දුක නම් වූ ආර්ය සත්‍ය - දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය

giovedì 22 dicembre 2011

කිරි ඉතිරේවා නව වසරේ!.....................

කිකිළියක් බිත්තර දාලා ඒ බිත්තර රකින්නේ නැතුව ඇවිද ඇවිද ඉන්නවා. "මේ බිත්තර වලින් පැටව් එලියට ඒවා" කියලා කිකිළි කොපමණ ප්‍රාර්ථනා කළත් පැටව් එළියට එන්නේ නැහැ. තවත් කිකිළියක් ඉන්නවා එයා නම් බිත්තර දාල ඒවා හොඳට උණුසුමට රකිනවා. මේ බිත්තර වලින් පැටව් එළියට ඒවා ඒ කිකිළි ප්‍රර්ථනා කළත්, නැතත් ඒ පැටව් ලැබෙනවා. ඒ වගේ යම්කිසි ප්‍රතිඵලයක් ලබන්නට යම් වැඩපිළිවෙලක්, ප්‍රතිපදවක් ඇත් ද,එය අනුගමනය නො කිරීමෙන් ඒ අපේක්ෂිත ප්‍රතිඵලය ලබන්නට නොහැකියි.

බිත්තර දැම්මෙමු ඔහේ ඇවිද්දෙමු

ඒ කාරණාව අපට පැහැදිලි කරලා දුන්නෙත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්ම යි. එතෙක් අපි කළෙත් කිකිළි බිත්තර දාලා පැටව් එනකල් ඇවිද ඇවිද හිටිය වගේ වැඩක්. මීට 11 වසරකට පෙර දවසක් ගෙවිලා තවත් දවසක් උදා වුණා. බොහෝ දෙනාට අමතක නම නැතුව ඇති. ඒ නව සහස්‍රකයේ ඇරඹුම සනිටුහන් කරමින් 1999 වසර අවසන් වී වර්ෂ 2000 උදා වූ දවසයි.නමුත් අපි බොහෝ දෙනා අමුතු දවසක් උදා වෙනවා වගේ, අමුතු ඉරක් පායනවා වගේ නොයෙක් නොයෙක් දේ කළා.තම තමන් කළ නොකල දේ වදාත් හොඳින් මතක තම තමන්ටම නේ. නමුත් සිදු වුණ එකම දේ වෙනදා වගේම ඉර බැස ගිහින් පසුදා හිරු උදා වුණ එක විතරයි.ඒ ඉර බැහැල ගියේ තවත් පැය 24 කින් ජීවත් වෙන්න තියෙන අපේ ආයුෂත් අරගෙනයි.

කළ යුතු දේ පැත්තක තියෙලා ප්‍රර්ථනා බලාපොරොත්තු ගොන්නකින් හිත පුරවා ගත්තා. ඉහලට ගත් හුස්ම පොද පහලට හෙළන්න කලින් උරුම විය හැකි මරණය ගැන යමෙකුට සිහි වූයේ නම් ඒ ඉතාම කලාතුරකින්. ඒ අවුරුද්ද අවසන් වන විට මුලින් සිදු කළ ප්‍රර්ථනා ගොන්න වත් මතක තිබුනාදෝ යි සැක සහිතයි. ඒ තරම් ම ප්‍රබල මායාවක්.

කාළකණ්ණී දවසක්

හැම අවුරුද්දේම අවසන් වන දවසත්, එළඹෙන අවුරුද්දේ මුල් ම දවසත් අපි නොදැනුවත්වම කාළකණ්ණී කර ගත්තා. කෑවා, බිව්වා, නැටුවා, එළි වෙනකල් පුටුව උඩට වෙලා ටී.වී. බැලුවා.සමහරු වෙරි මරගාතේ. හැමෝ ම පහුවදා ත් දවල් වෙනකල් ම බුදි.

මඟ හොඳට තිබේ නම්..... දෑසත් හොඳට පෙනේ නම්.....

ක්ෂණ සම්පත්තියෙන් අපිට ලැබුණ ජීවිතේ සුන්දර දවසක් අපි විහින් අකුසල් කන්දක් කරගත්තා.යම් කෙනෙක් යම් දවසක තෙරුවන් සිහි කරයි නම්, කුසල් දහම් කරයි නම් ඒ දවස එයාට සුභ දවසක්. සුභ මොහොතක්.අවුරුද්දේ කුමන දවසක වුණත් කල යුතු වැඩපිළිවෙල නම් මැදුම් පිළිවෙතයි.ය යුතු මග නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. මග පැහැදිලිව නිරවුල් ව තිබිය දී නොමග ගියහොත්, කරත්තයේ රෝදත් කඩාගෙන අතරමං වී කල්පනා කර කර දුක් වෙන්නයි සිදු වෙන්නේ.ඒ නිසා පසු නො තැවෙන ජීවිතයක් ලබන්නට කැමති නම් යා යුත්තේ නිවැරදි මග මයි.

සමරන්නට සුවිශේෂී දවස් 12ක් අවුරුද්ද පුරාවටම බෞද්ධ අපට තියෙනවා. ඒ සෑම මසකම පසළොස්වක පෝය දවසයි. ඊටත් වඩා සමරන්නට කැමති නම් දින 48ක් සතර පෝය සමරමින් ගත කරන්නට ත් පුළුවන්.ඉන් ජීවිතයට සැලසෙන්නේ යහපතක් මයි.

ලඟ ලඟ එන 2011 වසරේ අවසාන දිනයත් අභ්‍ය සම්පන්න දිනයක් නොකර ගැනීමට අපි බුද්ධිමත් වෙන්න ඕන. ලබන්න වූ වසර සාර්ථක කර ගන්නට, බලාපොරොත්තු ඉෂ්ඨ කර ගන්නට කියා අසත්පුරුෂයන් විසින් හුදෙක් වාණිජමය අරමුණු මත පිහිටා නොයෙක් මාධ්‍ය ඔස්සේ අධර්මයන් පතුරුවන්නට දැනටමත් පටන් අරන්. නමුත් ඒ අනතුරු වලින් මිදී, බුද්ධිමත්ව, බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයන් ලෙසින් කටයුතු කිරීමට අප වග බලා ගතයුතු වෙනවා.

ගලේ කෙටුවත් වඩක් නෑ...........

හිතේ තියෙන බලාපොරොත්තු නව වසරේ ඉෂ්ඨ කර ගන්න කියලා හිතාගෙන පොතේ ලියාගෙන තැබුවත්, ගලේ කොටලා තිබ්බත්, ඊට කලින් ඔබ මැරුනොත් ඒ බලාපොරොත්තු නිකන්ම නිකන් හිස් අකුරු ටිකක් විතරයි.ඒ වගේම ඒ අපේක්ෂාවන් ඉබේ ඉටු වෙන්නෙත් නෑ.ඊට අදාල ප්‍රතිපදාවන් අනුගමනය කල යුතුයි.

ලොව පරම සත්‍ය දේශනා කළේ මුල-මැද_අග පිරිසිදු වූ අකාලික ධර්මයක්. මේ ජීවිතයේ දීම දකින්නට පුළුවන් ඒ සිරි සදහම් ඕනෑම කෙනෙකුට ඇවිත් බලන්න පුළුවනි. ඒ සොදුරු වූ අකාලික මුනි දහම තමා තුලට පමුණුවාගෙන තම තම නැණ පමණින් අවබෝධ කර ගන්නා සුභ ම සුභ නව වසරක් වේවා!

මහාමේඝ

Nessun commento:

Posta un commento