දුක නම් වූ ආර්ය සත්‍ය - දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය

sabato 24 dicembre 2011

ගුණ ධර්ම තුලින් දියුණුවන නිවන් මග

සංසාරේ බොහෝ කලක් අරගෙන ආවෙ සට කපට මායා ගතිවලින්, අකීකරු කමින්, මාන්නක්කාර කමින්. අපි බුදුරජාණන් වහන්සේලා දැකල ඇති. අතීත සංසාරේ බුදුරජාණන් වහන්සේලාගේ ශාසන අපිට මුණගැහිල නැද්ද? මුණගැහිල ඇති. නමුත් මොකද අපිට මේ සංසාරෙන් නිදහස් වෙන්ට බැරිවුනේ? අතීත සංසාරෙදි අපි සංසාරෙන් නිදහස් වීම පිණිස අපි තුළ පිහිටුවා ගත යුතු ගුණාංග අපි පිහිටුවගෙන තිබුනෙ නෑ.  

මොනවද ඒ අංග? කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවනය, යෝනිසෝ මනසිකාරය, ධම්මානු ධම්ම පටිපදාව. මෙන්න මේ අංග අපේ ජීවිතයට එකතු වෙලා තිබුන නම් අතීත සංසාරේඅපි මේ වෙනකොට සංසාරෙන් නිදහස් වෙලා. එහෙනම් අපි සංසාරෙන් නිදහස් නොවුනේම මේ කල්‍යාණ මිත්‍ර අසුර, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන අංග හතර අපේ ජීවිතයට එකතු නොවුන නිසා.

එහෙනම් මේ ජීවිතයේදීත් අපිට බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණගැහුන. හැබැයි එසේ වුනත් අපේ ජීවිතයට කල්‍යණමිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවනය, යෝනිසෝ මනසිකාරය, ධම්මානු දම්ම පටිපාදව කියන අංග හතර අපේ ජීවිතයට පමුණුවා ගත්තෙ නැත්නම් අපිට අපහු සැරයක් කලින් ආපු ගමන යන්ට සිද්ධවෙයිද නැද්ද? සිද්ධවෙයි. ඇයි අපිට අතීතයේදි නිදහස් වෙන්ට බැරි වුනේ? සෝතාපත්ති අංග අපේ ජීවිතයට අපි පමුණුව ගත්ත නැති නිසා.

එහෙනම් අපි අපේ ජීවිතයට ඕනැ දේවල් අපේ ජීවිතයට පමුණුවා නොගත්තොත් ආපු ගමන අපසු යන්ට අපිට සිද්ධ වෙනව. අපේ ජීවිතයට අපි පමුණුවා ගත යුතු අංග මොනවද? කල්‍යාණමිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවනය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. මේ අංග හතර අපේ ජීවිතයට පමුණුවා ගන්නට ඕනැ. ධර්මය ඉගෙන ගත්ත පමනින් ඒක වෙන්නෙ නෑ. ධර්මය පාඩම් කළ පමනින් ඒක වෙන්නෙ නෑ. ධර්මය අන් අයට කියා දුන් පමණින් ඒක වෙන්නෙත් නෑ. සමාධිය වැඩුවා කියලත් ඒක වෙන්නෙ නෑ.

ඒ සෝතාපත්ති අංග ජීවිතයට බද්ධ වෙන්නෙ නිහතමානී කම කීකරු කම අවංක භාවය, සටකපට මායා නැති ගතිය, කළ ගුණ දන්නා කම කියන මෙන්න මේ ගුණ ධර්මය අපේ ජීවිතයට පමුණුවා ගත්තොත් අපිටත් සෝතාපත්ති අංග අපේ ජීවිතයට පමුණුවා ගන්ට අවස්ථාවක් ලැබෙනව. ඒ ගුණධර්ම වලින් බැහැරව කිසි කලක සෝතාපත්ති අංග අපේ ජීවිතයට පමුණුවා ගන්නට ලැබෙන්නෙ නෑ.
ඒකයි බුදුරජාණන් වහන්සේ කියා දුන්නෙ සමහර භික්ෂූන් ඉන්නව ඒ අය මුරණ්ඩුයි. මුරණ්ඩුයි කියල කියන්නෙ කියන දේ අහන්නෙ නෑ. ඒ අය වංචාකාරී චාටු බස් පාවිච්චි කරනව කියන්නෙ සට කපට මායා වංචාකාරී අදහස් වචන පාවිච්චි කරනව. ඊලඟට ඒ අය මාන්නක්කාරයි. මම දන්නව කියන අදහසේ ඉන්නෙ. තව කෙනෙකුගෙන් මොකටද අහන්නෙ කියන අදහස එයාගෙ හිතේ තියෙනව. ඉතින් එයා කල්‍යාණ මිත්‍රයට අහුම් කණ් දෙන්නෙ නෑ.

ඒ නිසා එබඳූ ගතිගුණ තියෙනව නම් අන්න එබඳූ භික්ෂූන් මට අයිති නෑ කියල කියනව. හැබැයි ඒ අය සිල් රකිනව. ධර්මය ඉගෙන ගන්නව, ධර්මය කියල දෙනව. සමහර විට භාවනාත් කරනව. දැක්කද බුදුරජාණන් වහන්සේට අයිති නැති විදිහ. එහෙනම් අපි මුලින්ම වහ වහා කර ගත යුතු දේ මොකක්ද? නිහතමානී බව ඇති කර ගැනීම. කීකරු බව ඇතිකර ගැනීම. සට කපට මායා නැතිකර ගැනීමට. කළ ගුණ දන්නා කම ආදී ගුණ ධර්ම අපේ ජීවිතය තුළ ගොඩනගා ගැනීම තමයි කළයුතු වන්නේ. අන්න ඒ ගුණධර්ම තියෙන කෙනා කල්‍යාණ මිත්‍රයාට සමීප වෙනවා මයි.

ඒ ගුණ ධර්ම නැති කෙනා කල්‍යාණ මිත්‍රයා ගැන කතා කරයි. කල්‍යාණ මිත්‍රයාට වන්දනා කරයි එයාගෙ ගුණත් කියයි. හැබැයි එයා ඇසුරු කරන්නෙ නෑ. කල්‍යාණ මිත්‍රයාගේ ගුණ කියන්නෙත් සට කපට මායා වලින් යුතුවමයි. ඇයි අවංක නැති කෙනා ලඟ තියෙන්නෙ සට කපට මායානෙ. එතකොට ඒක තමයි ගුණ කීම සඳහා පාවිච්චි කරන්නෙ. සට කපට මායා නැති කෙනා ලඟ අවංක බව තියෙනව. අවංක භාවය තුලින් ගුණ කියනව. ඒ නිසා කෙනෙකුගේ ගුණ කිවූ පමණින්ම එයා කල්‍යාණ මිත්‍රයා ඇසුරු කරනවා කියන අදහස එන්නෙත් නෑ. එහෙනම් අපි කල්පනා කළ යුත්තේ අපි තුල අර ගුණධර්ම දියුණු කරගන්ටයි.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!

Nessun commento:

Posta un commento