දුක නම් වූ ආර්ය සත්‍ය - දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය

mercoledì 14 dicembre 2011

බැඳීයන දෙයෙහි ආදීනව තේරුම් ගනිමු…


සාමාන්‍ය මනුෂ්‍යයා පි‍්‍රය මනාප දේවල් සුභ විදිහට බල බලා ආශ්වාදයට අනුව කල්පනා කර කර වාසය කරනවා. ඇස ගැන වේවා, ඇසට පේන රූපය ගැන වේවා, කණ ගැන වේවා, කණට ඇහෙන ශබ්ද ගැන වේවා, නාසය ගැන වේවා, නාසයට දැනෙන ගඳ සුවඳ ගැන වේවා, දිව ගැන වේවා, දිවට දැනෙන රස ගැන වේවා, කය ගැන වේවා, කයට දැනෙන පහස ගැන වේවා, සිත ගැන වේවා, සිතට දැනෙන අරමුණු ගැන වේවා ආශ්වාදයට අනුව කල්පනා කර කර හිටියොත් මොකද වෙන්නේ? ආශ්වාදයට අනුව ඒවයේ තියන සැප පැත්ත ගැන හිත හිතා හිටියොත් ආශාව උපදිනවා. ආශාව ඇතිවුනාට පස්සේ මොකද වෙන්නේ? බැඳිල යනවා. බැඳිල ගිය කෙනාට දුක් විපාක විදින්ට සිද්ද වෙනවා.
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා යම් දෙයක් පිළිබදව ආශ්වාදයට අනුව කල්පනා කරපුවාම ආශාව උපදිනවා. ආශාව ඉපදුනාට පස්සේ ඒකට සිත බැඳිල යනවා. බැඳිල ගියාට පස්සේ දුක් විපාක විදින්ට සිද්ධ වෙනවා කියල. හොඳට බලන්න අපි යම් දුක් පීඩාවක් වින්ඳ නම් ඒ දුක් පීඩාව කුමක් නිසා හට ගත්තාද කියල. බැඳිල ගිය නිසාමයි සියලූ දුක් පීඩා හටගන්නෙ. ඇයි බැඳිල ගියෙ කියල හිතල බලන්න. ආශාව ඉපදුනා. ඇයි ආශාව ඉපදුනේ කියල බලන්න. ඒ බැඳිල ගිය දේ ගැන ආශ්වාදයට අනුව කල්පනා කර කර හිටිය. එහි ප‍්‍රිය බව ගැනම හිත හිත හිටිය. ආශ්වාදයට අනුවම හිත හිත ඉන්න කොට ආශාව ඉපදෙනවා. ආශාව ඉපදුනාට පස්සේ බැඳිල යනවා. ඊට පස්සේ දුක් පීඩා ගිනි හට ගන්නවා. ඊට පස්සේ දැවෙන, පිචිචෙන එක තමයි තියෙන්නේ.
ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ඒ බැඳිල යන දේවල් ගැන ආශ්වාදයට අනුව හිත හිතා ඉන්ට එපා. බැඳිල යන දේවල් ගැන ආදීනව අනුව හිතන්න. යම් කෙනෙක් බැඳිල යන දේවල් ගැන ආදීනව කල්පනා කළොත් මොකද වෙන්නේ? ආශාව උපදින්නේ නෑ. ආශාව ගෙවෙන්ට පටන් ගන්නවා. කැමැත්ත ගෙවෙන්ට පටන් ගන්නවා. අකමැත්ත උපදිනවා. තිබෙන අශාව අකැමැත්ත ගෙවුනාම බැඳිල යන්නෙ නෑ. බැඳිල යන්නෙ නැත්නම් දුක් නැති වෙලා යනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න අපි තුළ ඒ රාග ද්වේෂ මෝහ හටගෙන දුක් පීඩා උපදිනවා නම් ඒ දුක් පීඩා ඉපදුනේ බැඳිල ගිය නිසා. බැඳිල ගියේ ආශාව ඉපදුන නිසා. ආශාව ඇතිවුනේ ආශ්වාදයට අනුව කල්පනා කළ නිසා.
එතකොට මොනවද ඒ බැඳිල යන දේවල්? ඇස, ඇසට පේන රූප, කණ, කණට ඇහෙන ශබ්ද, නාසය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිව, දිවට දැනෙන රස, ශරීරය, ශරීරයට දැනෙන පහස, සිත, සිතට දැනෙන අරමුණු. මේවට තමයි බැඳිල යන්නේ. මේ බැඳිල යන දේ තුළ ආශ්වාදයක් තියනවා. ආශ්වාදයක් තියන නිසා ඒ ආශ්වාදය ගැන පමණක් කල්පනා කර කර ඉන්නවා. ආශ්වාදයක් නැත්නම්, ආශ්වාදයට අනුව කල්පනා කරයි ද? නැහැ. එසේ වන්නේ නෑ. නමුත් ආශ්වාදයක් තියනවා. එයා දන්නේ ආශ්වාදය ගැන විතරයි. එසේ ආශ්වාදයට අනුව කල්පනා කරන කොට ආශාව ඉපදීම වළක්වන්ට බෑ. ඉන්පසු දුක් පීඩා හට ගන්නවා ඒකත් වළක්වන්ට බෑ. කෙළවරක් නැතුව මහත් වූ දුක් දොම්නස් විදිනවා.
ජීවිතය දිහා ආපස්සට හැරිල බලන්න රාගය නිසා වේවා, ද්වේෂය නිසා වේවා, මෝහය, ඊරිසියාව, කුහක කම නිසා වේවා කොයි තරම් දුක් වින්දද කියල. ඒ හැම තැනකදීම ඇහැට බැඳුන. ඇහැට පෙනෙන රූපයට බැඳුන. කණට බැඳුන. ශබ්දයට බැඳුන. නාසයට බැඳුන. ගද සුවදට බැඳුන. දිවට බැඳුන. රසයට බැඳුන. කයට බැඳුන. පහසට බැඳුන. සිතට බැඳුන. අරමුනු වලට බැඳුන. ඒ බැඳුනෙ ඇයි? බැඳිල යන දේවල් ගැන ආශ්වාදයට අනුව අපි හිත හිතා හිටිය නිසා. අන්තිමට අපි දන්නෙම නෑ, අපි දුකට වැටිලා.
භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා,මේ බැඳිල යන දේවල්වල ආශ්වාදය පමණක් නෙමේ තියෙන්නේ,ඒවායේ අදීනවත් තියනවා කියල .ආශ්වාදය ඉතාම ටිකයි. හැබැයි ආදීනවය අතිශය විශාලයි, බලවත්. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේවාගෙන් නිදහස් වීමක් තියනවා කියල. නිදහස් වීමක් නැත්නම් අපිට මේ දුකේ හැමදාම ඉන්ට සිද්ධ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා,යම් කෙනෙක් බැඳිල යන දේවල්වල ආදීනව තේරුම් අරගෙන ඒවායේ අදීනව සිහිකරන්න දක්ෂ වුනොත් අන්න එයා බැඳිල යන දේවල්වලින් නිදහස්වෙනවා කියල.
එහෙනම් අපි හොඳට තේරුම් ගන්ට ඕනැ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට මේ බැඳිල යන දේවල් වල ආශ්වාදයක් තියනවා, ආදීනවයක් තිබෙනවා, නිදහස් වීමක් තිබෙනවා කියල. මොකක්ද ආශ්වාදය? ඒවයේ යම් සැපයක් සොම්නසක් තියනවා නේද? ඒ අභ්‍යන්තර ආයතන වගේම බාහිර ආයතන වල යම් සැපයක් සොම්නසක් තියනවා. ඒ ආශ්වාදය නෑ කියල කියන්නෙ නෑ. නමුත් ඒවගේ ආදිනවයක් තියනවා. මොකක්ද ආදීනවය ඒවා අනිත්‍යයි දුකයි විපරිනාමයට පත් වෙනවා. අතිශය කර්කෂ දුක් සහිතයි. ඉතින් මේව කෙරෙහි ඇල්ම දුරු වුනාම නිදහස් වෙලා යනවා. ඒවගෙන් නිදහස් වීමක් තියනවා. එහෙනම් ඒ බැඳිල යන දේවල් වල ආදීනවය කල්පනා කරන්ට අපිට පුළුවන් වුනොත් අපිට ඒ බැඳිල යන දේවල් කෙරෙහි ඇති කැමැත්ත ආශාව දුරු වෙන්න පටන් ගන්නව. යම් කලකදී ඒ ආශාව දුරු වෙන්ට පටන් ගත්තොත් අපිට ඒ ආශාව දුරුවීම හේතු කොට ගෙන එතෙක් විඳ විඳ හිටපු දුක් පීඩා දුරු වෙන්ට පටන් ගන්නවා. ආශ්වාදය අනුව කල්පනා කරන්ට කරන්ට ආශාව ඉපදිලා බැඳිල ගිහිල්ල දුක් වින්ඳ. දැන් ආදීනව අනුව කල්පනා කරන්ට කරන්ට, ආශාව දුරුවීමෙන්, බැඳිල යාම දුරුවීමෙන් දුක් පීඩා අඩුවෙන්ට පටන් ගන්නවා.
එතකොට මේ භාවනාව (සබ්බ ලෝකේ අනභිරත සංඥාව) අපි හොඳින් කරන්ට කරන්ට අපේ දුක් පීඩා දුරු වෙයි ද නැද්ද? දුක් පීඩා දුරු වෙනවා. ඒක නියත වශයෙන් ම සිදු වෙනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ නිබ්බිදා සූත‍්‍ර දේශනාවේ සඳහන් වන මේ භාවනාවන් පහ පුරුදු කරගෙන බහුල වශයෙන් පුරුදු කළොත් ඒකාන්ත වශයෙන් ම අවබෝධයෙන් කලකිරෙනවා. බලන්න මේ බැඳිල යන දේවල් ගැන ඒවයේ ආශ්වාදය ආදීනවය නිස්සරණය ඒ ආදී වශයෙන් අපි තේරුම් ගත්තොත් අපිට ඒ බැඳිල යන දේවල් ගැන කැමැත්තක් හට ගනියි ද එපා වීමක් හට ගනියි ද? අර කලින් තිබුන ප‍්‍රිය බවද තියෙන්නේ. අකමැත්තක් ද? මේවගේ ආශ්වාදය කල්පනා කරල බැඳිල ගිහිල්ල දුක ඉපදෙනවා. දුක් විදින්ට සිද්ධ වෙනවා කියල තේරුම් ගත්තොත් එහෙම එයා තුළ ඒ ආයතන ගැන පි‍්‍රය බවක් කැමැත්තක් උපදියි ද අකමැත්තක් උපදියි ද? අකමැත්තක් උපදිනවා. එහෙනම් බලන්න මේව තේරුම් ගැනීමෙන් ම තමයි මේ කැමැත්ත දුරු වෙන්ට පටන් ගන්නේ. පි‍්‍රය බව දුරු වෙන්ට පටන් ගන්නේ.
අන්න ඒ විදිහට අපි මේ ධර්මය තේරුම් අරගෙන අපි මේ ධර්මය ක‍්‍රමක් ක‍්‍රමයෙන් ටික ටික පුරුදු කළොත් අපිට මේ සියලූ ලෝකය පිළිබඳව අකමැත්ත උපදවා ගන්ට පුළුවන්. අපි මේ අනවබෝධයෙන් සිටින මේ පි‍්‍රය බව අතහැරල නොඇල්ම උපදවා ගන්ට පුළුවන්. මේ ධර්මයන් ගැන හොඳින් කල්පනා කරනවා නම් මේව කෙරෙහි අපි මිත‍්‍රයෝ විදිහට කල්පනා කරන එක අතහැරල සතුරෝ විදිහට තේරුම් ගන්ට පුළුවන්. මේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත ඊලඟට මේ රූප, ශබ්ද, ඝන්ද, රස, පහස, අරමුණු මේව හතුරො, වදකයො, අපිට දුක් පීඩා උපදවල දෙන දේවල් විදිහට අපිට තේරුම් ගන්ට පුළුවන්.
ඒ නිසා හොඳම විදිහක් තමයි අපිට රාගය, ද්වේෂය හෝ මෝහය කියන මේ අකුසලයන් ඉපදිලා දුක් පීඩා විඳපු අවස්ථා සිහි කරල, ඒ දුක් පීඩා ඉපදුනේ කොහොමද කියල හොඳට බලන්න. බැඳිල ගිහිල්ල ඒ දුක් ඉපදුනේ කියල එතකොට තේරුම් ගන්ට පුළුවන් වෙයි. ඇයි බැඳිල ගියෙ කියල හොඳින් සිහි කරල බලන්න. ආශාව ඉපදුනා. ඇයි ආශාව ඉපදුනේ කියල හොඳට බලන්න. අපි ආශ්වාදයට අනුව කල්පනා කළා නේද කියල හිතල බලන්න. මේ සිදුවීම් හොඳට තේරුම් ගන්න. එතකොට මේ ධර්මය කෙරෙහි අපි පහදිනවා. ඒවගේම ඒ බැඳිල යන දේවල් කෙරෙහි අකමැත්ත උපදවා ගන්ට අපිට පුළුවන් කම තියනවා. මොකද අපි නොදන්න නිසා අපිට සිදුවෙන අනතුරක් මේක. දැන ගත්තොත් අපි ඒ අනතුරේ වැටෙන්නේ නෑ. එහෙනම් හොඳට මේ කාරණය තේරුම් අරගෙන අපිට මේ දුක් පීඩා උපද්දන බැඳිල යන දේවල් ගැන අකමැත්ත නොඇල්ම උපදවා ගන්න බලන්න.
මේ විදිහට මේ අධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන ගැන අකමැත්ත උපදවා ගැනීම පිණිස මුලින් ම කළ හැකි හොඳම දේ තමයි අර පීඩා ඉපදුනාම පීඩා හට ගත්තේ කොහොමද කියල ධර්මයේ තියන ආකාරයට විමසල බැලීම. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට මේ දේවල් තේරුම් ගන්ට බලන්න. මේ විදිහට නේද මේක සිද්ධ වුනේ කියල. අපි හිතමු පාරෙ යනකොට පි‍්‍රය මනාප රූපයක් දැක්ක. අපි මේක මතක තියාගෙන ඉන්නවා. මතක තියාගෙන ඉඳල ඒක සිහි කර කර ඉන්නවා. රාගය ඉපදෙනවා. ඒ රාග ගින්නෙන් දැවෙනවා. දුක් විදිනවා. හොඳට බලන්න මේ වගේ සිද්දි වෙන්නේ නැද්ද කියල. මේ වගේ සිදුවීම් ගැන ධර්මයේ තියන විදියට හිතනකොට තේරෙයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් කාරණය කොච්චර ඇත්තක් ද කියල.
ඒ විදිහට දුක් පීඩා ඉපදුනාම හොඳට විමසල බලන්න මොකක්ද මේ සිද්ධ වුනේ කියල. අතීතයේ යම් දුක් පීඩාවක් වින්ඳ නම් ඒකත් හොඳට සිහි කරල බල. අතීතයේදීත් මට සිද්ද වුනේ මේක නේද මං ප‍්‍රමාණ රහිතව දුක් වින්ඳ, ඇඬුව, වැළපුනා. පපුවෙ අත් ගහගෙන ඇඬුව, කෙස් කඩාගෙන ඇඬුව ඒක මට සිද්ධ වුනේ මේ ඇසට රැවටිලා, කණට රැවටිලා, නාසයට රැවටිලා, දිවට, ශරීරයට, සිතට රැවටිලා. මේවට බැඳිල ගිහිල්ල නේද මේ දුක් වින්දේ කියල තේරුම් ගන්න.
ඒ විදිහට තේරුම් ගත්තොත් එයා දන්නවා මම වර්ථමානයේත් මේ දුක් විඳින්නේ මේ ලෝකයට බැඳිල ගිහිල්ල කියල. අධ්‍යාත්මික බාහිර කියන මේ ආයතනවලට, මේ ලෝකයට බැඳිල ගිහිල්ල තමයි මම වර්තමානයේ දුක් විඳින්නේ කියල . හොඳට සිහි කරල බැලූවොත් තේරෙයි අතීතයේ යම් දුක් පිඩා ගිනි වින්ද නම්, ගිනි වලට පිච්චුනා නම්, ඒ මේ ලෝකයට අනවබෝධයෙන් බැඳිල ගිහිල්ල. මේ විදිහට කල්පනා කලොත් එයා අනාගතයේ තව දුරටත් දුක් විඳීද? දුක් පීඩා විදින්ට එයා කැමති වෙයිද? කැමති වෙන්නේ නෑ. එයා මේ ලෝකය කෙරෙහි අකමැත්ත උපදවා ගන්ට කල්පනා කරනවා. අන්න එයාට පුළුවන් ඇස ගැන අකමැත්ත උපදවා ගන්ට. ඇසට පේන රූපය ගැනත් අකමැත්ත උපදවා ගන්ට පුළුවන්. කණ ගැන අකමැත්ත උපදවා ගන්ට පුළුවන්. කණට ඇහෙන ශබ්දය ගැනත් අකමැත්ත උපදවා ගන්ට පුළුවන්. නාස ගැන නාසයට දැනෙන ගද සුවද ගැන අකමැත්ත උපදවා ගන්න පුළුවන්. දිව ගැන දිවට දැනෙන රසය ගැන අකමැත්ත උපදවා ගන්ට පුළුවන්. ශරීරය ගැන ශරීරයට දැනෙන පහස ගැන අකමැත්ත උපදවා ගන්න පුළුවන්. සිත ගැන සිතට දැනෙන අරමුණු ගැන අකමැත්ත උපදවා ගන්ට පුළුවන්.


තෙරුවන් සරණයි!


පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

‘රිවිර’ පුවත් පතේ පළ වූ ලිපියකි..

Nessun commento:

Posta un commento