දුක නම් වූ ආර්ය සත්‍ය - දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය

domenica 25 dicembre 2011

මේ ගමනේ අරුත වටහාගනිමු

සසර සැරි සරන සත්ත්වයන්ගේ ජීවිතවල යථා ස්වභාවය පහදා දෙමින් බුදු පියාණන් වහන්සේ විසින් වදාරා ඇති සූත්‍ර දේශනාවන්ගේ ගණන මෙතෙකැ යි දැක්වීම පහසු නො වේ.

ඛන්ධ සූත්‍රයෙන් පැහැදිලි කෙරෙන්නේ ද ඒ සංසාරික පැවැත්මට අදාළ වූ ධර්මතාවකි. දැන් අපි ඛන්ධ සූත්‍ර දේශනාව කෙරෙහි අපගේ අවධානය යොමු කොට, ඒ පිළිබඳ මඳක් නුවණින් විමසා බලමු.
එම සූත්‍රයෙහි ආරම්භයේ ම රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යනුවෙන් වචන පහක් දැක්වෙයි. මේ පාලි වචනවලින් බුදු පියාණන් වහන්සේ අපට හඳුන්වා දී ඇත්තේ මොනවා දැ යි තේරුම්ගැනීමට පළමුවෙන් ම අපි උත්සාහ කරමු. මෙහිදී අපට අවශ්‍ය වන්නේ මේ එක් එක් පාලි වචනය පිළිබඳ අටුවා - ටීකා සොයා යෑම නම් නො වේ! අපට අවශ්‍ය වන්නේ ඒ වචන පහෙන් පැවසෙන මූලික පණිවිඩය වටහාගැනීම පමණි.

ඉතා සරල ව කිව හොත්, මේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන වචනවලින් පැවසෙන්නේ අපගේ ම ජීවිත පැවැත්ම පිළිබඳ කතාව යි. එහි රූප යන්නෙන් ඇස්, කන්, නාසාදි ඉඳුරන් සහිත අපගේ මේ ශරීරයත්, ඊට අරමුණු වන මුළු මහත් භෞතික ලෝකයත් අදහස් කෙරෙයි. එසේ ම ඒ රූපී ශරීරය ඇසුරු කොටගෙන පහළ වන විඳීම් – හැඳීනීම් - සිතීම් - දැනීම් යන මානසික ක්‍රියාකාරීත්වයන් (මානසික ධර්මයන්) වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන වචනවලින් දැක්වෙයි. ඒ අනුව බුදු බණෙහි මේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන වචන පසින් විග්‍රහ කෙරෙන්නේ සෑම සංසාරික සත්ත්වයකුගේ ම ජීවිත පැවැත්ම සකස් කෙරෙන කායික - මානසික ක්‍රියාකාරිත්වය පිළිබඳ යථා තත්ත්වය යි. බුදු පියාණන් වහන්සේ විවිධ අවස්ථාවන්හි, විවිධ වචන යොදාගනිමින්, මේ සසර පැවැත්ම, සකස් වී ඇති ආකාරය අපට විග්‍රහ කොට වදාරා ඇත. ඇතැම් තැනෙක ස්කන්ධ පහක් ලෙස ද, ඇතැම් තැනෙක ධාතු සයක් ලෙස ද, ඇතැම් තැනෙක ආයතන දොළොසක් ලෙස ද, විවිධ අයුරින් උන් වහන්සේ පහදා දී ඇත්තේ මේ සංසාරික දිවි පැවැත්මෙහි සැකැස්ම යි; හෙවත් සසර සැරි සරන සත්ත්වයන්ගේ ජීවිත හා අත්දැකීම් සකස් වී ඇති ආකාරය යි.

ඉහත දැක්වෙන සෑම විග්‍රහයක් තුළින් ම බුදු සමිඳුන් උත්සාහ ගෙන ඇත්තේ මේ සසර පැවැත්මේ යථා ස්වභාවය අපට පහදා දීම සඳහා ය. මේ ජීවිත සැකැස්ම, ස්කන්ධ වශයෙන් බෙදා දැක්වුවත්, ධාතු වශයෙන් බෙදා දැක්වුවත්, ආයතන වශයෙන් බෙදා දැක්වුවත්, එහි දැකගත හැක්කේ අනිත්‍ය වූ ධර්ම රැසක සාමූහික ක්‍රියාකාරීත්වයක් පමණක් බව බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දුන් සේක. මෙසේ අනිත්‍ය වූත්, වෙනස් වනසුලු වූත්, නැති ව යනසුලු වූත් (අනිච්චා, විපරිණාමී, අඤ්ඤථාභාවී...) කායික - මානසික ධර්ම රැසකින් සකස් වූ මේ ජීවිතය, අනිවාර්යයෙන් ම අනිත්‍ය විය යුතු ය; වෙනස් වනසුලු විය යුතු ය; තාවකාලික විය යුතු ය. සැබැවින් ම එය එසේ නොවී අන් කෙලෙසක වන්න ද?

එහෙයින්, බුදු පියාණන් වහන්සේ වදාළා වූ විවිධ දේශනාවන් ඇසීම තුළින්, කියවීම තුළින්, විමසා බැලීම තුළින් අප වටහාගත යුතු හරය නම්, මේ සසරෙහි කිසිදු කලෙක - කිසිදු තැනෙක නිත්‍ය වූ පැවැත්මක් තිබිය නොහැකි ය යන ධර්ම න්‍යායය යි. මක් නිසා ද යත්, බුදු සමිඳුන් අපට පෙන්වා දුන් පරිදි, මේ සසරට අයත් සෑම ජීවිතයක් ම, සෑම දෙයක් ම, අනිත්‍ය වූ හේතූන්ගෙන් සකස් වූ ‘තාවකාලික ඇටවුම්’ පමණක් වන බැවිනි. ඒ අනුව අප මේ සසරෙහි කොතැනක - කවරකු ලෙස ඉපදුණත් අපට හිමි වන්නේ එවැනි තාවකාලික ‘ජීවිත ඇටවුමක්’ පමණි.
ඒ කිසිදු ‘ජීවිත ඇටවුමක්’ එක ආකාරයෙන් නො පවතී. අනිත්‍ය වූ හේතූන්ගෙන් සකස් වන ඒ ජීවිත ඇටවුම් එම හේතූන් වෙනස් වන විට වෙනස් වෙයි. “අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම්මිනෝ...” යනුවෙන් සියලු සංසාරික සකස් වීම් තාවකාලික වන බවත් ඒවා හටගැනීම හා විනාශය ස්වභාව කොට පවත්නා බවත් බුදු පියාණන් වහන්සේ අපට නිබඳ ව සිහිපත් කොට වදාළේ ඒ බැවිනි.

එහෙයින් මේ සසර සැරි සරන්නා වූ කිසිදු සත්ත්වයකුට මේ අනිත්‍ය ධර්මතාවෙන් ගැලවීමක් නැත; කාම, රූප, අරූප යන භවත්‍රයේ කොතැනක ඉපදුණත් මෙයින් බේරීමක් නැත. දෙව් මිනිසුන් සහිත සියලු ලෝකයා ම මේ අනිත්‍ය ස්වභාවය උරුම කොටගෙන සිටිති; දායාද කොට ගෙන සිටිති; එහි ගොදුරු බවට පත් වී සිටිති. එදා තම එක ම දරුවාගේ වියෝවෙන් කම්පාවට පත් ව සිටි අසරණ කිසාගෝතමිය හමුවේ මහා කාරුණික බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළේ මේ ධර්ම නියාමය යි.

“නල ගාම ධම්මෝ නෝ නිගමස්ස ධම්මෝ
නචාපයං ඒක කුලස්ස ධම්මෝ
සබ්බස්ස ලෝකස්ස සදේවකස්ස
ඒසෝව ධම්මෝ යදිදං අනිච්චතා.”

“(නැගණියනි,) මෙය වූකලි එක් ගමකට උරුම වූ ස්වභාවයක් නො වේ; එක් නියම් ගමකට හෝ එක් කුලයකට හෝ උරුම වූ ස්වභාවයක් ද නො වේ. දෙවියන් සහිත සියලු ලෝකයාට ම මේ අනිත්‍යතා දහම උරුම වූයේ වෙයි.”
(කිසාගෝතමි අපදානය, අපදාන පාලි, ඛු.නි.)

මෙසේ එදා තථාගත බුදු සමිඳුන් විසින් පෙන්වා වදාළා වූ අනිත්‍ය ධර්මතාව, ඒ කිසාගෝතමියගේ දරුවාට මෙන් ම සදේවක ලෝකයාට ම එක සේ උරුම වූවකි; කාම, රූප, අරූප යන භවත්‍රයෙහි ම එක සේ ක්‍රියාත්මක වන්නකි; සසර පැවැත්මට අයත් වූ සෑම සකස් වීමකට ම ආවේණික වූ ස්වභාවයකි. ‘සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතාව‘ (සබ්බේ සංඛාරා අනිච්චා) යනුවෙන් බුදු බණෙහි දැක්වෙන්නේ ඒ ධර්ම නියාමය යි.

ඒ අනුව, එසේ අනිත්‍යතාව ස්වභාව කොටගත් යමක් වේ නම් ඒ කිසිවක් තුළ නිත්‍ය සැපයක් පැවතිය නොහැකි බව බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ සේක. ඇත්තෙන් ම අපට සැප සේ පෙනෙන - සැප සේ දැනෙන දේවල් පවා අනිත්‍යතාව හමුවේ නැසී, වැනසී, අහිමි වී යන විට ජනිත වන්නේ දුකක් ම පමණි. එහෙයින් මේ සසර පැවැත්මට අයත් වන සියලු සකස් වීම් දුක් උපදවීමේ ස්වභාවයෙන් යුක්ත වන්නේ යැ යි බුදු පියාණන් වහන්සේ වදාළ සේක. ‘සියලු සකස් වීම් දුක් සහගත ය’ (සබ්බේ සංඛාරා දුක්ඛා) යන බුදු වදනෙහි සරල අදහස එය යි.

මෙසේ අනිත්‍ය වූ ද, දුක් උපදවනසුලු වු ද පැවැත්මක් තුළ ‘තමා’ කැමැති පරිදි ම පවත්නා ජීවිතයක් හෝ ලෝකයක් හෝ ආත්මයක් හෝ අන් කවර දෙයක් හෝ තිබිය හැකි යැ යි යමකු සිතන්නේ නම් එය මහත් ම මුළාවකි. එහෙයින් මේ සංසාරික පැවැත්ම තුළ ස්ථිර ලෙස තමාගේ යැ යි අයිතිවාසිකම් කිව හැකි, තමා කැමැති පරිදි ම පවත්වාගත හැකි, කිසිදු සාරයක් (ආත්මයක්) නැති බව බුදු පියාණන් වහන්සේ වදාළ සේක. ‘සියලු දේ අනාත්ම වන්නේ ය’ (සබ්බේ ධම්මා අනත්තා) යන බුදු වදනින් ප්‍රකාශ වන සරල අදහස එය යි.
මෙසේ අනිත්‍යතාව, දුක්ඛතාව හා අනාත්මතාව යන ස්වභාව ධර්මතාවන් සැම කල්හි ම මේ සංසාර පැවැත්ම වෙළාගෙන පවතී. සසර පැවැත්මට හසු වී සිටින කිසිදු සත්ත්වයකුට මේ සනාතනික ධර්මතාවන්ගෙන් බේරීමක් නැත. සසර පැවැත්ම තුළ රැඳී සිටිනා තුරා සෑම සත්ත්වයකුට ම මේ ධර්මතාවනට මුහුණ දීමට සිදු වෙයි. මෙසේ මේ ධර්මතාවනට නිරන්තරයෙන් මුහුණ දෙමින් සිටියත් ඒවා අවබෝධ කරගැනීමට හෝ ඒවායින් මිදීමේ මගක් සොයාගැනීමට හෝ බොහෝ සත්ත්වයෝ අසමත් වෙති. සංසාරික උගුලේ අන්තරාය එය යි!

කෙසේ වෙතත්, අඳුරු අහසේ පහළ වන රිදී රේඛාවන් ලෙසින් කලින් කල ලොව පහළ වන්නා වූ තථාගත සම්මා සම්බුදුවරයන් වහන්සේලා සසර පැවැත්මට උරුම වූ මේ සනාතනික ධර්මතාවන් මනා නුවණින් අවබෝධ කොටගනිති; අවබෝධ කොටගෙන ලෝක සත්ත්වයා හමුවේ මනාව හෙළි කොට වදාරති. ඒ බව බුදු පියාණන් වහන්සේ ම එක් අවස්ථාවක මෙසේ පෙන්වා වදාරා ඇත:

“මහණෙනි, තථාගතයන් වහන්සේ නමක් පහළ වී සිටියත්, තථාගතයන් වහන්සේ නමක් පහළ වී නොසිටියත් ‘සියලු සකස් වීම් අනිත්‍ය ය’ යන ධර්ම ධාතුව පවතියි; ධර්මතාව පවතියි; ධර්ම නියාම පවතියි.
‘සියලු සකස්වීම් දුක් සහගත ය’ යන ධර්ම ධාතුව පවතියි; ධර්මතාව පවති යි; ධර්ම නියාමය පවතියි.
‘සියලු දේ අනාත්ම ය’ යන ධර්ම ධාතුව පවතියි; ධර්මතාව පවතියි; ධර්ම නියාමය පවතියි.
“ඒවා තථාගතයන් වහන්සේලා මැනවින් අවබෝධ කරගනිති; මැනවින් ප්‍රත්‍යක්ෂ කරගනිති. එසේ මැනවින් අවබෝධ කොටගෙන, මැනවින් ප්‍රත්‍යක්ෂ කොටගෙන (ලෝක සත්ත්වයා හමුවේ) සියලු සකස් වීම් අනිත්‍ය යැයි ද, සියලු සකස්වීම් දුක් සහගත යැ යි ද, සියලු දේ අනාත්ම යැ යි ද ප්‍රකාශ කරති; දේශනා කරති; පනවති; පිහිටුවති; විවරණය කරති; විග්‍රහ කරති; පැහැදිලි කොට වදාරති.”
(තික නිපාතය - අං.නි.)

මෙසේ තථාගත සම්බුදුවරයන් වහන්සේ නමක් ලොව පහළ වී, මේ සසර පැවැත්ම සකස් කරන්නා වූ සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතාව, දුක් බව හා අසාරත්වය ලෝකයා හමුවේ කොතරම් පැහැදිලි ව ප්‍රකාශ කළත්, ඒ දේශනාවන් කෙරෙහි සිත, කන යොමු කරන්නට සමත් වන සත්ත්වයෝ ඉතා අල්ප වෙති; ඒ පිළිබඳ අවංක පිළිගැනීමක්, අවංක පැහැදීමක් ඇති කරගන්නට සමත් වන සත්ත්වයෝ ඉතා අල්ප වෙති. මක් නිසා ද යත්, මෝහයෙන් මුළා වී, කෙලෙසුන්ට වසඟ වී සසර සැරි සරන බොහෝ පෘථග්ජනයන්ට බුදු පියාණන් වහන්සේ වදාළා වූ මේ ලෝක ධර්මතාව කෙරෙහි සිත යොමු කරන්නට තරම් ශක්තියක් නොමැති බැවිනි. බුදු බණ ඇසුවත් බොහෝ සත්ත්වයනට පෘථග්ජන භාවය ඉක්මවා නිවන් මඟට බැසගත් ‘ආර්ය ශ්‍රාවකයන්’ බවට පත් වීමට නොහැකි වන්නේ එබැවිනි.


වෛද්‍ය කුමුදු ශ්‍රී කුරුප්පු

Nessun commento:

Posta un commento