබන මිථ්‍යා ඇදහිලිවලද දැකිය හැක්‌කේ පෙර කී පුද පූජාවලට වඩා ශෝචනීය තත්ත්වයකි. දුක්‌ තැවුලින් පිරි ජීවිතයට රැකවරණය පතා මිසදිටු වත් පිළිවෙත්වල පිහිට පතමින් ඒ මේ අත දුවමින් වෙහෙස වීම මිරිඟුවක්‌ පසුපස ලුහුබඳින වැන්න. නක්‌ෂත්‍ර ග්‍රහ අපල උපද්‍රව ඇතැයි කෙනකු කී පමණින් නීච කුල වශී බන්ධන ගුරුකම් ආදිය ගැන විශ්වාසය තබා එයට පිළියම් සෙවීම අඳුරේ අතපත ගෑමක්‌ වැනිය. එයින් දුගී ජනයා තව තවත් අගාධයට වැටෙනු විනා තම ජීවිත පරමාර්ථ සඵල කර ගැනීමේ මඟක්‌ කරා ගමන් කරනු දැක්‌ම උගහටය. කේන්ද්‍රයේ කොයි තරම් හොඳ කාලයක්‌ ලබා තිබුණද සුබ නැකැත් සුබ නිමිති බලා රාහු කාලය මඟහැර ගමනක්‌ පිටත් වී ගියද කෙනකුගේ ජීවිතයට ආරක්‌ෂාවක්‌ නොසැලසේ. ඉපදුණු නැකත බලා ජීවිතයේ හැම දෙයක්‌ම ආරම්භ කිරීමට අපි පුරුදු වී සිටිමු. නැකතට අකුරු කියා පාසල් යැම, නැකතට විවාහ ජීවිතයට පිවිසීම, ගෙවල් හැදීම නැකතකින් ආරම්භ කිරීම ආදිය කාලාන්තරයක්‌ මුළුල්ලේ අප ඇබ්බැහි වී සිටින චාරිත්‍රයන්ය. එහෙත් ධර්මයේ පිහිට නොලද ජීවිත සැමදා අඳුරේ බව අපට පසක්‌ කොටදී ඇති අවස්‌ථා කෙතෙක්‌ තිබේද?

අනවරාග්‍ර සංසාරයේ අඳුරේ ගැලී සිටි ලෝකයාට හිරු උදා වූයේ බුදුරජාණන් වහන්සේ නමක්‌ පහළ වීමෙන් පසුවය. මඟ බැස ගියද අනතුරක්‌ නොමැතිව නිර්භයව ගමන් කළ හැක්‌කේ ඒ හිරු පායා ආලෝකමත් වූ මඟක ගියහොත් පමණි. මහ මැදුරු, ගෙඋයන් විදුලි එළියෙන් ඒකාලෝක කොටගෙන බැබළුණත් දහමේ ආලෝකය ලබා නොමැති නම් එහි වෙසෙන ජීවිත සදා අඳුරේය.

අවුරුදු දෙදහස්‌ හයසියයක කාලයක්‌ මුළුල්ලේ බුදු දහමේ ආලෝකය ලද ආර්ය ශ්‍රාවක ජනකාය සුගතිගාමී වූ අයුරු හෙළි කෙරෙන අපමණ නිදසුන් ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථයන්ගෙන් මෙන්ම බෞද්ධ කතා සිරිත් සයුරින් හෙළිවෙයි. තෙරුවනේ අනන්ත බලය හේතු කොටගෙන ලැබෙන මඟඵල කවරේද යන්න අඬබෙර ගසා පළකළ හැක්‌කක්‌ නොවේ. "මම සෝවාන් ඵල ලබා ඇත්තෙමි. අනාගාමී වී ඇත්තෙමි" යෑයි තමන්ම හඳුන්වාගත් එකදු ආර්ය ශ්‍රාවකයකු ඒ සා දිගුකාලීන බෞද්ධ ශාසන වංශයෙන් හමු නොවේ. මඟ පල ලැබීම වූකලී පරම නික්‌ලේශී සිතක ඇති වන මහා ආධ්‍යාත්ම බලයකි. ඒ ආධ්‍යාත්ම බලය හෑල්ලුවට ලක්‌ කිරීම බුදු දහමට කරන මහත්ම අපහාසයකි.

බුදුරජාණන් වහන්සේට ගරහමින් උතුම් දහම් මඟට පිටුපා වෙනත් දෘෂ්ටීන්හි බැස ගැනීමෙන් සමාජයට අත්වූ ඉරණම ගැන අතීත අත්දැකීම් පසෙක ලා මෑත යුගයේ සිදුවීම් දෙස බැලීමෙන් වුවද වටහාගත හැකිය. ඇµaගනිස්‌ථානයේ බාමියන් බුදු පිළිම විනාශ කළ ත්‍රස්‌තවාදීන්ට හා ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි විහාරාරාම හා සෑමළු වැනසූ මිසදිටුවන්ට එම දුෂ්ට ක්‍රියාවන්හි විපාක විඳින්නට සිදුවිය. එසේම තෙරුවන්ට නොයෙක්‌ ලෙසින් නිග්‍රහ කරමින් දුගී දුප්පත් අසරණ ජනයා ලාභ ලෝභවලට පොළොඹවා මුළාකළ දේවදූතයන්ට අත්වූ ඉරණම ඉතා ප්‍රකටය. පින්වත් සෝම ස්‌වාමීන් වහන්සේ දැයට අහිමි කළේ ඔවුන්ය. ඔවුහු තවමත් එහි විපාක විඳිති. සියලු දෙව් මිනිසුන්ට, සතුන් පමණක්‌ නොව තුරුලිය, වන ළැහැබ්, ගංගා, සමුදුර සහිත මුළුමහත් ධරණී තලයටම අපරිමිත මෙත් සිත පතුරුවාලූ මහා කාරුණිකයාණන් වහන්සේට හා උන්වහන්සේ දෙසූ දහමටද ආර්ය සංඝයාටද ගරහන සමාජයක ආයුෂ කෙටිය. ඔවුන්ගේ මතු අත්බව ඒකාන්ත වශයෙන්ම අපායගාමී වන්නේය.

ආර්ය ශ්‍රාවකයා වශයෙන් හැඳින්විය හැක්‌කේ තිසරණය කෙරෙහි අවෙච්ච ප්‍රසාදය හෙවත් නොසැලෙන ශ්‍රද්ධාව ඇති සත්පුරුෂයාටය. ආර්ය ශ්‍රාවකයා හා පෘථග්ජනයා අතර වෙනස නොහඳුනන බෞද්ධ පිරිස්‌ කොතෙකුත් සිටිති. ගිහිව වෙසෙන හැමදෙනා පෘථග්ජනයන් ලෙස හඳුන්වන්නට අද සමහර යතිවරුන් පවා පුරුදුව සිටින බව පෙනී යයි. එහෙත් පෘථග්ජනයා යනු තෙරුවන කෙරෙහි ප්‍රසාදය නොදක්‌වන පාපකාමී ගතිගුණ ඇති තැනැත්තෙකි. ආර්ය ශ්‍රාවකයා එසේ නොවේ. තුනුරුවනේ සරණ මිස අන් සරණක්‌ ඔහුට නැත. මනා පැහැදීමකින් යුතුව ඔහු අවබෝධයෙන්ම තෙරුවන් ගුණ සිහි කරයි. ඔහු බිය තැති ගැන්මක්‌ හටගත් විට තෙරුවන සිහි කරයි. දුකක්‌, කරදරයක්‌ පැමිණි විට තෙරුවන් ගුණම මතකයට නංවයි. සතුටක්‌ එළැඹි විටදීත් එසේමය. බුදුරජාණන් වහන්සේ එක්‌ අවස්‌ථාවකදී ඡේතවනාරාමයේ වැඩ වාසය කරන කල්හි සංඝයා වහන්සේ අමතා දේශනා කළ ධජග්ග සූත්‍රයෙන් කියෑවෙන්නේ මේ පරම සත්‍යයයි.

"පින්වත් මහණෙනි, මහා වන ළැහැබක්‌ මැද හෝ ශූන්‍යාගාරයක හෝ වෙසෙන කල්හි මා ගැන සිහි කරන්න. එවිට ඔබට බියක්‌, තැතිගැන්මක්‌, ලොමු ඩැහැගැනීමක්‌ සිදු නොවන්නේය. ඉදින් මා ගැන සිහි නොකරන්නාහු නම් මා විසින් මැනවින් දේශනා කරන ලද නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මය සිහි කරන්න. එවිට බිය තැතිගැන්වීම්, ලොමු ඩහැගැනීම් සිදු නොවන්නේය. ධර්මය සිහි නොකරන්නාහු නම් ලාවට උතුම් පින්කෙත වූ ආර්ය මහා සඟරුවන සිහි කරන්න. මෙසේ තෙරුවන සිහි කරන්නාවූ ඔබට කිසිදු බියක්‌, තැති ගැනීමක්‌, ලොමු ඩැහැගැනීමක්‌ ඇති නොවන්නේය.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ලොව සියලුම විද්‍යාවන් අභිබවා පවතී. නූතන විද්‍යාව විසින් සොයා ගන්නා ලද කිසිවක්‌ ඒ අසලකටවත් ළං කළ නොහැකිය. කාන්දම්, ආකර්ෂණ ශක්‌තිය හා විද්යුත් බලය ඕනෑම වස්‌තුවකට කාවැද්දිය හැකි බව නවීන විද්‍යාව විසින් පසක්‌ කොටගෙන ඇති පරම නිෂ්ටාවකි. එහෙත් තෙරුවනේ බලය ඒ හැම ශක්‌තියකටම වඩා විස්‌මයජනකය.

අවබෝධයෙන් හා පැහැදීමෙන් යුතුව ධර්මය සිහිකිරීම් මාත්‍රයෙන් සියලු උපද්‍රව දුරුකළ හැකි බව ඉහත කී ධජග්ග සූත්‍රය උගන්වන උතුම් පාඩමයි. "සම්පත්ත මානය" හෙවත් උවදුරුවලින් විනිර්මුක්‌ත පවිත්‍රතාව ලැබිය හැක්‌කේ ධර්මය සිහි කිරීමෙන් පමණි. බුද්ධ ධර්මයේ ශක්‌තිය සියලු ලෝක විෂය ඉක්‌මවා යන අචින්ත්‍ය බලවේගයකි.

"ඛයං විරාගං අමතං පණීතං
යදජ්ජධගා සක්‍යමුනී සමාහිතො
නතේන ධම්මේන සමත්ථි කිඤ්චි"

සියලු කෙලෙස්‌ ප්‍රහීන කරන, වීතරාගී වූ අමා නිවන් මඟට යොමු වූ යම් දහමක්‌ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ද ඒ දහමට සමකළ හැකි කිසිදු විද්‍යාවක්‌ ලෝකයේ නැත්තේය.

එබඳු උතුම් දහම් මඟක පිළිසරණක්‌ අපේක්‌ෂා කරනු වෙනුවට මිථ්‍යාදෘෂ්ටීන් හි පිහිට සොයමින් ජීවන ගැටලුවලට පිළියම් සෙවීමට හා විපත් උපද්‍රවවලින් මිදීමට මං සොයා යැම අඳුරේ ගමන් කිරීමක්‌ වැන්න.

දයාපාල ජයනෙත්ති

1 commento:

  1. The ceramic vs titanium curling iron - Titanium Arts
    Our ceramic vs titanium curling titanium rimless glasses iron features ceramic vinicles on an alloy surface in titanium curling iron which the ceramic titanium guitar chords core sia titanium is titanium bikes removed.

    RispondiElimina